වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




තමිල්නාඩුව රජිනි හොල්ලයිද? රජිනි හෙල්ලෙයිද?

තමිල්නාඩුව රජිනි හොල්ලයිද? රජිනි හෙල්ලෙයිද?

රජිනිකාන්ත් යනු එලෙසින් ඉන්දියානු ජාතිකයන්ගේ පමණක් නොව ලොව පුරා විසිර සිටින දකුණු ඉන්දීය සිනමාවට පෙම් බැඳී කාගේත් ආදර ගෞරවයට පාත්‍ර වූ සුපිරි තරුවක්. පසුගිය වසරේ ඔහුගේ රංගනය දැක ගත හැකි වූ Kabali චිත්‍රපටය උන්මාදයක් ඇති කළා කීවොත් වඩාත් නිවැරදියි.

එම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා ජයරාම් වැනි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා තරු දේශපාලනයට පිවිස දේශපාලන ලොවේද ඉහළින්ම වැජඹෙන්නට සමත් වූවා සේම රජිනිකාන්ත් ද ඉදිරියේදී දේශපාලන ලොව පෙරළියක් කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් සිය මත පළකර තිබේ.

රජිනිකාන්ත් පැවසූ පරිදිම 31 වැනිදා ඔහු විසින් නිවේදනය කර සිටියේ, ඉදිරියේදී තමා දේශපාලනය පිවිසීමට තීරණය කළ බවයි.

ඉන්දියානු ජනතාව සිනමාව කෙරෙහි දක්වන ඇල්ම ලොව අනෙකුත් ජාතින් අතරේ විශේෂයෙන් කැපී පෙනෙන දෙයක්. නළු නිළියන් තරු ලෙසින් දිළෙන විටදී එම තරුවලට දේවත්වයෙන් සළකන අවස්ථාද ඉන්දියාවෙන් අසන්නට දකින්නට ලැබීමත් ඒ අතරේ කැපී පෙනෙන්නක්. ඇතැම් ඉන්දියානුවන් සිනමා නිර්මාණ සේම සිනමා තරු කෙරෙහි දක්වන ඇල්ම හමුවේ තම දිවිය දෙවැනි වන අවස්ථාද නැතුවාම නොවේ.

රජිනිකාන්ත් යනු එලෙසින් දකුණු ඉන්දියානු ජාතිකයන්ගේ පමණක් නොව ලොව පුරා විසිර සිටින දකුණු ඉන්දීය සිනමාවට පෙම් බැඳී කාගේත් ආදර ගෞරවයට පාත්‍ර වූ සුපිරි තරුවක්. පසුගිය වසරේ ඔහුගේ රංගනය දැක ගත හැකි වූ Kabali චිත්‍රපටය උන්මාදයක් ඇති කළා කීවොත් වඩාත් නිවැරදියි. එහි මංගල දර්ශනය නැරඹීමේ අවස්ථාව නොලද මැලේසි‍යාවේ වෙසෙන දෙමළ තරුණයෙක් අඩි ගණනාවක් උස ගොඩනැඟිල්ලකින් බිමට පැන සියදිවි නසා ගත්තා. ඉන්දියාවේ ඇතැම් ආයතන පවා එදින සේවකයන්ට Kabali නැරඹීම වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස නම් කරන්නට කටයුතු යොදා තිබුණා. බැංගලෝර් සහ චෙන්නායි දක්වා වූ Kabali නමින් විශේෂ ගුවන් ගමන් සේවක් පැවති අතර ඒ අතරතුර රජිනිකාන්ත් ප්‍රිය කරන ආහාර වර්ග මගීන්ට පිරිනැමීමටත් ඇතැම් ගුවන්සේවා ආයතන කටයුතු යොදා තිබුණා. චෙන්නායි දක්වා ගමන් ගත් එයාර් ඒෂියා ගුවන් යානා පවා Kabali චිත්‍රපටයේ පෝස්ටර්වලින් හැඩ වී තිබූ අයුරු දැකගත හැකි වුණා.

එසේම එදා මෙදාතුර බොහොමයක් ඉන්දීය නළු නිළියන් දේශපාලනයට ද පිවිසීම දකින්නට ලැබුණු දෙයක්. මේ අතර පසුගිය කාලයේ මේ දකුණු ඉන්දීය සුපිරි තරුව වූ රජිනිකාන්ත් ද දේශපාලනයට පිවිසෙනු ඇති බවට ද කතා පැතිරුණා. මීට පෙරදීද අවස්ථා කිහිපයකදී රජිනිට දේශපාලයට පිවිසීමට ආරාධනා ලැබුණු අතර ඒ සෑම ආරාධනාවක්ම ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කර සිටියා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දේශපාලනයට පිවිසීම පිළිබඳ සාර්ථක දැක්මක් අපේක්ෂාවෙන් සිටින ඔහු ඒ වෙනුවෙන් විශේෂ යාන්ත්‍රණයක අවශ්‍යතාව ඒ සෑම අවස්ථාවකදීම පෙන්වා දුන් බවයි. මෑතකදී ඒ පිළිබඳ කළ විමසීමකදී රජිනිකාන්ත් පවසා සිටියේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා තමන් දේශපාලනයට පිවිසෙනවාද නැත ද යන්න පිළිබඳ පැහැදිලි ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

රජිනිකාන්ත් පැවසූ පරිදිම 31 වැනිදා ඔහු විසින් නිවේදනය කර සිටියේ, ඉදිරියේදී තමා දේශපාලනය පිවිසීමට තීරණය කළ බවයි. එසේම ඒ පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් තමන් විසින් වෙනමම පිහිටුවා ගන්නා පක්ෂයක් ඔස්සේ තම දේශපාලන ගමන ආරම්භ කිරීමට බලා පොරොත්තු වන බවත් ඔහු නිවේදනය කළා. "ආගමික හෝ කුලවාදී නොවී මගේ දේශපාලනය ආධ්‍යාත්මික පදනමක් මත පදනම් වේවි" යැයි එහිදී ඔහු ප්‍රකාශ කළා. නව පක්ෂය 2021 වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවත් අවැසි කාලය ලැබුණ හොත් 2019 වසරේ පැවැත්වෙන ලොක්සභා මැතිවරණයට ද තරග කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. දකුණු ඉන්දීය සිනමාවේ තවත් සුපිරි තරුවක ලෙසින් පිදුම් ලද කමල හසන් සහ බොලිවුඩයේ සුපිරි තරුවක වන අමිතාබ් බච්චන්ද රජිනිකාන්ත්ගේ දේශපාලන ගමන පිළිබඳ පුවතට මුලින්ම සුබ පැතූ අය අතරේ සිටිනවා. එම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා ජයරාම් වැනි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා තරු දේශපාලනයට පිවිස දේශපාලන ලොවේද ඉහළින්ම වැජඹෙන්නට සමත් වූවා සේම රජිනිකාන්ත් ද ඉදිරියේදී දේශපාලන ලොව පෙරළියක් කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් සිය මත පළකර තිබේ.

රජිනිකාන්ත් ලෙසින් රසික රසිකාවන් අතරේ ගෞරවාදරයට පාත්‍ර වුවද 1950 වසරේ දෙසැම්බර් 12 වැනිදා ඔහු බැංගලෝරයේදී උපත ලැබූයේ ශිවාජි රාඕ ගේක්වාද් නමින්. 1975 වසරේදී සිනමාවට පිවිස පසුව ඉහළම ආදායම් ලබන නළුවකු බවට පත්වීමට පෙර ඔහු කටයුතු කර තිබුණේ, බැංගලෝරයේ බස් කොන්දොස්තරවරයකු ලෙසින්. 1975 වසරේදී Apoorva Raagangal චිත්‍රපටයේ පාණ්ඩියන් නම් චරිතයෙන් සිනමාවට පිවිසි රජිනිකාන්ත් මේ වන විට චිත්‍රපට 200ට ආසන්න සංඛ්‍යාවකට දායක වී ඇති අතර ඒ අතරින් බොහොමයක් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවන්ට සමත් වීමත් විශේෂත්වයක්. ‘Thalapathy’, ‘Mannan’, ‘Annamalai’, ‘Uzhaippali’, ‘Veera’, ‘Baasha’, ‘Muthu’, ‘Arunachalam’,‘Padayappa’,‘Sivaji’ ඒ අතරින් කිහිපයක්. ශ්‍රී ලංකාවේදී සම්පූර්ණයෙන් රූගත කළ ඊඩඥඥ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් 1980 වසරේදී රජිනි ලංකාවට පැමිණියා.

දෙමළ, කණ්ණඩ, තෙලිඟු, මලයාලම් සේම හින්දි සිනමා නිර්මාණ කිහිපයකද රජිනිගේ රංගන දායකත්වය ඇතුළත්. අමිතාබ් බච්චන් සහ හේමා මාලිනි ප්‍රධාන චරිත නිරූපණය කළ ‘Andha Kanoon’ (1983) ඔහු දායක වූ මුල්ම හින්දි චිත්‍රපටය යි. එදා පටන් මේ දක්වාම රජිනි සහ අමිතාබ් අතර පැවති මිතුදමත් කාගේත් ප්‍රශංසාවට ලක් වූවක්. වයස අවුරුදු හැට හතක් වුව ද රජිනිකාන්ත් තවමත් පෙම්වතාගේ චරිතය නිරූපණය කිරීමත් විශේෂයි. ‘Enthiran’ චිත්‍රපටයේ දී ඓශ්වර්යා රායි බච්චන්ගේ පෙම්වතා ලෙසින් පණ පොවන විට ඔහුගේ වයස අවුරුදු හැටක්. කෙසේ නමුත් සිනමාවේදී චරිතයට ඔබින ලෙසින් රූ ගැන්වීම් කළ ද සැබෑ ජිවිතයේදී ඔහු කිසිම අවස්ථාවක රූපලාවන්‍ය කටයුත්තක් සිදු නොකරන බවත් ප්‍රසිද්ධයි. ඉන්දීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ඉන්දීය රජය විසින් 2000 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන්ද 2016 වසරේදී පද්ම විභූෂන් සම්මානයෙන්ද ඔහු පුදනු ලැබුවා.