වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ගී ලොව සුපිරි තරුව ඇන්ජලීන් ගුණතිලක

සිටු මැදුරටත් පැල්පතටත් එක සේ ගී ගැයුව

හැට හැත්තෑව දශකයෙ පෑයු සුපිරිම තරුව

කලාවේ අයිති රැක ගැනුමට වෙර දැරුව

අසූව අනූව දශකද රසවත් කර දිදුලූ තරුව

එඩිතර කතකි කිසිවිට නැහැ හඬ පාවා දුන්නේ

සොහොයුරෝ සිනමා පටයෙන් කල එළි බසින්නේ

අඩු මුදලකයට කිසිදා නැත ගී ගයන්නේ

ලැබෙන දෙයින් කොටසක් දනටයි දෙන්නේ

සිංහල සිනමාවේ ගී වැල් තාලෙට නද දුන්න

කෙවිළිය කිසිවිටෙත් බැහැ අමතක කර ඉන්න

හෙල ගී කෙතේ නැවතත් බංගලි වළලු හඬ වන්න

මුලු ලක් වැසි සැවොම පතනවා ඔබහට සුව වෙන්න

ඩී. කේ. කේ ඈපාසිංහ

ගොරකපිටිය

පිළියන්දල


ශ්‍රියාණි අමරසේනට

සිංහල සිනමාවේ කඳුළු බිංදුව ලෙසින් අන්වර්ථ නම් ලද ඔබ, වාණිජ සිනමාවේත් කලාත්මක සිනමාවේත් රංගන ප්‍රතිභාව දක්වමින් ටෝනි, ජෝ, රවීන්ද්‍ර, සනත් සමඟින් කළ රංගනයන් ප්‍රශංසනීය වේ. නිෂ්පාදනයට මෙන්ම අධ්‍යක්ෂණයටද පිවිසෙමින් සිනමාවත් පුංචි තිරයටත් කළ මෙහෙවර අගනේය. ඔබ අප කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානි රංගන ශිල්පිනියකි. ඉදිරි කටයුතු සාර්ථාක වේවායි පතමි.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


වොල්ගා - හර්ෂණ

වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ඔබ දෙපළගේ රැඟුම් ඉතාම ලස්සනයි. රංගනයෙන් ඉතා විශිෂ්ටයි. ඔබ දෙදෙනා විසින් ආරම්භ කළ වොලොන්රෝ මිඩියා ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වී ඔබ දෙදෙනාගේ ජීවිත ද සුන්දර වේවායි පතමි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


පැසසිය යුතු කලාකරුවා

තිලක් ජයවීර සිනමාවේ නම රැන්දූ කලාකරුවෙකි. ඔහු විසින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් පිරිසක් වෙත උපහාර පිදීම පැසසිය යුතුය.

සරත් ලියනගේ

රන්මුතුගල

කඩවත


පුංචි තිරේ පළමු නිළිය

පුංචි තිරයේ ප්‍රථම ටෙලි නාට්‍යය නිළිය මෙන්ම ජනප්‍රිය නිළිය ලෙසින් කිහිප වරක් කිරුළු පැළඳී දේවිකා මිහිරාණි ආදරයෙන් සිහිපත් කරමි. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපල

බණ්ඩාරගම


රංගනයේ දක්ෂ ගයාන්

ගයාන් වික්‍රමතිලක අපේ රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙකි. රතු පිච්ච ටෙලි නාට්‍යයේ රංගනය අගය කරන අතරම බොඳු මීදුම් ටෙලි නාට්‍යයේ සාලියගේ චරිතය ද අපට අමතක නැත. ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

බී. පී. ගම්මුදලි

මාලිගාතැන්න

කඩුගන්නාව


සිනමාව ආලෝකවත් කළ සිනමාවේදියා

සිංහල සිනමාවේ විවිධ කාලයන්හිදි දක්ෂ සිනමාකරුවන් බිහි වේ. ඒ අතරේ සිනමාවට ආලෝකයක් එක් කළ නිර්මාණකරුවකු ලෙසින් ආචාර්ය ධර්මසේන පතිරාජයන් පැසසිය යුතු වේ. අහස් ගව්ව, සොල්දාදු උන්නැහේ, පාර දිගේ සිනමා නිර්මාණ සිංහල සිනමාවට වටිනාකමක් එක් කළ ඒවා වේ. පොන්මනී චිත්‍රපටය ඉදිරිපත් කරමින් දෙමළ සමාජයේ ගැටලුද ඉදිරිපත් කළ එතුමා කඩුල්ල ටෙලි නාට්‍යයෙන් හරවත් ටෙලි නාට්‍ය කලාවක් උදෙසා මං පෙත් පෑදීය.

ප්‍රභාත් රාජපක්ෂ

නාවලපිටිය


හරබර වැඩසටහන

අරුත් සුන් ටෙලි නාට්‍ය විකාශය කෙරෙන අතරතුරේ දැනුම වඩවන වැඩසටහන් ඇත්තේ අල්පයකි. සිරස ලක්ෂපති යනු දරුවන්ට මෙන්ම වැඩිහිටයන්ටද දැනුම ගෙන දෙන වටිනා වැඩසටහනකි. එය ඉදිරිපත් කරන චන්දන සූරියබණ්ඩාර වෙත අපගේ ආචාරය.

ක්ලොඩ් ද ලිවේරා

නාලිනි ද ලිවේරා

මීගමුව


හතරේ කණුව හිනා ගොඩයි

හතරේ කණුව හිනාව රැගෙන එන අපූරු නිර්මාණයකි. දුක, ශෝකය, පාළුව නැතිකර දමන කදිම විනෝදාත්මක වැඩසටහනක් ලෙස එය හැඳීන්විය හැති වේ.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


සේමිණි ඉද්දමල්ගොඩට

28 චිත්‍රපටයේ සුද්දිගේ චරිතයෙන් ඔබගේ අති දක්ෂ රංගනය දැක ගන්න ලැබුණා. ඔබ දායක වන සෑම නිර්මාණයකටම වගකීම් නිසිලෙස සපුරාලමින් සාර්ථක රංගනයක නිරත වන බවත් අප දකිමු. සුන්දර සිනහව, මනබඳීනා රූ සපුව, සුහදශීලි බව, හිත හොඳකම නිසාම දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට යන බව පෙනේ. ඔබේ සිනමා ජීවිතය සාර්ථක වේවායි පතමි.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


හිත හොඳ ජෝති

සුවහසක් ශ්‍රාවකයන් ගායනයෙන් අමන්දානන්දයට පත් කළ හිත හොඳ ජෝති කලාකරුවාණෙනි ඔබ පිළිබඳ මතකය අප හදවත් තුළ සදා අනුස්මරණීය වේ. කවුරු කෙසේ කීවද ගායන ලොව රසික කිරුළ හිමි ඔබ සසර වසන තුරු ලක් දෙරණේ ඉපදේවා.

චන්ද්‍රකාන්ති පියතුංග

දළුගම

කැලණිය


සිංහල ටෙලි අනාගතය

අද විදෙස් ටෙලි නිර්මාණ රැල්ලෙන් දේශීය ටෙලි නාට්‍ය කලාවට තර්ජනයක් වී ඇති බව කවුරුත් දන්නා සත්‍යයකි. කළ යුතුව ඇත්තේ ක්ෂේත්‍රයේ සියලු දෙනා එක් වී පියවරක් ගැනීමය. නැතහොත් අනාගතයේදී අපට ඉතිරි වන්නේ හඬ කැවීම් ශිල්පීන් පිරිසක් පමණි.

අතුල රම්‍යසිරි

පානදුර


නම ගිය චරිත රඟ දැක් වූවෝ

යකඩයා - ගාමිණි ෆොන්සේකා

වීර පුරන් අප්පු - රවීන්ද්‍ර රන්දෙණිය

මාතලන් - ශේෂා පළිහක්කාර

සූර සරදියෙල් - මතායස් ප්‍රනාන්දු

කදිරා - රෙක්ස් කොඩිප්පිලි

සූරයා - ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න

සරදියෙල්ගේ පුතා - අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

සිරිපාල හා රංමැණිකා - රවීන්ද්‍ර - මාලිනී

පොඩි විජේ - අමරසිරි කලංසූරිය

චුට්ටේ - රොබින් ප්‍රනාන්දු

නවරියං - රන්ජන් රාමනායක

දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


මුවන් පැලැස්සේ මැණිකේ

රත්නාවලි කැකුණවල අපේ මුවන් පැලැස්සේ මැණිකේට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු. ඉදිරියේදී තවත් කලා නිර්මාණවලට දායක වෙන්න හැකි වේවායි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමු.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියාණි ජයසිංහ

අලව්ව


නික්ම ගිය මනමේ කුමරු

වසර විසිහතක් පුරා මනමේ කුමරුවී වේදිකාවේ, පුංචි තිරයේ සහ සිනමාවේ අමතක නොවන චරිත රැසක් ඉදිරිපත් කර ප්‍රහසනයේ අගරජු ලෙස අභිසෙස් ලබා වෙන්ව ගිය ද නාඩගම්, ශෛලිගත, තාත්වික යන ත්‍රිවිධ සම්ප්‍රදායයෙන් කුසලතා ප්‍රකට කළ එකම නළුවා විජය නන්දසිරිය.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


මාපිය සෙනෙහස වෙනුවෙන් යුද වදින ධර්ම යුද්ධය

යහපත අයහපත අතර යුද වදින මා පිය සෙනෙහස තේමාව කරගත් සිනමා රැල්ලට එක් වූ ධර්ම යුද්ධය සාර්ථක සිනමා නිර්මාණයකි. මාපියන් තම දරුවන්ගේ යහපත උදෙසා සියලු දුක් කම්කටුළු විඳදරා ගැනීම ගැන කියන චෙයියාර් රවීගේ ධර්ම යුද්ධය මනා සාක්ෂියකි. එහි රංගනයට එක් වූ නළු නිළියන්හට මගේ ආචාරය.

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම

හැඳල


අපේකම රැකි නන්දා මාලිනිය

ශ්‍රී ලාංකේය ගීත කලාව දේශීය හඬින් පෝෂණය කළ ඇය විශාරද නන්දා මාලිනිය යි. ඇය ගී ගැයුවේ අපේ සංස්කෘතියට අපේකමට ඔබින ලෙසිනි. අර්ථාන්විත වූද සම්මානනීය වූද ගීත රැසක් දැයට දායාද කළ ඔබට සහ ඔබේ සංගීත දිවියට සුබ පතමි.

සුනිල් විජේසිංහ

ඕවිටිගල

මතුගම


කඩවසම් නළුවා

බිමල් ජයකොඩි කඩවසම් බව ප්‍රේමණීය බව මෙන්ම දක්ෂ රංගනය නොඅඩුව පිහිටා ඇති නළුවෙකි. ඒ බව ගාමණී, බෝම්බ සහ රෝස, සිරිපැරකුම් සහ මෑතකදි තිරගත කළ සක්කාරං තුළින් ඔහු මනාලෙස ප්‍රදර්ශනය ඔප්පුකර ඇත.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


රංගනයේ ගිනි සිළුව

මෙරට රංගන ක්ෂේත්‍රයේ ගිනි සිළුව නමින් ප්‍රේක්ෂක සිත් ඇද ගත් නදීශා හේමමාලි, ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්.

සුගත් ගමගේ

උදයපුර

කල්මුණේ පාර

අම්පාර


ශ්‍රීමති සොඳුරු ගී ප්‍රසංගයකට ආරාධනා

ගායන ශිල්පිනී ග්‍රීමති තිලකරත්න ඔබ ගැයූ ආදර සුභා, ආත්ම ගණන්, කල් බලමින්, රත්තරන් මැණින්, හිරු ගෙනවිල්ලා, වැනි ගීත සමඟින් ඒක පුද්ගල ප්‍රසංගයක් ඉදිරිපත් කරන මෙන්න ඉල්ලා සිටිමි.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව