වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




උඩගිය බිම වැටුණු හොලිවුඩ් 2017

උඩගිය බිම වැටුණු හොලිවුඩ් 2017

රාජකීය මංගල උත්සවයක් පිළිබඳ නිවේදනයත් 2018 වසරේ හොලිවුඩ් පුවත් අතර වීමත් විශේෂයි

2017 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට අතරින් ඉහළම ආදායම් ලද චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් වන්නට වාසනාව හිමිකර ගත්තේ ඇමෙරිකානු තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන බිල් කොන්ඩොන් අධ්‍යක්ෂණය කළ Beauty and the Beast චිත්‍රපටය යි.

පසුගිය වසරේදී හොලිවුඩයෙන් සුවිශේෂි කතාබහ රැසක් අසන්නට දකින්නට ලැබුණු බව කාහටත් අමතක නොවන බව නම් විශ්වාසයි. මේ අතරේ කවුරුත් ආසාවෙන් මඟ බලා සිටි සිනමා නිර්මාණ කිහිපයක්ම රිදී තිරයේ දිග හැරුණු අතර ඇතැම් නිර්මාණ අති සාර්ථක වන විටදී තවත් ඒවා අසාර්ථක වූයේ බොහෝ දෙනා පුදුමයට පත් කරවමිනි.

2017 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට අතරින් ඉහළම ආදායම් ලද චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් වන්නට වාසනාව හිමිකර ගත්තේ ඇමෙරිකානු තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන බිල් කොන්ඩොන් අධ්‍යක්ෂණය කළ Beauty and the Beast  චිත්‍රපටය යි. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම ගැන නොතකා ඇතුලාන්තය සොයා ගැනීම හරය ලෙස ගෙන එමින් සුරංගනා, සංගීතමය, ප්‍රේමාන්විත චිත්‍රපටයක් ලෙසින් තිරයට නැඟුණු Beauty and the Beast අමෙරිකානු ඩොලර් මිලියන 160 ක පිරිවැයකින් තැනුණු අතර ලොව පුරා තිරගත කිරීමෙන් එය අමෙරිකානු ඩොලර් බිලියන 1.264ක ආදායමක් වාර්තා කළා. විචාරකයන් පවා එය හැඳීන්වූයේ මුල් කෘතියට අවැසි ගෞරවය සපයන විශ්වාසවන්ත නව කියවීමක් ලෙසිනි. එසේම අමෙරිකා එක්සත් ජනපදය තුළ වැඩියෙන්ම ආදායම් ලද කාන්තාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ලෙසින් Wonder Woman චිත්‍රපටය වාර්තා අතරට එක්වීමත් විශේෂයි.

2017 වසර හොලිවුඩයේ සිනමා නිර්මාණ සේම කතාබහට ලක් වූ අමතක නොවන තවත් සිදුවීම් ද කිහිපයක් වාර්තා වු වසරක්. ලෝක සිනමාවේ මහා සිනමා උලෙළ ලෙසින් නම් ලද ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන වරදවා පිරි නැමීම වසරේ සිනමා තොරතුරු වලට පමණක් නොව ඔස්කාර් සම්මාන ඉතිහාසයට ද එක්වූ විශාලතම අතපසුවීම ලෙසින් සනිටුහන් විය. එහිදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් පළමුව La La Land චිත්‍රපටයේ නම නිවේදනය කර සම්මානද පිරිනැමූ පසු වරද නිවැරදි කරමින් යළිත් හොඳම චිත්‍රපටය ලෙස Moonlight ප්‍රකාශයට පත් කර La La Land චිත්‍රපට කණ්ඩායම අත තිබූ සම්මානය පසුව Moonlight චිත්‍රපටයේ අධ්‍යක්ෂ බෙරි ජේකින්ස් හට පිරිනැමීමට ඔස්කාර් සංවිධායක කණ්ඩායමට සිදු විය.

එසේම රාජකීය මංගල උත්සවයක් පිළිබඳ නිවේදනයත් 2017 වසරේ හොලිවුඩ් පුවත් අතර වීමත් විශේෂයි. බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මේග්න් මාර්ක්ල් අතර විවාහය 2018 වසරේදී සිදු කෙරන බවට නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීයි. එසේම සුප්‍රකට නළු ජෝර්ජ් ක්ලූනි සහ අමන්දා ක්ලූනි යුවල මෙන්ම බියොන්සේගේ නිවුන් දරු උපත් ද හොලිවුඩයට සුවිශේෂ පුවත් බවට පත් වුණා.

ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන හාවී වින්ස්ටන්ට එරෙහිව පැතිරී ගිය අපවාදය ද හොලිවුඩය දෙවනත් කළ අතර ‘ද නිව්යෝක් ටයිම්ස්’ සහ ‘ද නිව් යෝකර්’ යන පුවත්පත් වල පළ වුණු ප්‍රවෘත්තීන්ට අනුව, හාවී දිගු කාලයක් තිස්සේ කාන්තාවන් ගණනාවක් ලිංගික අපයෝජනයන්ට ලක් කළ බවට එම කාන්තාවන් විසින් චෝදනා ලැබුවා. මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනා නිළියන් බවත් හෙදර් ග්‍රැහැම් සහ ඇන්ජලීනා ජොලි ද ඒ අතර වන බවට හොලිවුයෙන් වාර්තා වුණා.

මේ වසර හොලිවුඩ් ලොව තරු රැසක් නිවී ගිය වසරක් ද වෙනවා. ඒ අතරේ 1960 දශකයේ බැට් මෑන් ලෙසින් ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇඩම් වෙස්ට් පසුගියදා සිය ජීවන ගමන නිමා කළා. එසේම සුප්‍රකට ප්ලේ බෝයි සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර්, රූපවාහිනි ක්ෂේත්‍රයේ සංකේතයක් බඳු වූ මේරි ටේලර් මූරේ, හොලිවුඩයේ ජනප්‍රිය සම්මානනීය නළු බිල් පැක්ස්ටන්, හාස්‍ය රංගනයේ පුරාවෘත්තයක් බඳු වූ ජෙරී ලෙවිස්, රොබට් හාර්ඩි, සෑම් ෂෙපර්ඩ්, නේල්සන් එලිස්, ග්ලේන් හීඩ්ලි, ඩොන් රික්ලස් සේම රොජර් ස්මිත්, රෝයි ඩොට්‍රයිස්, රැල්ෆි මේ, චක් ලෝ, හැරී ඩීන් ස්ටැන්ටන්, ෆ්‍රෑන්ක් වින්සන්ට්, බ්ලේක් හෙරෝන්, රිචඩ් ඇන්ඩර්සන්, ජේ තෝමස්, ටොම් පෙටී, චෙස්ටර් බෙනින්ටන්, මිචෙල් නැන්ස් සහ චක් බෙරී ද මේ වසරේදී ජීවන රඟ මඬලින් සමු ගත් තරු බවට පත් වුණා. ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද Mind Your Language බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහනේ රන්ජීත් සිංගේ චරිතයට පණ පෙවූ ශ්‍රී ලාංකිකයෙකු වූ ඇල්බට් මෝසස් ගේ අභාවයද මෙම පුවත් අතරේ සංවේගජනක පුවතක් වුණා.