වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් නිදහස්

ආයෙත් නිදහස්

ණයක් නොවී මිය යෑමයි යහපත් පුරවැසියකුගේ එකම පැතුම. එහෙම වුණාම කාගෙන්වත් බැනුම් අහන්න ඕනෑ නැහැ. නමුත් ඉකුත් දිනයකදී අප අතරින් සමුගත් ප්‍රින්ස් උදය ප්‍රියන්තට නම් ණයක් නොවී මිය යන්න බැරි වුණා. ප්‍රින්ස්ගේ රෝහල් බිලයි ඔහු සතුව තිබුණු එකම ණය. මේ බව දත් ප්‍රින්ස්ගේ මිතුරු කැල එකාවන්ව සංවිධානය වුණේ ඔහුගේ ණය ගෙවා දමන්නයි. ප්‍රින්ස්ගේ නැගණිය හැකි පරිදි පෙර රෝහල් ගාස්තු ගෙවා දැමුව ද මෙවර ඇයට එහෙම කරන්න බැරි වුණේ තවත් විකුණා දමන්නට දෙයක් නොතිබුණ නිසා. ඇයගේ සිතට ද සැනසීමක් ගෙන දෙමින් කීර්ති පැස්කුවල් ප්‍රමුඛ ප්‍රින්ස්ගේ මිතුරු සේනාව අති දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය කළා ආදරණීය ප්‍රින්ස් නමින්. එහි අරමුණ වුණේ ඉන් ලද ආදායමෙන් ලක්ෂ විසිපහක් ඉක්ම වූ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීමයි. එම ප්‍රසංගය ඉතාම සාර්ථකයි. හිතුවටත් වඩා වැඩි මුදලක් එමඟින් ලැබුණා. ඉකුත් දා නවලෝක රෝහල් පරිශ්‍රයේදී ප්‍රින්ස්ගේ එම බිල ගෙවා දැමුවා. තවත් මුදල් ඉතුරුයි. ඒවා ප්‍රින්ස් වෙනුවෙන් සුබසාධන කටයුතුවලට යොදවන්නයි අදහස් කරන්නේ. ප්‍රින්ස්ගේ ආත්මය මේ වන විට සැනසීමෙන් පසුවෙනවා ඇති. මොකද දැන් ඔහු තවදුරටත් ණයකාරයෙක් නොවන නිසා. ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය සංවිධානය කළ හැමෝටම පින්!