වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මට උවමනා හොඳ සිසු පිරිසක් හදන්න

මට උවමනා හොඳ සිසු පිරිසක් හදන්න

දමයන්ති ෆොන්සේකා

‘දමයන්ති ෆොන්සේකා බජට් හදනවලු’

මේ දවස්වල ඈ ගැන කලා ක්ෂේත්‍රයේ පැතිර යන කතාවක්. රඟපෑමයි, ඉගැන්වීමයි පැත්තකින් තියලා දමයන්ති ෆොන්සේකා අලුත්ම වැඩක් පටන්ගෙන ද කියලත් අපට සිතුණේ මේ කතාවත් එක්ක. මේ කතාවේ ඇත්ත නැත්ත විමසන්නත් එක්ක අප දමයන්ති ෆොන්සේකාව පසුගිය දිනෙක මුණ ගැසුණා.

* “ඉතිං. බජට් හදන වැඩේට මේ දවස්වල හොඳට ඉල්ලුමක් තියෙනවා වගෙයි ද?”

දමයන්ති හඬ නඟා සිනාසුණා. ඒ සිනාවේ තිබුණේ ඒ කතාව බොරුවක් නොවෙයි කියන්න වගේ.

“මා මුලින්ම ප්‍රසන්නගේ චිත්‍රපට කටයුතුවලටත් උපාලි ගම්ලත්ගේ ‘ගුරු ගීතය’ චිත්‍රපටයටත් නිෂ්පාදන කටයුතුවලට උදවු වුණා. ඊට පස්සේ ඩොක්ටර් කපිල සූරියආරච්චිගේ දෙවැනි චිත්‍රපටයේදී බජට් හදලා, නිෂ්පාදන කටයුතු පැත්තට උදවු කරන්න කියලා ඉල්ලීමක් කළා. මට හැකි අයුරින් ඒ නිර්මාණයටත් මගේ දායකත්වය ලබා දුන්නා. ඒ මේ මාසයේ ජනවාරි, පෙබරවාරි කියන මාසවලදී. ඒ වගේ ම ප්‍රසන්නගේ අලුත් ම වාර්තා චිත්‍රපටය වන ‘ඈ’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පැත්තට සහය වුණා. මේ කාරණා නිසා මට නිර්මාණවල නිෂ්පාදන කටයුතුවලට පිවිසෙන්නැයි යම් ආරාධනා තිබෙනවා. මාත් සමඟ වේදිකා නාට්‍යවල සමකාලීනව රඟපෑ රංගන ශිල්පියකු මේ වනවිට නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න යනවා. ඔහුගේ නිර්මාණයේ හොඳ චරිතයක් රඟපාන ගමන්, නිෂ්පාදන කළමනාකරණයෙන් සහභාගි වෙන්නත් ආරාධනා ලැබුණා.

* මෙහෙම ගියොත් දමයන්ති කියන රංගන ශිල්පිනිය අපට අහිමි වේවිද?

එහෙම වෙන එකක් නැහැ. මගේ සමීපම හිතවතුන් මෙවැනි කාර්යයක් භාර දුන්නට පස්සේ බැහැයි කියන්න බැහැ. මුදල් ගනුදෙනු කියන්නේ බොහොම විනිවිද භාවයකින් යුතුව, විශ්වාසය රැකිය යුතු දෙයක්. මේ නිර්මාණවල බොහෝ වෙලාවට නිෂ්පාදන කළමනාකරුවකු ඉන්නවා. මගේ අවශ්‍යතාව තිබෙන්නේ මුදල් ගනුදෙනු බලා ගැනීමයි.

* ඔවුන් ඔබ කෙරෙහි ඒ තරමට ම විශ්වාසය තබලයි ඉන්නේ?

මගේ නිර්මාණයකදි වුණත් මා අධ්‍යක්ෂණය කිරීමට පුටුවේ වාඩි වුණාට පස්සේ අනෙක් දේවල් ගැන සොයා බැලීමට විදියක් ඇත්තේ නැහැ. ඒ නිසා මා කරන්නේ හොඳම කළමනාකරුවකු සොයා ගැනීමයි. ඔවුන්ට වුණත් ඒ කාරණය පොදුයි. මේ නිසා ඔවුන් මා ගැන සම්පූර්ණ විශ්වාසය තබා, සියලු කටයුතු මට පවරලා, අධ්‍යක්ෂණය කටයුතු නිදහස්ව කරනවා. ඉන් යම් සත් කාර්යයකුත් සිදු වෙනවා. ඒ ඔවුන්ට නිදහසේ හොඳ නිර්මාණයක් කිරීමට හොඳ මානසික පසුබිමක් නිර්මාණය කරදීමෙන්. මේ කටයුතු කරදීමට මට කණ්ඩායමක සිටින අනෙක් අයගේ සහයෝගයත් ලැබෙන බව සඳහන් කළ යුතුයි. මොක ද නිර්මාණ කාර්යයක් කියන්නේ මාලයක් වගේ. එහි එක පුරුකක්වත් ගැලවෙන්න බැහැ. ඒ නිසා සියල්ලන්ගේ ම එකමුතුවෙනුයි නිර්මාණයක සියලු කටයුතු සිදුවන්නේ.

* මෙවැනි කටයුතුවල නියැළීම නිසා කාර්යබහුල වීමෙන් ඔබ කරන ඉගැන්වීම් කටයුතුවලට කුමක් ද වී තිබෙන්නේ?

මගේ පන්තියට වසර හතරක්. මේ වනවිට වේදිකා නාට්‍ය දෙකක් වේදිකා ගත කරලා තිබෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට ප්‍රායෝගිකව අත්දැකීම් ලැබීමට අවස්ථාව උදා කළා. මේ පන්තිය ආරම්භ කරන්නේත් ළමයින් කිහිපදෙනෙකුගේ ආරාධනයෙන්. ඒ මා නෝබට් ජේ මයර්, හෙලේනා ලෙන්තිමති ඇතුළු බොහෝදෙනෙකුගෙන් ලද අභ්‍යාස පිළිබඳ ඔවුන් දත් නිසයි එවැනි ආරාධනාවක් කරන්නේ. ඒ නිසා මට එහෙම ලෙහෙසියෙන් මගේ සිසුන්ව අමතක කර දමන්න බැහැ.

* ඒ ඔස්සේ මෙවරත් එළිදැක්වෙන නිර්මාණ කාර්යය වන්නේ වේදිකා නාට්‍යයක් ද?

මෙවර පන්තියේ සිසුන්ටත් වේදිකා අත්දැකීමක් ලබා දෙනවා. ඒත් අද වනවිට බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ කෙටි චිත්‍රපට කෙරෙහි නිසා, මෙවර පාඨමාලාව අවසානයේදී මා සිතුවේ කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමටයි. කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම ඇතුළේදී මට සිතෙන්නේ වේදිකාවේදී සියල්ල දැන ගන්නවා වගේ සිනමාවට යන්න කලින් ඔවුන්ට හොඳ ප්‍රායෝගික අත්දැකීමක් ලැබෙන බවයි. ඒ හරහා රංගනය, තිරනාටකය, සහය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, වේශ නිරූපණය, කොණ්ඩා නිර්මාණය ආදී අංශ පිළිබඳත් මනා දැනුමක් ඔවුන් සතුවේවි. පන්තියේ ඉන්න මාස හය ඇතුළත මේ සියලු දේ ප්‍රායෝගිකව කිරීම නිසා සිනමාවේ චිත්‍රපටයක් කිරීමට පෙර ලැබිය යුතු අත්දැකීම් රාශියක් ඔවුන්ට හිමිවේවි.

* මීට පෙර චිත්‍රපටයක් කිරීමට යම් යම් නිර්ණායක විමසා බැලූ කාලයක් තිබුණා නේද?

මට මතකයි ඉස්සර ඩී.බී. නිහාල්සිංහ මහත්තයා ඉන්න කාලයේ ඕනෑ ම කෙනෙකුට සිතුව ගමන් ම එක්වරම චිත්‍රපටයක් කරන්න බැහැ. ඊට පෙර ඔහු චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචියෙන් පසුව ඔහු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර පෙන්විය යුතුයි. එය හරියට ඔහුට ඉදිරිපත් කළ විභාගයක් වගෙයි. ඒ හරහා කොපමණ දක්ෂතාවක් තිබෙනවා ද යන්න හෙළි වෙනවා. ඉන්පසුවයි ඔහුට චිත්‍රපටය කරන්න අවසර ලැබෙන්නේ. ඒ නිසා මගේ පන්තියේදී මෙවර එවැනි පිරිසක් නිර්මාණය කළ යුතු යැයි මා සිතුවා. යමක් දැනගෙන යෑම මඟින් විවිධ කවුළු රැසක් විවෘත වනවා. එවැනි දේ දැන ගැනීම මඟින් මගේ පන්තියේ දරුවන්ට තමන්ගේ කැමැත්ත අනුව විවිධ අංශ ඔස්සේ පා නැඟීමට හැකියාව ලැබෙනවා. අද වනවිට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වගේ ම චිත්‍රපට රැසක් නිර්මාණය වනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ ඕනෑ තරම් රැකියා අවස්ථා බහුලයි. ඒ අවස්ථාවලට මගේ පන්තියේ ළමයින්ට බිය නැතිව පා නැඟිය හැකියි. ඒ ඔවුන් යම් ප්‍රායෝගික අත්දැකීම් රැසක් ලබා තිබෙන නිසයි.

* ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේදී ඔබ අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද?

මාලනී ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ, ශ්‍යාම් ප්‍රනාන්දු, කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, විශේෂ කටහඬ පුහුණු උපදේශිකාව වන විශාකා ජයවීර, දමින්ද මඩවල, බුද්ධි සංජය, දම්මික හේදුවාවත්ත, ධනුෂ්ක හුලංගමුව ඇතුළු විවිධ අංශවලින් දක්ෂතා දක්වන ප්‍රවීණයන් පිරිසක් හරහායි ඔවුන්ට ප්‍රායෝගික කාර්ය පිළිබඳ ගුරුහරුකම් මා ලබාදෙන්නේ.

* ඔබගේ මේ ක්‍රියාකාරකම් හරහා අද කලා ක්ෂේත්‍රයේ සක්මන් කරන පිරිසකුත් නිර්මාණය වී සිටිනවා?

ඒ ගැන ඇත්තටම මට තිබෙන්නේ සතුටක්. මා කරන ව්‍යායාමයෙන් ගන්නා දේ ඔස්සේ දොරගුළු විවෘත වුණාට පස්සේ ඒ වෙනුවෙන් ඔවුන්ගෙත් යම් කැප කිරීමක් තිබිය යුතුයි. එහි උපරිම ඵල නෙළා ගන්නේ කෙසේදැයි මා ඔවුන්ට උගන්වා තිබෙනවා. පිටපතක් කියෙව්වාට පසුව චරිතයක් ගොඩනඟා ගන්නේ කෙසේදැයි මා ඔවුන්ට කියා දී තිබෙනවා. සමහර විට ඔවුන්ටත් පිටපතක් ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදි තමා චරිතය ගොඩනඟා ගන්න විදිය මා ඔවුන් කියාදී තිබෙනවා. පිටු දෙකක පිටපතක් ලැබුණත් ඔවුන් බොහොම හොඳට රඟපාන අයුරු මා දැක තිබෙනවා. මේ සියල්ල දේ කිරීමට ඔවුන් දක්ෂයි. ඉන් සමහරු ටෙලි නාට්‍යවලත්, සමහරු වෙළෙඳ දැන්වීම්වලත් රඟපාන අයුරු මා දුටුවා. අප අපගෙන් පසුව පසු පෙළක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා මේ සියලු දේ දෙස බලන විට මට මියයෑමට පෙර කලා ලෝකයට දරුවන් දාහක්වත් දායාද කළ හැකි නම් එයයි මගේ එක ම පරමාර්ථය වන්නේ.

* රංගනයට පිවිසීමේදී නළු - නිළියන්ට රංගන පාසලකට පිවිසීම අවශ්‍ය මද?

ඉස්සර අපට රංගන පාසලක් තිබුණේ නැහැ. පැරැණි අය හැමෝම වගේ කියන්නේ වේදිකාවයි අපට රංගන පාසලක් වුණේ කියලා. මටත් මේ කියන කාරණය බලපෑවා. මමත් ඒ කාලයේ රඟපාන අතරතුර දයානන්ද ගුණවර්ධන මහත්තයා මුණ ගැහිලා ඔහුගේ වේදිකා නාට්‍යයක රඟපාන්න ඉල්ලුවා. ඒ විදියටයි අප නිර්මාණවලට දායක වුණේ. ඒත් අද වනවිට නිර්මාණ රැසක් බිහි වෙනවා. ඒ සමහර නිර්මාණ එක් කණ්ඩායමකට අනුගත වී සිටින නිසා එහෙම ඉල්ලලා ගිහින් රඟපාන්නටත් නොහැකියි. කොහොම වෙතත් අද අපේ රටේ පෞද්ගලික මට්ටමින් ප්‍රවීණ ශීල්පීන් හා ශිල්පිනියන්ගේ රංගන පාසල් රැසක් බිහි වී තිබෙනවා. ඒ මාර්ගවලින් බොහෝ නිර්මාණකරුවන් හඳුනා ගැනීමට බොහෝ අයට හැකියි. ඒ වගේ ම මේ පාසල්වල නළු - නිළි බැංකුවක් නිර්මාණය කිරීම කරගෙන යනවා. රංගනය ගැන ඒ පාසල්වල ඉගැන්වෙනවා. අභ්‍යාසයක් ලබා කැමරාව ඉදිරියට ගියොත් ඒ කාරණය ඒ අයට බොහොම වැදගත් වේවි. තමාගෙන් උපතෙන් රැගෙන පැමිණි රංගන හැකියාව මුවහත් කර ගැනීමට ඒ රංගන පාසල්වලින් අපූරු මඟ පෙන්වීමක් සැලසේවි. එවිට ඔවුන් කැමරාවට ආධුනික නොවේවි. සිය රංගන කාර්යය මනාලෙස කළ හැකිවේවි. තමාට තමා කවුදැයි හඳුනා ගත හැකිවේවි.

* ඔබ නිර්මාණය කළ පදනම හරහා කුමන දේවල් ද සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ?

මගේ සිතේ තිබෙන හීනයක් වන්නේ කවදා හෝ පදනම හරහා අධ්‍යයනය කළ හැකි පරිශීලනය කළ හැකි පුස්තකාලයක් නිර්මාණය කිරීමයි. එහි සිනමාව, වේදිකා නාට්‍ය, චිත්‍ර ආදී විෂයයන් පිළිබඳ පොතපත ඇතුළත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. සියලු ම කලාව ගැන ලියැවුණු පොතපත තිබෙන පුස්තකාලයක් නිර්මාණය කළ හැකි නම් වඩාත් හොඳයි. මෙය මට මගේ නිවෙසෙන්ම ආරම්භ කළ හැකියි. මොකද ප්‍රසන්න ළඟත් පොත් රැසක් ම තිබෙනවා. ඒ වගේ ම ඔවුන් අධ්‍යයනය කරන නිර්මාණය නැරැඹිය හැකි මිනි තියටර් එකක් එහි තිබිය හැකි නම් වඩාත් හොඳ බවයි මා සිතුවේ. මේ සියලු දේම මගේ පදනම හරහා කිරීමටයි අදහස් කරගෙන සිටින්නේ. ඒ සඳහා මූල්‍ය ධනය සොයමිනුයි මේ දිනවල අප කාලය ගත කරන්නේ.

* පසුගිය දිනවල ඔබගේ රංගනය පුංචි තිරය හරහා අප දුටුවේ නැහැ. ඒ ඇයි?

මගේ ඉගැන්වීම් කටයුතු නිසාත් මා කාර්යබහුල වුණා. ඒ වගේ ම පසුගිය කාලයේ හිතට හරියන විදියේ හොඳ චරිතයක් ලැබුණෙත් නැහැ. මේ නිසා මා පුංචි තිරයේ දකින්නට ලැබුණේ නැහැ. ඒ අතර ඉදිරියේදී පැමිණීමට නියමිත නිර්මාණ කිහිපයකට ම පසුගිය කාලයේ දායක වීමට අවස්ථාව හිමිවුණා. හෙක්ටර් කුමාරසිරිගේ ‘අනෝරා’ කියන චිත්‍රපටයේත්, ‘නයිට් රයිඩර්’ කියන චිත්‍රපටයේත්, තිස්ස විජේකෝන්ගේ ‘ගරුඪ දමන’ ටෙලි නාට්‍යයේ කසිප්පු පෙරන ගැහැනියකගේ චරියටත් පණ පෙව්වා. මෑත කාලයේ මා රඟපෑ චරිතවලින් මා බොහොම කැමැත්තෙන්, කැප කිරීමෙන් රඟපෑ චරිතයක්.