වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

නැතුවම බැරි වූ නළුවා

එදා සූර චිත්‍රපටවල නැතුවම බැරි චරිතයක් බවට පත් වූ සේනාධීර රූපසිංහ හෙළයේ මහා නළු ගාමිණි ෆොන්සේකා සමඟ සූරයන්ගෙත් සූරයා, හොඳම වෙලාව, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි යන චිත්‍රපටවල ඉදිරිපත් කළ සටන් ජවනිකා අපට කවදත් අමතක කරන්නට බැරිය.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


දරුවන් වෙනුවෙන් කැප වූ ගුරුතුමිය

නාට්‍ය ක්ෂේත්‍රයට විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ සෝමලතා සුබසිංහ කලාකාරිණිය, ගුරුතුමිය සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි. ඇය රංගන ශිල්පිනියක ලෙසින් කළ අතිවිශිෂ්ට රංගනයන්ද අමතක නොවේ.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


ධම්මිකා වල්පොලට ආරාධනා

ඔබ විසින් ගායනා කරන ලද ගීත අතර සිල් මාතාවෝ, රතු ගුරු පාරේ, කවිකාරියේ, දූ විල්ලෙන් වත්සුනු තවරා වැනි ගීත බොහෝ ජනප්‍රියත්වයට පත් වුණි. තව දුරටත් නිහඬව නොසිට නවතම ගීත තුළින් යළිත් රසික අප අතරට පැමිණෙන්න.

එස්. ජේ. ලයනල්
වරකගොඩ
මොදරවාන


නැටුම්, ගැයුම්, වැයුම් රැගත් ඩොක්ටර් නවරියන්

නැටුම්, ගැයුම්, වැයුම් රැගත් විනෝදාස්වාදයෙන් යුතු හොඳ වාණිජ චිත්‍රපටයකි. ලීඩර්, වන්ෂොට්, රන්ජා තරම් ප්‍රබල නොවේ. ලෙඩ සුව කිරීමට බෙහෙත් මෙන්ම හෙදකම ලෙඩුන්ට බලපාන බවත් එයින් ලෙඩ සුව වන බවත් රන්ජන් ඩොක්ටර් නවරියන් තුළින් ඔප්පු කරයි. රුවන්ගි, චන්ද්‍රසිරි, ශ්‍රීමාල්, කොස්තා අති විශිෂ්ටයි. සෙසු රඟපෑම් ද හොඳයි. සංගීතය, කැමරාකරණය අපූරුයි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


ගී සදා අමරණීය යි

සිංහල, හින්දි, දෙමළ, ඉංග්‍රීසි යනුවෙන් ගීත වෙන්කර තැබීම ආසාධාරණයි. ගී සදා අමරණීය යි. අප තාවකාලිකයි.

ආරියදාස පිංදෙණිය
බටවල
පාදුක්ක


සිංහල සිනමාවේ අහිංසක පෙම්වතිය

සිංහල සිනමාව පෝෂණය කළ තවත් නිළියක් ලෙස ශ්‍රියාණි අමරසේන සුවිශේෂව ප්‍රමුඛ ස්ථානයක තැබිය හැක. කලක් ඇය සිනමාවේ නැතුවම බැරි පෙම්වතිය වූවාය. යලි ඉපිදේ, ආශා දෑසින්, හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපට රැසක අහිංසක පෙම්වතියගේ චරිතයට ඇය මනා සේ පණ දුන්නාය. තවත් වරෙක ඇය ආදරණීය මවක වූවාය. දක්ෂතා සපිරි ශ්‍රියාණි අක්කේ ඔබට ජය.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


මෙහෙම අගෙයි

චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන විට ගුණාත්මක කතා සාරාංශයක් තෝරා ගත යුතුය. ප්‍රධාන චරිත සඳහා චරිතවල ජීවත් වීමේ හැකියාවක් ඇති වූ ද දක්ෂ රංගන ශිල්පීන් යොදා ගත යුතුය. නවකයන් වෙත මනා පුහුණුවක් දීමද වැදගත්ය. සංගීතයද රසිකයන් පිනවන අන්දමේ ඉහළ මට්ටමක විය යුතුයි. වත්මන් සිනමාවෙත් ආලින්දයේ පුංචි තිරයේත් දක්ෂයින් නැතුවාම නොවෙයි. එම දස්කම් පෙන්වීමට අවස්ථා සැලසිය යුතුයි.

කේ. ඩී. කරුණාරත්න
ඇන්ඩර්සන් පාර
දෙහිවල


රංගනයේ පරිණත බව කියන දිල්හානි

වත්මන් සිනමාවේ පෙරළිකාර ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඔබ මුල් යුගයේ චිත්‍රපටවල රඟපෑවාට වඩා මෑත කාලයේ චිත්‍රපටවල රංගනයන් ඉතාමත් අගනා බව මගේ හැඟීමයි. රංගනයේ පරිණත බව මැනවින් ප්‍රදර්ශනය කරමින් ධර්ම යුද්ධය, හීන හොයන සමනල්ලු, 5 සමත් චිත්‍රපටවල ඔබගේ දායකත්වය විශේෂයි. නුදුරු අනාගතයේදී මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද ඔබේ නාමය සනිටුහන් කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි සුභාශිංසනය කරමි.

ජ්‍යොතිර්වේදි අනුර දේවප්‍රිය
ගලිගමුව


රොෂාන් පුංචි තිරයේ ප්‍රබල රැඟුමක

ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය කෙරෙන සුදු අඟුරු ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන රොෂාන් රණවනගේ රංගනය ඉතාම අගෙයි. චිත්‍රපට නළුවකු ලෙසින් නම් ලද ඔබ පුංචි තිරයෙන්ද ප්‍රබල රංගනයක යෙදීම ද අගයමි. ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.

ක්‍රිෂා ක්‍රිෂාන්ති
දළුවකොටුව


රසික ආදරය ලද රාජගුරු

සිංහල සිනමාව තුළත් පුංචි තිරයේ ටෙලි නාට්‍යවලත් රංගන ප්‍රතිභාව ඉස්මතු කරමින් රසික ආදරය ලද අනුර බණ්ඩාර රාජගුරු සුවිශේෂි රංගන ශිල්පියෙකි. ඔබගේ කලා දිවියට රසික අපේ උණුසුම් සුබ පැතුම්.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


පැහැසරාට සුබ නව වසරක්

සාර්ථක ටෙලි සිතුවමක් වන පැහැසරා හි රඟන විශ්ව, මහේෂි, මාධනි, වොල්ගා, පියුමි, ප්‍රියන්ත, ගිහාන්, රම්‍යා, ඉසුරු ඇතුළු සියළුම රංගන ශිල්පීන් ශිල්පිණියන්ට ලබන්නා වූ නව වසර සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවායි සුහද සිතින් පතමි.

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහ තොටුපොල
බණ්ඩාරගම


ඉසුරුගෙන් ඔප වැටෙන පිනි

මේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය කෙරෙන පිනි ටෙලි නිර්මාණයට සම්පතා ලෙසින් ඉසුරුගේ රංගනයෙන් ඔප වැටෙන බව නොකියාම බැරිය. සම්පතා සහ ශිරෝමිකා ප්‍රනාන්දු පණ පොවන මානෙල් චරිතය නැත්නම් නාට්‍යය නැරඹීමට නොසිතෙන තරම්ය. නමුත් සුරාජ්ගේ රංගනය ගැන නම් සතුටු විය නොහැක.

කල්‍යාණ ජයනෙත්ති
මැටරඹ
උණවටුන


මනරම් වාදනයන් ගෙන ආ ටියුලින් ජයරත්න

කඩුගන්නාව මහා විදුහලෙන් සංගීතයට අත්පොත තබා ගුවන්විදුලි මහගෙදරින් ඇරඹි සංගීත දිවිය පිබිදෙන ගායක පරපුර, අම්බිකා ගීතයෙන් ගීතය වැනි එකල ජනප්‍රිය වැඩසටහන් ඔස්සේ රසික රසිකාවන් වාදනයෙන් වශී කළ පැරණි භාරතීය ගීත මනරම් ලෙස වාදනය කරන්නා වූ ප්‍රවීණ සංගීතවේදී ටියුලින් ජයරත්නට සුභාශිංසන පුද කරමි.

චන්ද්‍රකාන්ති පියතුංග
දළුගම
කැලණිය


ඩොක්ටර් නවරියන්

වන්ෂොට්, රන්ජා, පාර්ලිමන්ට් ජෝක්ස් වැනි සිනමා නිර්මාණ තිළිණ කළ රන්ජන් රාමනායක ඔබේ නවතම සිනමා නිර්මාණය ඩොක්ටර් නවරියන් කොපමණ නැරඹුවද එපා වෙන්නේ නැත.

එස්. සායගම්
මාවලවත්ත
උඩපේරාදෙණිය


විකට ඇන්තනි සී

හැට හැත්තෑව දශකයේ චිත්‍රපටවලට මනා සේ හාස්‍ය රසය ගෙන ආ තවත් විකට රජෙක් වූ ඇන්තනි සී නාමය අමතක නැත. ධීවරයෝ, අල්ලපු ගෙදර වැනි චිත්‍රපට සමඟින් නැවතත් එවන් යුගයක් කවදා පැමිණේවි දෝ.

තිලකරත්න විල්වල
මැණිකේ විල්වල
තටාකය පාර
කෑගල්ල


අරුණිට සුබ පැතුම්

සීමා නෑ ආකාසේ චිත්‍රපටයේ පළමු රංගනය ඉදිරිපත් කළ අරුණි මල්ලවආරච්චිගේ රංගනය විශිෂ්ටයි. ඔබේ රංගන හැකියාව තව තවත් දියුණු කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.

චාමර හේමනාත් විජේසිංහ
මිරිස්වත්ත
පිළියන්දල


සිත් දිනූ රංගවේදිනිය

නිවේදිකාවක් ලෙස හඬ පමණක් අපේ සවනට ලබා දුන් රම්‍යා වනිගසේකර නම් ප්‍රතිභාපූර්ණ රංගවේදිනිය පුංචි තිරයෙන්ද දකින්නට ලැබීම සතුටට කරුණකි. සල් සපු නා, පැහැසරා ටෙලි නිර්මාණවල ඔබේ චරිත කාගේත් සිත් දිනා ඇත.

දයාරත්න ගනේගොඩ
කැලණිය


වල්පොල ගී රන්තරු

ගී කෝකිල පළමු පරපුර ලතා ධර්මදාස වල්පොල
සුනෙත් චමී අමිත් ධම්මි දෙවන පරපුරේ දරු පවුල
සුජිත් තිසර ගඟුලි තෙවන පරපුරේ රන් වදුල
ගයනා ගී එකම හඬින් මා නෙත පිරුවා කඳුල

පුතුන් මුණුපුරන් සමඟින් පෙම් ගී ගයනා කොමල
පරපුර තුනක් නැත මේ දියතේ කිසිම කල
ගී රස විඳීන්නට ලැබුණා අපට පිනෙහි බල
යුග යුග ඇසේවා සිව්වන පරපුරෙත් ගී ගඟුල

හේමන්තී ගාර්දීයවසම්
වල්පොල ගී රසික සමාජය
මහනුවර


රවීන්ද්‍ර ගුරුගේට ප්‍රණාමය

නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්
සැමගේ නිර්මාණ සකසනවා මැනවින්
දිව රෑ වෙහෙස වී ඒවා නිසි අයුරින්
සංස්කරණ කර දෙනවා මහ ඉහළින්

ඕනෑම ටෙලි කතාවක් ගැලපෙන විලසින්
සකසන්නෙ ඔහු සතු වූ හැකියාවෙන්
රූප රාමු නිසි ලෙස ගලනව සෙමින්
සිනමා පටවලට සම්මාන ද ලබමින්

ගුරු මුෂ්ටිය සඟවා ගෙන නැත මෙතුමා
ගෝලයො රසිකයෝ අත හැර නොයයි දමා
කලාකරුවන්ට අත හිත දෙමින් තමා
රවීන්ද්‍ර ගුරුගෙ හට ආසිරි පතමි මෙමා

ආර්. ඒ සෝමා රණසිංහ


චිරං ජයතු

රටරටවල ගියත් අපගේ හැඟුම තියා
මහ රෑ යාමේ උපුලි කිරි කවඩි ගයා
නොමැරෙන ගීතයකි අමරා සමඟ දයා
සු පැතුම් පිරි නමමි දිගුකල් ඉන්න කියා

නන්දා මාමිපිටිය
පොතානේගම
අනුරාධපුර