වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මා හද අසපුව රෝමයේදී ඇසිණි

මා හද අසපුව රෝමයේදී ඇසිණි

යශෝධරා...... යශෝධරා.....

සිතේ නැඟුණු කලකිරීම කුමරිය

ඔබ පමණයි - දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා.....

පසුගිය දිනෙක ඒ සොඳුරු කෝකිලයාගේ ස්වරය යළිත් ගලාගෙන ගියේ ඉතාලියේ මිලානෝ, වෙරෝනා හා රෝමයේ යන නුවරවලදී ය. වසර දහයකට පසුව එහි උන් සියලු ම දෙනාගේ දෙසවනේ රැව් දුන්නේ ප්‍රවීණ ගායක සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මියුරු සුගායනයේ ස්වරයයි.

ඔහු අසල ම සිටියේ මෙතෙක් සිය ජීවිතයේ සෙවණැල්ල බඳු වූ බිරිය මල්කාන්ති ය. සති කිහිපයකට ඉහත එහි ලැබුණු හරසර මැද කල්ගත කළ ඔවුහු පසුගිය දිනෙක සිය මව්බිමට පා නැඟුවේ එහි උන් සොඳුරු මිනිසුන්ගේ සෙනෙහස පිළිබඳ හදවතෙන් සැනසෙමිනි.

ඒ පැමිණි විගස ම ඔවුන් ලද මේ සොඳුරු මතකය සිහිපත් කිරීමට මතකයට පිවිසියේ ‘සරසවිය’ පුවත්පත ය. ලැබුණු ඇරැයුමෙන් සුපුරුදු සෙනෙහසින් අපි සනත් - මල්කාන්තිගේ සොඳුරු නිවහනට පිවිසියෙමු. ඒ ඉතාලි සංචාරයේ සොඳුරු අහුමුළු අතපත ගාන රිසියෙනි.

“ඉතාලි සංචාරය බොහොම සුන්දරව ගෙවී ගිය බවයි පෙනෙන්නේ?”

“මීට පෙර කිහිපවතාවක් මත් අපි ඉතාලියේ ප්‍රසංග කිහිපයකට ම සහභාගි වෙලා තිබෙනවා. මෙවර එහි ප්‍රසංගයක් සඳහා සහභාගි වන්නේ දසවසරකට පසුවයි. මේ ආරාධනය ගැන මුලින් ම දැන ගන්නට ලැබෙන්නේ නිරංජලාටයි.

නිරංජලා නංගියි අප දෙදෙනාට ඉතාලියේ ප්‍රසංගයකට එහි පිවිසිවීමට ආරාධනා කළ බව පවසන්නේ. පසුව එහි ප්‍රධාන සංවිධායක සුමිත් රුද්‍රිගු අප හා කතාබහ කර දින ලබා ගන්නවා. ඒ වගේ ම ඔහු සමඟ ම සම සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ප්‍රේමරත්න ලියනගේ, ලකිත් ශාමන්වත් මතකයට නැඟිය යුතුයි.

ඒ අනුව ඔවුන්ගෙන් ලැබුණු ආරාධනයත් සමඟ අප පසුගිය දිනෙක ඉතාලිය බලා සංචාරය කළා. අපත් සමඟ තිළිණ තුෂාර වෙල්ලාලගේ කියන කීබෝඩ් වාද්‍ය ශිල්පියාත් සහභාගි වුණා. එහිදි ලැබුණු පිළිගැනීම ගැන නම් අපට සිතා ගන්නවත් බැහැ.

මුල්ම ප්‍රසංගය තිබුණේ වෙරෝනා නගරයේ. එය සංවිධානය කර තිබුණේ නීල් රාජපක්ෂ විසින්. උඩවලවේ ආනන්ද හිමියනුත් අපගේ ගීත ප්‍රසංගය රස විඳීමට පැමිණ තිබුණා. එය විශේෂත්වයක්. ඔවුන් සියලුදෙනාගේ ආදරය මැද අප දෙදෙනා ම ගී ගැයුවා.”

සොම්නසින් යුතුව ඒ ඉතාලි සංචාරය පිළිබඳ සිය මතකය අවදි කළේ මහාචාර්ය සනත් නන්දසිරි නම් ප්‍රවීණ ගීත කෝකිලයා ය.

වසර දහයකට පසුව ඉතාලියට පිවිසිය ද සනත් හා මල්කාන්තිට දැනුණේ සුපුරුදු හුරුපුරුදු බවකි. ඔවුන් මේ සොඳුරු යුවළව පිළිගනු ලැබුවේ මහත් හරසරෙනි. ප්‍රධාන ගීත ප්‍රසංගය පැවැත් වූ මිලානෝ නගරයේදී එහි ශාලාවට ඔවුන් මේ සොඳුරු යුවලව කැඳවා ගෙන ගියේ හේවිසි, බෙර වයමින් ය.

ඒ පෙරහැරේ රැඟුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකේය දුවා දරුවෝ ය. කිසිඳු දිනෙක උඩරට, පහතරට නර්තනයක් දැක නැති ඔවුන් එදින සනත් - මල්කාන්ති පිළිගැනීමට නර්තනයේ යෙදුණේ පුරුදුකාරයන් මෙනි. ඔවුන් දන්නා විදියට වුවද වැයූ හේවිසි, බෙර වැයුමේ බොහොම සුන්දරත්වයක් ගැබ්ව තිබිණි.

“ඒ ළමයි කිසිම දවසක බෙරයක් දැකලා තිබුණු ළමයින් පිරිසක් නොවෙයි. ඒත් ඔවුන්ගේ බෙර වැයුම්, නර්තන බොහොම අලංකාරයි. ඒ සොඳුරු පෙරහැර අපට කිසිම දිනෙක අමතක නොවන බව සිකුරුයි.”

ප්‍රවීණ ගායිකාවක වන මල්කාන්ති නන්දසිරි සිහිපත් කරන්නේ ඉතාලියේදී එහි සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔවුන් දෙදෙනා විඳී සොඳුරු මතකයකි.

“මගේ රටට දළදා හිමි සරණයි

මගේ දැයට දළදා හිමි සරණයි

ඔවුන් ඒ ගීතය දෙවරක් ම අසන්නට තරම් කැමැත්තක් දැක්වූ නිසා ම අපේ කෝකිලයාට යළිත් වරක් ඒ ගීතය ගැයීමට සිදුවිය. කලකට පසුව ඉතාලියට පිවිසි සනත් - මල්කාන්තිගේ සොඳුරු ගී ස්වරය විඳීමට බොහෝ ඈත ප්‍රදේශවල පදිංචිව සිටි පිරිස පැමිණ සිටියහ. ඒ අතර ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද වූහ.

“ඒ තරම් දුරක ඉඳගෙන පැමිණියත් අපව දමලා යන්න හිතෙන්නේ නැහැ යැයි ඔවුන් පැවසුවා. ඔවුන් ඒ කියූ කියමන අපේ සිත්වලට තදින් ම කා වැදුණා. ඒ වගේ ම ඔවුන් පැවසුවේ අපට මේ ගමන බොහොම වෙහෙසකර වුණත් මේ ප්‍රසංගයේ විඳී මිහිරෙන් ම ඇල්ප්ස්වලට යළිත් ආපසු යන්නට ගමන ආරම්භ කරන බවයි.”

ඒ තරමට ම ඔවුහු සනත් - මල්කාන්තිට ආදරයෙන් බැඳී සිටියහ.

‘යශෝධරා’ නමින් නම් කළ ප්‍රසංගවල ගීත රස විඳීමට වැල නොකැඩී පැමිණි පිරිස අතර මීට පෙර ද ඔවුන්ගේ ගීත රස විඳී රසිකයන් බොහෝ දෙනෙක් සිටියහ. මීට පෙර තනිවම තරුණ - තරුණියන් ලෙස රස විඳී ගීත ඔවුන් මෙකල ඇසුවේ ඔවුන්ගේ දරු -මුනුපුරන් සමඟ ය.

ඒ අතර සෝමලතා දිවිතුරුගම (එල්සන් දිවිතුරුගමගේ මල්ලිගේ බිරියයි.) නීල් පෙරේරා, වසර ගණනාවක් ම සිය ගුරුවරයාගෙන් සංගීතය ඉගෙන ගත් තෙරේසා ද ඇතුළු බොහෝදෙනාද සිටියහ. මේ අතර වසර තිහක මිතුරුකම සිහිපත් කරමින් ජයකොඩි හා සන්ධ්‍යා සනත් හා මල්කාන්තිව රැගෙන ගියේ රෝමයේ විශේෂ ස්ථානයකට ය.

“ඒ හිට්ලර් රෝමයට පැමිණ නැවතී සිටි ස්ථානයටයි. ඒ ප්‍රදේශය අක්කර අටසීයක පමණ බිම් ප්‍රදේශයක්. එහි පිහිටා තිබෙන්නේ කතෝලික දේවස්ථානයක්. කා අතරත් ප්‍රසිද්ධ මේ දේවස්ථානය ඓතිහාසික වටිනාකමින් යුක්තයි.

ඒ නිසාම විවාහ මංගල්‍යයන් සඳහා මේ දේවස්ථානය භාවිත කරන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ සුන්දර බිම් ප්‍රදේශය බලා ගන්නේ මගේ මිතුරා හා මිතුරිය යි. ජයකොඩි හා සන්ධ්‍යා වන ඔවුන් ඉතාලියේ පුරවැසියන් බවට පත්වීමට පෙර පදිංචිව සිටියේ ගම්පහ යි.”

අප එහි සිටි දින කිහිපයේ ම මංගල්‍ය කිහිපයක්මත් පැවතුණා. ඒ දින කිහිපයේ ම අප රෝමයේ සුන්දරත්වය විඳීන්නත් අමතක කළේ නැහැ.”

රෝමයේ පැවැත් වූ ප්‍රසංගය නම් කර තිබුණේ ‘මා හද අසපුව’ නමිනි. එය සංවිධානය කළේ කපිල ද සිල්වා විසිනි. කොන්සල් ජනරාල්වරිය ප්‍රදීපා සේරම් ද එහි පිවිසියේ කලකට පසුව සොඳුරු ගී අඬහැරයක සෞන්දර්ය විඳීමේ අදහස පෙරදැරිව ය. නදීමා මේ මහා ගාන්ධර්වයා හා ඔහුගේ බිරිය පසුපස සිටිමින් සියල්ල සංවිධානය කරමින් ඔවුන්ට බෙහෙවින් සහය වූ කාන්තාවකි. ඈව ද සිහිපත් කිරීමට අමතක නොකළ මේ කෝකිලයා හා කෙවිලිය අපගෙන් සමුගන්නට මත්තෙන් පැවසූ වදන මගේ දෙසවනේ රැදුණේ අමතක නොවන අයුරිනි.

“මේ ඉතාලි ගමන අප දෙදෙනාට සිහිපත් කළේ අපට ආදරය කරන රසික රසිකාවන්ගේ හදවතේ සුන්දරත්වයයි. ඉන් සිදු වුණේ අපට තව තවත් ජීවත් වන්නට ශක්තිය ලැබීමයි. ධෛර්ය ලැබීමයි.”