වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි

හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි

සුනිල් ටී. ප්‍රනාන්දු කනගාටුවෙන් පවසයි

ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදකවරුන් අතර වර්තමානය වන විට ප්‍රමුඛතම නාමයක් දිනාගෙන සිටින්නන් අතර සුනිල් ටී. චිත්‍රපට සමාගමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි අධිපති සුනිල් ටී. ප්‍රනාන්දු ගෙවුණු දශක පහකට ආසන්න කාලයක් තුළ දේශීය සිනමාව වෙනුවෙන් චිත්‍රපට 70 කට නිෂ්පාදන දායකත්වය පිරිනමා ඇත. එසේම ඔහු සිනමා කර්මාන්තය සමඟ සෘජු සබඳතා පවත්වන දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පිහිටි සිනමා ශාලා හිමියෙක් ද වේ. ගෙවුණු සති දෙක තුනක කාල වකවානුව තුළ අපට ලැබුණු ආරංචිවල සඳහන් වූයේ සුනිල් ටී. සිනමාවෙන් ඉවත්වන්නට යන බවය. එසේම ඔහු විසින් පවත්වාගෙන ගිය සිනමා ශාලා කිහිපයක් මේ වනවිට වසා දමා ඇති බව ද එම ආරංචි අතර විය. මේ පිළිබඳ පසුගිය දිනයකදී සුනිල් ටී. හමු වූ මොහොතක කළ කතාබහකි මේ.

* වර්තමාන ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය ගැන ඔබට මොකද හිතෙන්නේ?

සිනමාව ගැන කතා කරන්න දෙයක් නෑ. වර්තමාන සිනමා කර්මාන්තය තියෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක.

* සිනමාව කනගාටුදායක තත්ත්වයක තිබියදීත් ඔබ චිත්‍රපට හදනවා?

මෙහෙමයි, මමත් ඉතින් තව ටික දවසකින් කිසියම් තීරණයකට එන්න ඉඩ තියෙනවා. මම නිෂ්පාදනය කරපු චිත්‍රපට 7 ක් විතර තියෙනවා තව ප්‍රදර්ශනය වෙන්න. දෙවැනිදා තිරගත වන ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයෙන් පස්සේ හිතුවක්කාර තීරණයකට එන්න පුළුවන්.

* ඒ කියන්නේ චිත්‍රපට නොහද ඉන්නද හදන්නේ?

ඔව්. චිත්‍රපට නොහද ඉන්න. හොඳ චිත්‍රපටයක් හැදුවොත් පෙන්වන්න ඉඩ තියෙනවා.

* එහෙම තීරණයකට එන්න හිතුවේ ඇයි?

අද ODC චිත්‍රපට බලන ප්‍රේක්ෂකාගාරයක් නෑ. ඒක නැත්තටම නැතිවෙලා තියෙන්නේ. සිනමාව වලපල්ලට යනවා කියන්නේ අන්න ඒකයි. BOX ප්‍රේක්ෂකයින්ට චිත්‍රපට පෙන්නලා විතරක් අපට පිරිමහන්න බෑ. මගේ තියෙන සිනමා ශාලා බර ගණනක් බැංකුවට ණය වෙලා තියෙනවා. ඒවා බේරලා ආයිත් ණය වෙනවට වඩා ලේසියි ඒවා අයින් කරන එක.

* ඒ කියන්නේ ඔබේ සිනමා ශාලා වහනවද?

ඔව්. දැනටමත් තුනක් වහලා තියෙන්නේ. රිට්ස් බොරැල්ල, ජයසෙවන දඹුල්ල කියන ඒවා. ලංකාවේ සිනමා කර්මාන්තය අපැහැදිලි තැනක තියෙන්නේ.

* එකට හේතු මොනවාද?

පවතින ආර්ථික තත්ත්වයත් ඒකට එක හේතුවක්. නමුත් ආර්ථික ප්‍රශ්න ආවත් හොඳ චිත්‍රපටයක් ආවම කඩාගෙන බිඳගෙන බලන තත්ත්වයක් අපේ රටේ තිබුණා. අද ඒ තත්ත්වය නැත්තටම නැති වෙලා. මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ ක්‍රවුඩ් එක නැත්තේ කියලා. අනිත් පැත්තෙන් කසිකබල් චිත්‍රපට එනවා. ඒව බැලුවම එන සෙනඟත් නැතිවෙලා යනවා. මෑත කාලෙදි ආපු ‘ධර්ම යුද්ධය’ හොඳ චිත්‍රපටයක්. ඒ ගැන මම ලොකු බලාපොරොත්තුවකින් හිටියා. මේ එළඹෙන අගෝස්තු දෙවැනිදා තියෙන ‘හීන හොයන සමනල්ලු’ මගේ අන්තිම බලාපොරොත්තුව. ඒකත් වැඩ කළේ නැත්නම් මම මටම දෙයියන්ගෙම පිහිටයි කියා ගන්න එක තමයි හොඳම දේ.

* නමුත් ඉතින් සුනිල් ටී සහ සිනමාව කියන එක ගහට පොත්ත වගේ වෙන් කරන්න බැරි දෙයක් නේද?

මම සිනමාව දාලා යනවා කියලා ඒකෙන් මම අදහස් කරන්නේ නෑ. වෙන මොනවයින් හෝ සිනමාවට දායක වෙනවා. සම්මාදම් වෙනවා. නමුත් දැන් දැන් මම පත්වීගෙන එන්නේ සිනමාවට ආයුබෝවන් කියන තත්ත්වයට තමයි.

* වසා දමන තියටර්වලට මොකද කරන්නේ? ඒවා වෙනත් ව්‍යාපාර සඳහා පාවිච්චි කරනවාද?

දැනට බෙරැල්ල රිට්ස් එක නම් අයිති කට්ටියටම දුන්නා. ඒ අය ඒ ව්‍යාපාරයම කරගෙන යනවා. අනික් ඒවා ගැන තාම හිතලා නෑ. කොහොම වුණත් සිනමා ශාලාවක් වෙනස් කරන්න හරි අමාරුයි. මේවාට ආණ්ඩුවේ මැදිහත්වීමකුත් නෑ. සිනමාවට එහෙම වුණාට සම්මානවලින් අපට අඩුවකුත් නෑ. මේ රටේ නිසි බලධාරින් මෙහෙම වෙන්න හේතුව පිළිබඳ හොයන්නෙත් නෑ. අද DVD තාක්ෂණය පිළිබඳ කතා කළොත් මගේ ‘අජාසත්ත’ චිත්‍රපටයේ DVD එක චිත්‍රපටය නිදහස් කරලා දින දෙකකින් එළියට දානවා. ඒවාට නීති නෑ. සෙන්සර් බෝඩුත් නෑ. මම අවුරුදු දෙකක් තිස්්සේ චිත්‍රපටය හදලා සති දෙකකින් චිත්‍රපටය ගලවා ගන්නවා. ඉතින් ඕවගේ රටක අපි Film කරන එක තේරුමක් නෑ. ඒවට ප්‍රමිතියක් නැතිකමත් මේකට බලපානවා. කිසිම ප්‍රමිතියක් නැති DVD ඒ අතරට එකතු කරනවා. මේ දවස්වල තිරගත වෙන ධර්ම යුද්ධය චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක් අනුසාරයෙන් නිර්මාණය වූවක්. ඒ දෙමළ චිත්‍රපටය සිංහලෙන් ඩබ් කරලා ඒ නමින්ම පෙන්වනවා. ඉතින් කොහොමද නිෂ්පාදකවරු රැඳෙන්නේ. මේවා නිසා විශාල ව්‍යාකූල තත්ත්වයකට අපේ සිනමාව පත්වෙලා තියෙන්නේ.

* දැන් ආනයනය කරන චිත්‍රපටවලට මොකද වෙන්නේ?

ඒවා ගෙන්වන්නේ හොඳට බලලානේ. ඒවා හොඳ Qභඪතඪබර චිත්‍රපට. ඒවට හැදුන ඛ්පධඹඥඤ එකක් මෙහේ ඉන්නවා. මේ චිත්‍රපට අනිවාර්යයෙන්ම ලාභයි. ඒවා ගෙන්වන්නේ 10% හෝ 15% කමිෂන් එකට. කොහොම වුණත් දැන් මිනිස්සු චිත්‍රපට බැලීමෙන් අයින්වෙලා. ආනයනික චිත්‍රපටවලින් විතරක් ලංකාවේ සිනමා කර්මාන්තය දියුණු කරන්න බෑ. සිංහල චිත්‍රපට හැදෙන්න ඕනෑ. නමුත් මේ යන විදියට 4.15 දර්ශනය විතරක් සිංහල චිත්‍රපටවලට ඉතිරි වෙලා. ඉතිරි දර්ශන සියල්ල දෙමළ, හින්දි, ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වන්න වෙන අවස්ථාවක් තමයි ඉදිරියේදී වෙන්නේ. උදාහරණයකට අපි ලිබර්ටි සිනමා ශාලාව ගමු. ඉස්සර ලිබර්ටි සිනමා ශාලාවේ පෙන්නුවේ සිංහල චිත්‍රපට. දැන් එතැන සිනමා ශාලා දෙකක් කරගෙන පෙන්වන්නේ ඉංග්‍රීසි චිත්‍රපට. ඉතින් එතකොට සිංහල ක්‍රවුඩ් එක කොහෙද යන්නේ.

මේකට ප්‍රධානම හේතුව දේශිය සිනමාවට කුඩම්මාගේ සැලකිලි ලැබීම. මේකට අරක් ගත්ත වෙනම කණ්ඩායමක් ඉන්නවා. සිංහල නිෂ්පාදකවරු ඉන්නේ අතේ ඇඟිලි ගානට. බලය තියෙන්නේ ඔවුන් අතේ.

* ඔබ කියන්නේ මේ තුළත් මාෆියාවක් කියලද?

මාෆියාවක් නොවුණත් ඒක මාෆියා එකක් වගේ වෙනවා. සල්ලි සොයන්න අපි හැම දෙනාම ඒක කරනවා. අර්බුදය තියෙන්නේ සිංහල චිත්‍රපටවලට දක්වන කුඩම්මාගේ සැලකිල්ලයි. චිත්‍රපට සංස්ථාව හිටියා කියලා ඒකේ වැඩක් වෙලා නැහැ. සංස්ථාවේ සභාපති, සාමාන්‍යාධිකාරී, අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නවා. නමට විතරයි. ඒගොල්ල වැඩක් කරන්නේ නෑ. මාස 06 න් 06 ට සභාපතිවරයා මාරු කරනවා. සභාපතිවරයා වැඩ හුරුවේගෙන එනකොට වෙන සභාපති කෙනක් එවනවා. ඉතින් මේක හරි ප්‍රශ්නයක් වෙලා. ඒකට විසඳුම් නෑ. ඒකට හොඳම විසඳුම අපි සිනමාවෙන් අයින් වෙන එක. අයින් වුණාම ඉන්න කට්ටිය ඉදිරියට කරගෙන යයිනේ. මම මෙච්චර කල් සිනමාවේ ‘රැඳුණේ ඒකට තිබුණ ආදරේට. නමුත් මට මේකදාලා යන්න බැරි මගේ තියටර්ස් නිසා. ඒවායින් ගොඩාක් මිනිස්සු ජීවත් වෙනවා. ඒ නිසයි මම මේකේ මරාගෙන මැරෙන්න වගේ ගානට වෙලා තියෙන්නේ. නැත්නම් චිත්‍රපට 70 ක් නිෂ්පාදනය කරල මේ වෙලාවේ සිනමාවෙන් අයින් වෙනවා කියලා එහෙම ප්‍රකාශ දෙන එකත් වැරැදියිනේ. දැන් මගේ එකම බලාපොරොත්තුව ‘හීන හොයන සමනල්ලු’.

* ‘හීන හොයන සමනල්ලු’ සාර්ථක වුණොත් දිගටම සිනමවේ රැඳෙනවාද?

ඒක සාර්ථක වුණොත් මට තව ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙම නොවුණොත් මට එතනින් එහාට ලෝකයක් නෑ. මගේ තියෙන චිත්‍රපටත් දුවන්නේ නෑ කියලයි මට හිතන්න වෙන්නේ.

* සිනමාවෙන් අයින් නොවී මේ ප්‍රශ්නයට වෙන වික්ලප හොයන්න බැරිද?

විකල්ප තියෙනවා. නමුත් ඒ විකල්පවලින් උත්තර හොයන්න අමාරුයි. අපි හිතමු DVD කලා කියලා. ඒකට ප්‍රමිතියක්, සෙන්සර්බෝඩ් එකක්, නීතියක් හදන්න ඕනෑ. එතැනින් තමයි පටන් ගන්න ඕනෑ. අපි කරන ෆිල්ම් දවස් දෙකෙන් DVD කරනවා නම් මිනිස්සු චිත්‍රපට බලන්න හෝල්වලට එන්නේ නෑනේ. මේක මම සෙන්සර් බෝඩ් සභාපතිතුමාට කීවාම එතුමා කිවේ ඒවාට නීති නෑ කියලා. නීති නැත්නම් කරන්න ඕනෑ පාර්ලිමේන්තුවට දාලා පනතක් හදන්න ඕනෑ. ඒක නිෂ්පාදකවරුන්ට කරන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. ඕන්න ඔය වගේ හතර බීරි කතා තමයි හැම පැත්තෙන්ම ඇහෙන්නේ.

* මේකට සිනමා ශාලාවල තිබෙන ප්‍රශ්න බලපාන්නේ නැත්ද?

ඒවා කියන්න එපා. හෝල්වල ප්‍රශ්නයක් නෑ. හෝල් එක Digital කියලා ප්‍රේ්ක්ෂකයින්ට වැදගත් නෑ. ඔවුන් ඒ තාක්ෂණය දන්නෙත් නෑ. හොඳට ශබ්දය ඇහෙනවා නම්, පාට ලස්සනට පේනවා නම් චිත්‍රපටය බලනවා. දුවන චිත්‍රපටයක් නම් ශාලාවේ ටොයිලට් ගඳ ගැසුවත් චිත්‍රපටය බලනවා. දුවන්නේ නැති එකක් නම් ශාලාව ඒ සී කරලා තිබුණත් මිනිස්සු බලන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නෙදි අරයට මෙයාට බැනලා වැඩක් නෑ.

* දන් ඔබ ඉන්නේ සිනමාවේ ඉම්දෝ, නොඉම්දෝ කියන දෙගිඩියාවකින්. ආපස්සට හැරෙද්දී මොකද හිතෙන්නේ?

දැන් මගේ වයස අවු: 55 යි. චිත්‍රපට 70 ක් නිෂ්පාදනය කළා. තව අවු 5 ක් විතර ඉන්න තිබුණොත් ලෙකු දෙයක්. මේ 55 දී මම සිනමාවට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කළා. දැන් මේ බැට්න් එක කවුරු හරි අරන් යන්න ඕනෑ. ඒත් එහෙම කෙනෙක් පේනතෙක් මානයකවත් නෑ. නව පරපුර, තරුණ පරපුර මේක අරගෙන නැහැ. අඩු තරමින් ඔවුන් සිංහල චිත්‍රපටයක්වත් බලන්නේ නෑනේ. ඉංග්‍රීසි චිත්‍රපට විතරයි බලන්නේ. සමස්තයක් වශයෙන් ගත්තම සිනමාව අගාධයට යන්න ආසන්නයි.

* ඔබේ අවසාන බලාපොරොත්තුව ‘හීන හොයන සමනල්ලු’ ගැනත් කතා කරමු?

මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය දුවයි කියලා. අධ්‍යාපන ඇමතිතුමා සීමා මායිම් නැති හැම කෙනෙකුටම බැලිය යුතු චිත්‍රපටයක් ලෙස අවසරයක් දීලා තියෙනවා මේකට. අගොස්තු 02 දා සිට සිනමා ශාලා 66 ක මේක තිරගත වෙනවා.

* ඔබේ අනාගතය?

අනාගතය කරුවල නෑ කියලා ජයන්ත ධර්මදාස මහතා කිව්වට දැන්නම් මට පේන්නේ කළුවර වේගන එනවා වගෙයි.