වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර වෙසක් උලෙළට ‘යශෝධරා’

මෙවර වෙසක් උලෙළට ‘යශෝධරා’

බෞද්ධ සාහිත්‍යාගත සිද්ධාර්ථ - යශෝධරා පූජනීය ප්‍රේම වෘත්තාන්තය වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'බිම්බා දේවි හෙවත් යශෝධරා' චිත්‍රපටය වෙසක් උලෙළ නිමිත්තෙන් 2018 අප්‍රේල් 26 වැනිදා සිට දිවයින පුරා ඊ. ඒ. පී. සිනමාහල්වල තිරගත වෙයි.

සරසවි සිනෙරු වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍ර හපුතන්ත්‍රී, චාන්ද්‍රී හපුතන්ති‍්‍රය.

පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුවී ලක්මලී සෙසු චරිත රඟපාති.

මේ චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය , සංවාද රචනය, තිර රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙනි. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනා හඳුන්වා දෙන ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉමෝකා අහංගම සමඟ ආචාර්ය විශාරද නන්දා මාලිනීගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. නිෂ්පාදන කළමනාකරණය මමෝහාරී හේවාවසම් ගෙනි. ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණය කළ මේ චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේ ගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රන්ජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි.


 පැහැසරණියේ පස් දෙනකුට ගෞරව උපහාර

එළඹෙන ජනවාරියේ 14 දා පවත්වනු ලබන පැහැසරණිය නමැති විශේෂ සිනමා උත්තමාචාර උළෙලකදී මෙරට කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් සුවිශේෂ වූ තැනැත්තන් පස්දෙනෙකුට ගෞරව උපහාරය සිදු කරයි. ඒ අනුව අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, අමරසිරි කලංසූරිය, මානෙල් වානගුරු, යමුනා මාලනී පෙරේරා, ඒ. ඩී. රංජිත් කුමාර මෙහිදී උපහාරයන් ලබනු ඇත. පැහැරසණිය සිනමා උත්තමාචාර උළෙල සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයෙ සංවිධානයකි. මෙහිදී අමිතා වැදිසිංහ, රූපා ඉන්දුමතී, රෝහණ සිරිවර්ධන, ඉන්ද්‍රානි බෝගොඩ, නන්දා පතිරණ, ආත්මා ලියනගේ, ශෝන් මැක්ස්මස් දිසානායක, ප්‍රියනාත් රත්නායක, තීක්ෂණ අනුරාධ, දර්ශන ප්‍රමෝද්, රොහාන් ද සිල්වා, සූරියා දයාරුවන්, ජනිත් ඉද්දමල්ගොඩ, සාරංග දිසාසේකර, ශිරෝමා පෙරේරා ගීත ගායනයෙන් එකතුවනු ඇත. රංගනයෙන් සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීත් ප්‍රභූ, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, තාරුක මුණසිංහ, රුක්ෂානා දිසානායක, අනුරාධා එදිරිසිංහ, චමරි ලියනගේ, සිතිජ ජයසේකර, අරවින්ද දොඹගහවත්ත, එරංග ජීවන්ත, ජනිත් වික්‍රමසිංහ ප්‍රසංගය ඒකාලෝක කරනු ඇත. නර්තන අධ්‍යක්ෂණය නිල්මිණි නිශ්ශංකගෙනි. රජිත ලියනගේ සංගීත අධ්‍යක්ෂණයකි. තිලකා රණසිංහ සමඟ චමිලා ධනංජය කථනයෙන් දායක වේ. පැහැසරණිය සම්බන්ධීකරණය සහ නිර්මාණ අධ්‍යක්ෂණය ආකාශ් තාරුකාගෙනි.


තුෂාරි අබේසේකරගේ

අලුත් නිර්මාණයකට ඔබටත් රංගන වරම්

අධ්‍යක්ෂිකා තුෂාරි අබේසේකරගේ නවතම රූපවාහිනි නිර්මාණයක් සහ සිනමා නිර්මාණයක් සඳහා රඟපෑමෙන් දක්ෂ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හා තිරපරීක්ෂණය මේ මස 06 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී(ග්‍රහලෝකාගාරය ඉදිරිපස පිහිටි නාඩා ආයතනයේ) පෙරවරු 10.00ත් - පස්වරු 1.00ත් අතර සිදුවෙයි. ඒ සඳහා කැමැත්තක් දක්වන අය සිටී නම් එදිනට පැමිණෙන්න. අවුරුදු 15- 25ත් අතර අය විශේෂයි. මෙහි වැඩි විස්තර විමසීම් සඳහා 076-7881231 යන දුරකථන අංකයට අමතන්න. තුෂාරි අබේසේකර 'පත්තිනි', 'ස්වේත ගංතිර', 'හෝපලු අරණ', 'ආරාරිරෝ' ආදී ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරියක මෙන්ම තිරපිටපත් රචිකාවකි.


බ්‍රැන්ඩෝගේ ‘අම්මා කියා දුන් ගී’ චරිතාපදානය මහින්දපාල අතින් 5 දා එළිදකී

සම්මානනීය කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාල විසින් සිංහලයට පරිවර්ථනය කරන ලද හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය 'අම්මා මට කියා දුන් ගී ' එළි දැක්වීම (ඊඩඥ ඵධදඨ ර්ර ර්ධබඩඥප ඊධභඨඩබ ර්ඥ සහ ටෝක් ටු මී මාලන් නමැති වාර්තා චිත්‍රපටය තිරගත කිරීම මෙම මස 05 වැනිදා එනම් හෙට සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු වේ. මෙහි ප්‍රධාන දෙසුම විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගෙනි.


මී මන්දාව මේ බදාදා

අප්‍රකට නිර්මාණ පිළිබඳවත්, නිර්මාණකරුවන්ගේ ජීවිතයේ වැදගත් සංධිස්ථාන පිළිබඳවත් සාකච්ඡා වන මී මන්දාව වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර මෙම මෙස 09 වැනිදා රාත්‍රී 10.30 ට ජාතික නාළිකාව ඔස්සේ විකාශය වේ. රත්න ශ්‍රී විජේසිංහ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙහෙය වන මෙම වැඩසටහනට ආරාධිතයා වශයෙන් මෙවර සහභාගි වනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරිය. අපි මචං සංගීත කණ්ඩායම මඟින් නිදර්ශන ගැයුම් ඉදිරිපත් කරන මී මන්දාව අතුල පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.


සරත් ජීවන්ගේ දියණිය අතිනත ගනී

ඡායාරූප ශිල්පී සරත් ජීවන් හෙට්ටිගේ ආදරණීය දියණිය තිලිණි හෙට්ටිගේ පසුගියදා යුග දිවියට පිවිසිණ. ඇගේ අතගත් සහකරුවා වූයේ ප්‍රේම් සුදර්ශනයි. ජාඇල රෝයල් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති තිලිණි ප්‍රේම්ගේ විවාහ දින අවස්ථා කිහිපයකි මේ.


වාද්දුවේ වින්ස් ඩිජිටල් තාක්ෂණයෙන් යළි ඇරැඹෙයි

අකාලයේ වැසී ගොස් සිංහල සිනමාවට අහිමිවීමට ගිය වාද්දුව වින්ස් සිනමාහල නව්‍යකරණය කොට පසුගිය ජනවාරි දෙවැනි දින යළි විවෘත විය. එය අලුත්වැඩියා කරනු ලැබුවේ සිනමා අධ්‍යක්ෂවරයකු සහ සිනමා නිෂ්පාදකවරයකු මෙන්ම නළුවකු ද වශයෙන් නමක් දිනා ගත් තැනැත්තන් දෙදෙනකු විසිනි. ඒ සුරංග ද අල්විස් සහ අර්ජුන කමලනාත්ය. ඉකුත් අඟහරුවාදායින් පසු වාද්දුව වින්ස් යළිත් ප්‍රකෘති වී චිත්‍රපට තිරගතවීම ආරම්භ කෙරිණ.


රිවිසර බෙර නද 6 වැනිදා

අයෝධ්‍යා දයාරත්න සහ ශමින්ද රොහාන් මෙහෙයවන කලායතනයේ කලඑළි මංගල්‍යය රිවිසර බෙර නද මෙම මස 6 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පුරා වසරකට අධික කාලයක් තුළ ශිල්ප හදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසක් එදින කලඑළියට පැමිණීමට නියමිතය.