වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගී ලොව රැජනන්ගේ කතාවට අලුත් පිටුවක්

ගී ලොව රැජනන්ගේ කතාවට අලුත් පිටුවක්

මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා

ඇන්ජලින්ගේ උපන් දිනය දා ලතා එක්ව ගී ගයයි

මේ දෙන්නා හමුවේ තොරතුරු එකිනෙකා කතාබහ කරන අතරේ තවත් අමුත්තෙක් මේ නිවහනට එන්නේ ඇන්ජලින්ට උපන් දින සුබපැතුම් එක්කරන්නත් ඇගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කරන්න වෙදැදුරෙකුත් අරගෙනමයි. ඒ අන් කවුරුවත් නෙවෙයි. අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ගායන ශිල්පී දයාන් විතාරණ.

සමහර විට රැජනන් අතර නොහොඳ මෝක්කාඩු එමටයි. ඒ රැජනන් නිසාමය. ඇන්ජලින් ගුණතිලක සහ ලතා වල්පොල චිත්‍රපට ක්ෂේත්‍රයේ මුදුන් පෙත්තේ වැජඹුණු යුවළක්. මේ දෙන්නා අතරේ කාලයක පටන් සිත් විරසකවීමක් තිබුණාය කියන දේ ක්ෂේත්‍රය පුරාවටම ප්‍රසිද්ධ රහසක්.

කෙසේ වෙතත් ඒවත් හරියට අර ගෙදර ආරවුල් බත් හැලිය ඉදෙන තෙක් විතරයි කියනවා වගේ. එකට ඉන්න සහෝදරයෙක් සහෝදරියක් ලෙඩට දුකට පත් වුණොත් ඒ වෙලාවට ඔය කියන නෝක්කාඩුකම් අමතක වෙලා යන්නේ පැදුරටත් නොකියා. ඔය වගේ අපූරු සිද්ධියක් ඉකුත් දෙසැම්බර් විසිතුන් වෙනිදා ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලකගේ නිවහනේ සිද්ධ වුණා.

එදා විසිතුන් වෙනිදා ඇන්ජලින් ගුණතිලකගේ හැත්තෑ අටවන උපන් දිනයත් යෙදිලා තිබුණා. මේ වෙන කොට අංශභාග රෝගී තත්ත්වයෙන් පසුවන ඇන්ජලීන් බලන්නට අපේ ගීත කෝකිලාවී ලතා වල්පොල උපන් දින සුබපැතුම් සමගින් ඇන්ජලින්ගේ නුගේගොඩ පාගොඩ පාරේ නිවහනට පියමැන්නේ ඇයට උපන්දින කේක් එකකුත් අරගෙනමයි. ඒ වෙන විටත් ඇන්ජලින් හැරුණු විට කිසිවකුත් නිවසේ නොසිටි නිසාවෙන් ලතාගේ පැමිණීමත් ඇන්ජලීන්ට විශ්මය දනවන්නක් වුණා.

කොහොම හරි නිමේෂයකින් මේ දෙන්නා එකිනෙකා වැලඳ ගත්තේ සතුටු කඳුළු වගුරවමින්. මේ දෙන්නාගේ හමුවේ තොරතුරු එකිනෙකා කතාබහ කරන අතරේ තවත් අමුත්තෙක් මේ නිවහනට එන්නේ ඇන්ජලින්ට උපන් දින සුබපැතුම් එක්කරන්නත් ඇගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කරන්න වෙදැදුරෙකුත් අරගෙනමයි. ඒ අන් කවුරුවත් නෙවෙයි. අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ගායන ශිල්පී දයාන් විතාරණ.

ලතාගේ පැමිණීම ගැන කිසිවකුත් නොදත් දයාන් රෝග තත්ත්වයට නම් දැරූ වරුණ අනූෂාන සෙනෙවිරත්න වෙද මහත්තයා සමඟ ඇන්ජලින්ගේ නිවහනට එනකොට ඇන්ජලිනුත් ලතාත් ගජ මිතුරියන් විලසින් ඉන්නවා දැක්කම දයානුත් විමතියට පත් වෙලා. කොහොම හරි වෙද මහත්තයා ඇන්ජලින්ව පරීක්ෂා කරලා බලලා කියලා තියෙන්නේ නම් සතුටුදායක ආරංචියක්.

මට පුළුවන් මේ රෝගය සුව කරන්න. අපි අද ඉඳලම බේත් පටන් ගමු. මේක ඇහුව ඇන්ජලින්ටත් ලතාටත් හරිම සතුටුයි. ඒ පාර ලතාත් වෙද මහත්තයාගෙන් අහලා තියෙන්නේ මගේ කකුල්වල ආතරයිටිස් රෝගයටත් ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියලා.

ලතාවත් පරික්ෂා කරපු වෙද මහත්තයා එයාවත් සුවපත් කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි දීලා තියෙන්නේ. කොහොම හරි ලතා අක්කා ඇන්ජලින් වෙනුවෙන්ම ගෙනවිත් තිබූ උපන් දින කේක් එක ඇන්ජලින් අතින්ම කපලා උපන් දිනේ සැමරුවේ දෙදෙනාම එකිනෙකාට කේක් කවමින්.

මේ සොඳුරු මොහොතට සුබපතා ගන්න අතරේ අපේ දයාන්ගේ ඉල්ලීමක් වුණේ දෙන්නාට ගීතයකුත් ගායනා කරන්න කියාය. කොහොම හරි දයාන්ගේ ඉල්ලීම අහක නොදැමූ මේ දෙපළ එයට සූදානම් වුණා. අතේ ආබාධයක් නිසාවෙන් සාරිය ඇඳ ගැනීමට අපහසු ඇන්ජලින්ව එදා හැඩ වුණේ ලතා අක්කාගේම අතින්. ඇගේ බෑගයේ තිබූ ලිප්ස්ටික් ඇන්ජලින්ගේ දෙතොලේ තවරා හැඩ කළේ ද ලතා අක්කාය.

අද මාව ලිප්ස්ටික් ගාලා කරාබු දාලා ඇඳුම ඇන්දුවේ ලතා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. අනේ ඇයි අපි විරසක වුණේ. දැන් අපි හොඳ යාළුවෝ. ඇන්ජලින් එහෙම කියමින් ලතාත් දයානුත් සමඟ මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා . . . ගීතය ගායනා කළේ හරිම සතුටින්. කෙහොම හරි ඇන්ජලින්ට සුවය ලැබුණු ගමන් මේ දෙපළගේම එකතුවෙන් ගීත ප්‍රසංගයක් පවත්වන්න තමයි ලතාගෙත් ඇන්ජලින්ගේත් එකම ප්‍රාර්ථනය වී තිබෙන්නේ.