වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ රස සිදුවීම් කියන්න තහනම්

ඒ රස සිදුවීම් කියන්න තහනම්

සරත් චන්ද්‍රසිරිගේ

නිවහනට ගියවිට Dr. නවරියන් ගැන කියූ කතාව

උදා වූ නව වසරේ සරත් චන්ද්‍රසිරි සිටියේ නිවෙසෙටම වී බොහොම වි‍වේක සුවයෙන්. කාලයකට පස්සේ ලැබුණු මේ විවේකයට එකතුවුණු තවත් තුන්දෙනෙකු සිටියා. ඒ පුතා කංචුක තිලක්ෂණ දියණිය හසාරා නිලක්ෂි හා බිරිය චාරිකා ජයමාලි පසුගිය කාලයේ සිව්දෙනාම මුණ ගැසුණු දිනයක් නොමැතිතරම්. ඒ තරමටම සරත් වගේ ම පුතාත්, දුවත් බොහොම කාර්යඉහුල ජීවිතයකුයි ගත කළේ. කාලයකට ඉහත බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ හදාගත් ගෙපැල සම්පූර්ණ කරගත් ඔහු මෙවර නව වසර සැමරුවේ එහි එක් පැත්තක නිම කරන ලද විශේෂ පෝටිකෝවේ. වෙල්යායට මුහුණලා ඉදි කරලා තිබුණු මේ පෝටිකෝව සරත් නිර්මාණයේ කළේ ම බොහොම විවේකයෙන් නිවෙසේ ඉන්න දවසක කාලය ගත කරන්න සිතාගෙන. ඒ ප්‍රාර්ථනය ඉටුවුණු නව වසරේ ඔහු එහි අසුනකට බර වෙලා ඈතින් වෙල්යාය පිසගෙන පැමිණෙන මඳනල වින්ඳේ මධුවිතක් තොලගාමින්. ඒ වගේ ම ඔහු ප්‍රධාන චරිතයකට පණ පොවන ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයත් මේ දවස්වල තිරගත වෙනවා.

“උදා වූ නව වසර සරත් චන්ද්‍රසිරිට නම් බොහොම සුන්දරයි වගෙයි”

“ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටය මේ දවස්වල බොහොම සාර්ථක විදියට තිරගත වෙනවා. එහි මා රඟපාන්නේ ඩොක්ටර් නවරියන්ගේ යහළුවා විදියටයි. එය නැරැඹුව බොහෝදෙනා මට කතා කරනවා. මගේ වගේම අනෙක් අයගේ රඟපෑම් ගැනත් ඔවුන් විවිධ අදහස් දක්වනවා. ඒ ගැන මට සතුටුයි. ‘ඩොක්ටර් නවරියන්’ කියන්නේ පවුලේ චිත්‍රපටයක්. පවුලේ සියලුදෙනාටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මේ දක්වාම ඒ චිත්‍රපටය නැරැඹුවේ නැති අය සිටිනවා නම් ගිහින් නරඹලා සතුටු වෙන්න කියලා සිනමා රසිකයන්ට මා මේ නව වසරේ ආරාධනා කරනවා.”

ඒ ආරාධනයත් එක්ක සරත් චන්ද්‍රසිරිගේ මතකයට නැඟෙන්නේ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයට ඔහුට ආරාධනා ලැබුණු අයුරු.

“එහි අධ්‍යක්ෂ රන්ජන් රාමනායකයි ඔබට ඒ සඳහා කතා කරන්නේ”

“දවසක් මට රන්ජන් දුරකථන ඇමතුමක් ලබාදී පැවසුවේ “උඹ මගේ චිත්‍රපට දෙක, තුනකම පොඩි පොඩි චරිත කළා. මෙවර ටිකක් ලොකු වැඩක් තිබෙනවා. ඒක කරමු” කියලයි. ඊට පස්සේ ඔහු මට තිරරචනය ගෙනැවිත් දුන්නා. ඒක කියවලා අපි දෙපාරක්, තුන්පාරක් මුණ ගැසුණා. එහිදි ඔහු මට පැවසුවේ මේ චරිතයට ඔබින එකම කෙනා මම බවයි. ඔහු මට භාර දුන්න චරිතය මා මට හැකි උපරිමයෙන් රඟපෑවා.”

සරත් චන්ද්‍රසිරි පසුගිය කාලයේ සිය රසිකයන් ඉදිරියට පැමිණියේ මේ වගේ මැරයන්ගේ චරිතවලින්මයි. ඔහුගේ දස්කම් මැරයන්ගේ චරියට කොටුවෙලා නේද කියලා සිතෙන වාරත් අනන්තයි.

“ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ හිතහොඳ මැරයෙක්ගේ චරිතයක්”

“පසුගිය කාලයේ මට දිගටම වගේ රඟපාන්නට ලැබුණේ මැරයන්ගේ චරිත තමයි. එක් නිර්මාණයක මැරයකුගේ චරිත රඟපෑවාට පස්සේ ඊට පසුව ලැබෙන බොහෝ චරිත ඒ වර්ගයටම වැටෙනවා. මේ චිත්‍රපටයෙත් මැරයෙක්ගේ චරිතයක් වුණත් වෙනස් විදියේ මැරයෙක්. හිතහොඳ මැරයෙක්. ඒ චරිතය හරහා වෙනස් විදියේ පැතිකඩ කිහිපයක් ගැනත් කතා වෙනවා. ඒත් ඊට අමතරව වෙනස් විදියේ චරිත රඟපෑව ටෙලි නිර්මාණ කිහිපයකුත් තිබුණා. ඒත් ඒ නිර්මාණ බොහෝදෙනා අතර ජනප්‍රිය නැති නිසා කිසිවෙකුත් ඒ නිර්මාණ ගැන දන්නේ නැහැ. මේ වනවිට නම් මට වෙනස් විදියේ චරිත ලැබෙමින් පවතිනවා. මේ දවස්වල මා රඟපෑමෙන් සම්බන්ධ වුණු නිර්මාණයත් ඒ වගේ වෙනස් ම විදියේ චරිතයක් රඟපෑ නිර්මාණයක්. එවැනි වෙනස් විදියේ චරිත රඟපෑ නිර්මාණ කිහිපයක්මත් ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි.”

රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන් යුතුව රූගත වුණු ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ රූගත කිරීම් කළ කාලය බොහොම සුන්දර කාලයක්.

“ඒ සුන්දර කාලය ගැනත් මතකයට නඟමු”

“නිතරම රන්ජන් අපටයි මුල්තැන දුන්නේ. අපගේ රංගනය ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ රංගනයේ තිබෙන අඩුපාඩු වගේ ම ඒ චරිතයට තවත් අවශ්‍ය දේ මොනවාද යන්න හඳුනාගෙන ඒ සියල්ල අපෙන්ම ගන්නවා. ඔහු බොහොම සැහැල්ලුවෙන් අප සමඟ ගනුදෙනු කළ අධ්‍යක්ෂවරයෙක්. සමහර අධ්‍යක්ෂවරුන් වගේ බොහොම රළු විදියට නොවෙයි ඔහු ඒ කාර්යය කළේ. ඒ අතර සිදුවුණු බොහොම රසමුසු සිදුවීම් නම් එමටයි. ඒවා ප්‍රකාශ කිරීමට නොහැකි වීම කනගාටුවට කාරණයක්.”

‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘ලේ කිරි කඳුළු’, ‘මායා’ ඇතුළු චිත්‍රපට තිස්පහකට පමණ රංගන දායකත්වය දැක්වූ සරත් චන්ද්‍රසිරි වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන මාධ්‍ය තුනේ ම සැරිසරන්නෙක්.

“ඔබගේ රංගනයේ ආරම්භය සනිටුහන් කරන්නේ වේදිකාවයි”

“මගේ ගම පානදුර. මා පාසල් ගියේ වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේදියි මට මගේ නාට්‍ය ගුරුතුමා වුණු සරත් කුලාංග මුණ ගැසෙන්නේ. ඔහු හරහා ජනක් ප්‍රේමලාල්, ජයලත් මනෝරත්න ඇතුළු නාට්‍යකරුවන් රැසක්ම හඳුනා ගන්නට ලැබෙනවා. ඊට පස්සේ අබුද්දස්ස කෝලම, රාජකපුරු, පුත්‍ර සමාගම, අන්දරේලා, තලමලපිපිලා, ගුරුතරුව, ඒකා සාක්කුවේ, නරිබුරති, කෝකුක්කෝ, චෞදරි දක්වා වේදිකා නාට්‍ය රැසකටම මගේ රංගන දායකත්වය දක්වනවා. ළඟදීම වේදිකා නාට්‍යයක් සඳහා විදේශ ගතවීමටයි සිතාගෙන සිටින්නේ.”

නාට්‍යවල රඟපෑම ආරම්භ කළ කාලයේදියි ඔහුට බිරිය චාරිකා මුණ ගැසෙන්නේ. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේදි. එහි ඉන්න ජිනදාස හේන්ගොඩ නාට්‍යකරුවාගේ ‘භූත සන්නිය’ වේදිකා නාට්‍යයේ රඟපාන ළමයින්ට රංගනය ගැන වැඩමුළුවක් කරන්නයි ඔහු බණ්ඩාරගමට පිවිසෙන්නේ.

“ඒ අතීතයේ එක් දවසක මුණ ගැසීම ජීවිතය වෙනස් කළා”

“ඇත්තටම මගේ සිත ඒ නාට්‍ය රඟපෑමට පැමිණි යුවතියක කෙරේ බැඳුණා. ඒ බැඳීිම මත අප දෙදෙනා අතර ආදරයක් ගොඩනැඟෙනවා. මුලින් ම චාරිකාගේ මව්පියන් අපේ ආදරයට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද කලාකරුවන් ගැන ඒ දවස්වල බොහෝදෙනාගේ සිත්වල තිබුණේ ඒ තරම්ම හොඳ අදහසක් නොවෙයි. ඔවුන් හිඟන්නෝ කියලයි බොහෝදෙනා සිතුවේ. අපටත් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවුණා. ඒත් අවසානයේදි අපේ ආදරය ජයග්‍රහණය කළා. අපි විවාහ වෙලා බිරියගේ ගම් ප්‍රදේශයම පදිංචිය සඳහා තෝරා ගත්තා. පදිංචියට ඒ ප්‍රදේශයම තෝරා ගන්න හේතුවුණේ මම රඟපාන කටයුතුවලට ඈත ගියාට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකායි. ඒ අවට ඉන්නේ චාරිකාගේ පවුලේ අය නිසා මට බයක් නැතිව ඒ ගිය කාර්ය කරගෙන එන්න මට පුළුවන් වුණේ ඇගේ පවුලේ අය නිසාමයි.”

සරත් - චාරිකා දෙපළ එක්තැන්වීමත් එක්ක ඔවුන්ගේ කැදැල්ලට අමුත්තන් දෙදෙනෙකුත් පැමිණියා. නිවෙසේ සියලු කටයුතුත්, දරුවන් දෙදෙනාගේ කටයුතුත් චාරිකා සිය උරමතට ගත්තේ කිසිම කනුකුනුවක් නැතිව. සරත් එක්ක විවාහ වීමත් සමඟ ම ඇගේ නිළියක් වීමේ සිහිනයට ඈ තිත තිබ්බා.

“ඔබගේ රංගන ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය අපමණයි”

“රංගන කටයුතු නිසා අවිවේකී මගේ ජීවිතයට ආලෝකයක් ගෙනෙන්නේ චාරිකායි. නිවෙසේ වැඩකටයුතු සියල්ලම වගේ කෙරෙන්නේ ඇගේ අත්දෙකෙන්. ඒ වගේ දරුවන්ගේ සියලුම කටයුතු සොයලා බලලා කරන්නේත් ඇයමයි. සමහර වෙලාවට මට අවස්ථාව ලැබුණොත් ඈට උදව් කරන්නත් මා අමතක කරන්නේ නැහැ. ඈ වැනි බිරියක් ලැබීම මගේ වාසනාවක්.”

කංචුක පුතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විෂයයි හදාරන්නේ. හෙට අනිද්දාම ඔහු ඉන් පිට වෙනවා. දියණියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා පමණයි. ඈ ඉගෙන ගන්නේ භෞතික විද්‍යාව.

“ඔවුන් දෙදෙනා මුල්තැන දී තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවලටයි”

“ඔවුන් දෙදෙනා කුඩා කාලයේ පටන්ම වැඩි අවධානයක් දුන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. ඒ නිසා අප දෙදෙනාත් ඒ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඔවුන්ට උදව් වුණා. ඒ දෙන්නා රංගනයට සම්බන්ධ නොවුණත් හොඳ රසඥතාවක් තිබෙන දරුවන් දෙදෙනෙක්. පුතා විශ්වවිද්‍යාලයේ කලා කටයුතු ඇතුළු විවිධ දේ සංවිධානය කරද්දි ඒ සම්බන්ධයෙන් ඔහුගේ තිබෙන දක්ෂතාව වඩාත් කැපී පෙනෙනවා. ඒත් රංගනයට නම් ඔවුන් යොමු නොවේවි.”

කංචුක පුතාත්, හසාරා දියණියත් රංගන කටයුතුවලට දායකත්වය නොදැක්වූවාට සිය පියාගේ රංගනය අගය කරන්නත් අමතක කරන්නේ නැහැ.

“ඔබ රඟපාන චරිත ගැන ඔවුන් මොනවගේ අදහසක් ද දරන්නේ?”

“ඒ දෙන්නා පුංචි කාලයේදි නම් මම රඟපාන චරිත ගැන ඒ තරම්ම සතුටු වුණේ නැහැ. ඒ කාලයේ මා රඟපාන නිර්මාණ නරඹලා ඔවුන්ගේ පන්තිවල යහළුවෝ ‘මොනවද බං අර උඹලාගේ තාත්තා රඟපාන්නේ’ කියලා විහිළු කරන නිසයි ඔවුන් සතුටු නොවුණේ. ඒ නිසාම ඔවුන් මට සමහර විට රඟපාන්න එපා කියලත් කිව්ව අවස්ථා තිබුණා. ඒත් යමක්කමක් තේරුම් ගන්න පුළුවන් වුණාට පස්සේ මා රඟපාන චරිත ගැන ඔවුන්ගේ සිතේ කලින් තිබුණු අසතුට නැතිව ගියා. මේ වනවිට නම් ඔවුන් ඒ චරිත ගැන කතාබහ කරන්නේ බොහොම සතුටෙන්.”

පසුගිය කාලයේ ඔහු රංගන කටයුතුවලට අමතරව පුංචි ව්‍යාපාරයකුත් ආරම්භ කරලා තිබුණු වගත් අපට මතකයි.

“ඒ ව්‍යාපාරයට මොකද වුණේ?”

“ඒ කාලයේ මා පුංචි හෝටලයක් දාගෙනයි සිටියේ. ඒ ව්‍යාපාරයේ මේ වනවිට මා නියැළෙන්නේ නැහැ. ඒ කටයුත්ත මගේ පවුලේ අයට පවරලයි තිබෙන්නේ. ඕනවට වඩා මුදල් සොයනවාට වඩා ජීවත්වීමට තරම් මුදල් තිබුණාම ඇති බවයි මා සිතන්නේ.”

ජීවිතය ගැන වෙනස්ම විදියට සිතන සරත් චන්ද්‍රසිරි තමන්ට මේ ගමන එන්න උදව් කළ සියලුදෙනාවත් සිහිපත් කළේ හදවතින්ම. ඒ අතර ඔහුගේ කැදැල්ලෙන් අප සමුගත්තේ ඒ සොඳුරු හදවතක් හිමි සොඳුරු මිනිසාට උදා වූ නව වසර සුබම සුබ වසරක් වේවායැයි පවසමින්.