වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




බිඳි ගිය පෙම් යුවළ යළි එක්කළ Jagga Jasoos

බිඳි ගිය පෙම් යුවළ යළි එක්කළ Jagga Jasoos

Jagga Jasoos චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කෙරෙන ආසන්නයේදී රන්බීර් - කත්‍රිනා සැබෑ පෙම් පුවත බිඳී දෙදෙනා වෙන් වුවත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධාවක් නොවන්නට දෙනොම වග බලාගත් බව බොලිවුඩයෙන් ආරංචි විය.

රන්බීර් කපූර් සහ කත්‍රිනා කයිෆ්ගේ ආදර කතාව බොලිවුඩ් චිත්‍රපටවල පමණක් නොව සැබෑ ජිවිතයේ ද සත්‍යයක් විය. රන්බීර් - කත්‍රිනා පෙම් පුවත ආරම්භ වූයේ 2009 වසරේදී Ajab Prem Ki Ghazab Kahani දර්ශන තලයේදීය. Raajneeti චිත්‍රපටයෙන් පසුව රන්බීර් කත්‍රිනා එක්ව රඟන නවතම සිනමා නිර්මාණය Jagga Jasoos  දැන් රීදි තිරයේ දිග හැරී ඇත.

Jagga Jasoos බොලිවුඩ් සිනමාවට නව අත්දැකීමක් ගෙන එන චිත්‍රපටයකි. සුරංගනා, සංගීතමය, වික්‍රමාන්විත, ප්‍රේමණීය, හාස්‍ය යටතේ වර්ග වන මෙම චිත්‍රපටයේ යෞවනයකු අතුරුදන් වූ තම පියා සොයා යන වික්‍රමාන්විත ගමනක් ගැන කිය යි. යොවුන් රහස් පරීක්ෂක ජග්ගා තම ශ්‍රැති නම් තරුණිය සමඟ සැරසෙන්නේ අතුරුදන් වූ තම පියා සොයා යාමටයි.

අනුරාග් බාසු විසින් තිරරචනය සහ අධ්‍යක්ෂණය කර ඇති Jagga Jasoos රූ ගැන්වූයේ, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදීය.

පසුගිය ජූලි 14 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹි Jagga Jasoos හි ගීත චිත්‍රපට තිරගතවීමට පෙර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය. සංගීතමය චිත්‍රපට ගණයටද අයත් වන මෙහි ගීත 29ක් ඇතුළත් වේ. ප්‍රීතම් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි අර්ජිත් සිං, නිඛිතා ගාන්ධි, අමිත් මිශ්‍රා, මෝහන් කානන්, තුෂාර් ජෝෂි දායක වී ඇත. මෙහි එන "Khaana Khaake" ගීතය ගායනයට ප්‍රීතම් සහ පද රචක අමිතාබ් භට්ටාචාර්යා ඇතුළු පිරිසක් දායක වී තිබීම විශේෂත්වයක්. මෙහි රන්බීර් - කත්‍රිනා සමඟින් සස්වතා චැටර්ජි, ශෞභා ෂුක්ලා, සයනි ගුප්තා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

Jagga Jasoos චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කෙරෙන ආසන්නයේදී රන්බීර් - කත්‍රිනා සැබෑ පෙම් පුවත බිඳී දෙදෙනා වෙන් වුවත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධාවක් නොවන්නට දෙනොම වග බලාගත් බව බොලිවුඩයෙන් ආරංචි විය. දර්ශන තලයේ විවේකි අවස්ථාවල දෙපසකට වී සිටියත් රූගත කිරීවලදී එකිනෙකා සහයෝගයෙන් මෙන්ම අවබෝධයෙන් එම කටයුතුවල නිරතවීම පිළිබඳ දෙදෙනාටම ප්‍රශංසා හිමි වුණි. කෙසේ වෙතත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයතු වෙනුවෙන් මේ දෙදෙනාගේ දායකත්වය දුටු බොහෝ දෙනා සිතුවේ වියැකී ගිය ආදර සම්බන්ධය යළි දළු ලා ඇති බවයි. එතරම් සහයෝගයෙන් ඒ වෙනුවෙන් දායක වුණත් එය සැබෑවත් නොවන වග දෙදෙනා විසින් මාධ්‍යයට පවසා තිබුණා.

Jagga Jasoos චිත්‍රපටය තිරගත වන අතරතුරදී තවත් කනගාටුදායක පුවතක් අසන්න ලැබුණා. ඒ එහි රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනියක සියදිවි නසා ගත් පුවතයි. රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාව ලෙසද කටයුතු කරන බිදීෂා බෙස්බුරා නම් වූ ඇය සිය දිවි හානි කරගෙන තිබෙන්නේ තම නිවෙසේ දී ගෙල වැළලාගෙනයි. විවාහ දිවියට පත් වී මාස දහහතරක් ගත වූ තැන මෙලෙස සිය දිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට Jagga Jasoos චිත්‍රපටය තිරගත වීමෙන් ලබා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 81ක්. IMDb දර්ශකයේ එය ලබා ඇති ලකුණු ප්‍රමාණය 7.1/10ක්. විචාරකයන් මත පළකර සිටින්නේ, රහස් පරීක්ෂක බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලෙසින් Jagga Jasoos චිත්‍රපටය ඉතාමත් විචිත්‍රවත් ලෙසින් නිර්මාණය කර ඇති බවයි.