වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන්ට නවාතැනක් වූ මරදානේ රවුෆ් බිල්ඩිමේ කතාව

කලාකරුවන්ට නවාතැනක් වූ මරදානේ රවුෆ් බිල්ඩිමේ කතාව

විමලදාස පෙරේරා විස්තර කරයි

කාර්යාල සීමාවෙන් එපිට ඉතිරි ඉඩ ප්‍රමාණයේ මා ඇඳන් දමා සකසා තිබූ අතර එක් පසෙක මිනි බාර් එකක් ද විය. එවක තිබූ ඉස්තරම්ම වර්ගයේ රට බීම වලින් මේ මිනි බාර් එක පිරී තිබිණි. නිරන්තරයෙන් මෙහි ගැවසෙන පිරිස්ගෙන් ද අඩුවක් නොවිණි. මෙහිදී මා හමුවීමට විවිධ වු පුද්ගලයන් පැමිණියහ. කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම විවිධ තරාතිරමේ උදවියගෙන් ද මෙහි අඩුවක් නොවිණි.

හැත්තෑව දශකයේ විජය කුමාරතුංග ගැන කියන විටත්, ධර්මසේන පතිරාජලා ගැන කියන විටත් මරදානේ රවුෆ් ගොඩනැගිල්ල ගැන කියවන කාරණා බොහොමයකි. අදටත් මරදානේ ඇති රවුෆ් ගොඩනැගිල්ල වටා ඇති අපූරු කතා ගැන කිවහැකි, කලාකරුවන්ට එහි නවාතැන් සැපයූ තැනැත්තා සොයා අපි පසුගියදා බත්තරමුල්ල තලංගමට ගියෙමු. හෙතෙම විමලදාස පෙරේරාය.

විමලදාස පෙරේරා පැවසූ අන්දමට කලාකරුවන්ගේ නවාතැන වූයේ මුද්‍රණ ශිල්පීන්ගේ සමුපකාර ගොඩනැගිල්ලය. රවුෆ් ගොඩනැගිල්ල අසලම පිහිටි නිසාවෙන් කවුරුත් සමුපකාර ගොඩනැගිල්ලට කියනු ලැබුවේ ද රවුෆ් බිල්ඩිම කියාය. මෙහිදී සිදුව තිබුණේ නම් පටලවා ගැනීමකි.

විමලදාස පෙරේරා ජනප්‍රිය ගීත රචකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු, ගුවන් විදුලි වැඩ සටහන් නිෂ්පාදකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වෙයි. විමලදාස පෙරේරා එකල ප්‍රසිද්ධ දැන්වීම් ව්‍යාපාරයක හිමිකරුවකු ද විය. රවුෆ් ගොඩනැගිල්ල යයි කියූ එදා සමුපකාර ගොඩනැගිල්ලේ තෙවන මහලේ කලාකරුවන්ට නවාතැන් සැපයු ඒ අතීත සිද්ධි සෑම දෙයක්ම නැවත ආවර්ජනයක නියැළිය හැකි සුදුසුම කෙනා විමලදාස පෙරේරාය.

මා මරදානේ රවුෆ් බිල්ඩිමේ කාර්යාලයක් පවත්වාගෙන යනු ලැබුවේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් (විමලදාස පෙරේරා සහ සමාගම) ලෙසිනි. එහි කාර්යාලය මා පවත්වා ගෙන යනු ලැබුවේ මාස හයක් පමණි. ඔය වකවානුවේ මේ බිලිඩිම අසල තිබූ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයට අයත් මුද්‍රණ ශිල්පීන්ගේ සමුපකාර ගොඩනැගිල්ල පිළිබඳ තොරතුරක් දෙනු ලැබුවේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ මගේ හොඳ මිත්‍රයකු වූ ෆීලික්ස් ආර්. ද සොයිසා (හොන්ඩා සමාගමේ හිමිකරු) මහතාය.

මගේ මිත්‍රයකු වූ ෆීලික්ස් දවසක් මට කියනු ලැබුවේ විමලදාස අපි මේ ගොඩනැගිල්ල අරන් තියෙන්නේ. ඔයාට ඕන නම් ඕන ෆ්ලෝ එකක් ගන්න කියාය. රෙන්ට් එක ගැන කලබල වෙන්න එපා. ඒ පාර මම තට්ටු තුනකින් යුතු මේ ගොඩනැගිල්ලේ උඩම තට්ටුව තෝරා ගත්තෙමි. එයට විශේෂ හේතුවක් වූයේ මම කලාකාරයෙක් නිසාවෙන් මා හමුවට එන පුද්ගලයන්ගෙන් ඇතිවන අපහසුතාවය සැලකිල්ලට ගෙනයි. මේ ගොඩනැගිල්ලේ මම වසර හතළිස් දෙකක් සිටියෙමි. එවක මෙහි නිරන්තරයෙන් කලා ක්ෂේත්‍රයේ නවක පිරිස් හා ප්‍රවීණයන්ගෙන් පිරී තිබිණි. මම තෙවන තට්ටුවට ගොස් ටික කලකට පසු ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ නැවතී සිටියේ ලාල් හෑගොඩය. ඔහුගෙන් පසු එතනට ආවේ අතුල මහවලගේය.

මා එම ගෙඩනැගිල්ලට ආවේ 1966 දීය. මෙම ගොඩනැගිල්ල රවුෆ් බිල්ඩිම නොවූව ද කවුරත් එදා මා ගැන කියනවා නම් කාට හෝ කිව්වේ රවුෆ් බිල්ඩිමේ ඉන්න විමලදාස පෙරේරා කියාය. නමුත් සත්‍ය නම් මේ ගොඩනැගිල්ල මුද්‍රණ ශිල්පීන්ගේ සමුපකාර ගොඩනැගිල්ලය.

තෙවන තට්ටුවේ වාසය කිරීමට පැමිණි මම එහි එක් කොටසක මගේ කාර්යාලය සඳහා වෙන් කර ගනු ලැබුවේ තව විශාල ඉඩ ප්‍රමාණයක් ඉතිරි කරමිනි. එවක ගුවන් විදුලියේ ප්‍රචාරක දැන්වීම් ආයතන අතරින් ප්‍රධාන පෙළේ දැන්වීම් ආයතනයක් ලෙස ප්‍රසිද්ධව තිබුණේ මගේ විමලදාස පෙරේරා සහ සමාගම දැන්වීම් ආයතනයයි.

කාර්යාල සීමාවෙන් එපිට ඉතිරි ඉඩ ප්‍රමාණයේ මා ඇඳන් දමා සකසා තිබූ අතර එක් පසෙක මිනි බාර් එකක් ද විය. එවක තිබූ ඉස්තරම්ම වර්ගයේ රට බීම වලින් මේ මිනි බාර් එක පිරී තිබිණි. නිරන්තරයෙන් මෙහි ගැවසෙන පිරිස්ගෙන් ද අඩුවක් නොවිණි. මෙහිදී මා හමුවීමට විවිධ වු පුද්ගලයන් පැමිණියහ. කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම විවිධ තරාතිරමේ උදවියගෙන් ද මෙහි අඩුවක් නොවිණි.

බන්දුල විතානගේ, බන්දු එස්. කොඩිකාර, ඩබ්ලිව්. ජයසිරි, පියසේන අහංගම මගේ කාර්යාල සීමාවෙන් එපිට ඇඳන්වල නිත්‍ය බෝඩිංකරුවන් විය. සමහරදාට රෑ බෝ වී ගෙදර නොයන කලාකරුවන්ගේ වාසස්ථානය වූයේ ද මාගේ කාර්යාලයයි. ෂූටිං කැන්සල් වන කලාකරුවන් පසුදා ෂූටිං යන්නට ගෙදර නොගොස් නැවතුණේ ද මෙතැනය.

ඔය අතරේ මගේ පළමු චිත්‍රපටය වූ සමනල කුමාරියෝ හි රඟපෑ නීටා ප්‍රනාන්දු මා හට දුරකථනයෙන් කතාකර කීවේ විමලේ අයියේ පොඩි කොල්ලෙක් ඉන්නවා. හරිම ලස්සනයි. මාත් එක්ක රෝලන්ඩ් අමරසිංහගේ කේසර සිංහයෝ චිත්‍රපටයේ රඟපානවා. බැරිද කොල්ලට චාන්ස් එකක් සමනල කුමරියෝ චිත්‍රපටයේ දෙන්න. අඩුම තරමේ හිටවලා හරි කොල්ලව තියනවා නම් ඒත් ඇති යනුවෙන් මේ කිව් ඉලන්දාරියා විජයයි. මට විජයව හඳුන්වාදීමේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ නීටාට. ඒ දවස්වල නීටාත් විජයත් කේසර සිංහයෝ රඟපානා අතරතුර ෂූටින් අතරේ මට කතා කොට තිබිණි. මිස්ටර් පෙරේරා මම විජය. මම ගැන නීටා අක්කා කියන්න ඇතිනේ. ඔව් මට කිව්වා. නිවාඩු පාඩුව ෂූටින් ඉවර වෙලා මාව ඇවිත් හමුවන්න. මාගේ චිත්‍රපටයේ වැඩත් දැන් ඉවර වෙන්න යන්නේ. මම චරිතයක් හදල හරි පොඩි සීන් එකක් දෙන්න බලන්නම්. මම අදම එන්නම්. අපේ ෂූටිනුත් අද ඉවරයිි. විජය කීවේය. ඒ කාලේ විජය ක්ෂේත්‍රයට ආ අලුතය. රඟපෑමේ ආශාවෙන් ද සිටි අවධියක් විය. ඔහුගේ උනන්දුව කොතරම් ද කියනවා නම් පැයක් දෙකක් ඇතුළත ඔහු මා සොයාගෙන ඔෆිස් එකට ආවේය. මුල්වරට විජයව දුටු දිනයේම ඔහු ගැන මට ආශාවක් ඇති විය. ඒ තරමට ඔහු ප්‍රියමනාපය. නීටා මට කියු දේ ඇත්තක් බව ද මට එහිදී ප්‍රත්‍යක්ෂ විය. විජයව දැකගත් අවස්ථාවේදීම මගේ හිත හරියට කාන්දමක් වගේ ඔහු කෙරෙහි ඇදී ගියේය. මම ඔහුට චරිතයක් දීමට පොරොන්දු විය. ඊළඟ සතියේම මගේ චිත්‍රපටයේ රඟපෑමට මම ඔහුට ආරාධනයක් ද කළෙමි. මගේ සමනල කුමරියෝ චිත්‍රපටයේ විමලා ජයවර්ධන නැමැති නිළියක් රඟපෑවාය. ඇය එවක මරදාන පොලීසියේ සිටි ඉන්ස්පැක්ටර් අශෝක ජයර්ධනගේ බිරිඳය. මා විජයට සකසා දුන්නේ ඇයත් සමඟ රඟපෑමේ සීන් එකක්ය.

විජය පසුව මා වෙත ඉල්ලීමක් කළේ දිනපතා සීදුවේ සිට රූ ගැන්වීම්වලට එන නිසා නවාතැන් පොළක් සොයා දෙන ලෙසටය. ඒ වන විටත් විජය නැවතී සිටියේ මගේ තවත් හොඳම යහළුවන් දෙදෙනකු වූ බර්ටි ගුණසේකර, බර්ටි ජයසේකර මහත්වරුන්ගේ වාසස්ථානයකය. එහි ඉඩකඩ මදිකම නිසාම විජය අලුත් තැනක් සොයමින් සිටියේ බර්ටිලාට තවදුරටත් කරදර කිරීමට බැරි නිසාවෙනි. එවර මා විජයට කීවේ වෙන තැනක් මොනවට ද මේ මගේ තැන ඇවිත් නවතින්න යනුවෙනි. මම මෙහි ඉන්න කලාකාරයෝ ගොඩක් හඳුන්වා දෙන්නම් කියාය. ඒ අදහසට විජය කැමැති වී මගේ තැන ඇවිත් නතර විය. එහිදී කලා ක්ෂේත්‍රයෝ බොහෝ පිරිස ඔහුට හඳුනා ගැනීමට හැකි විය. ඔය අතරවාරයේ විජයට චිත්‍රපටවල රඟපෑමේ අවස්ථා ලැබෙන්නට වූයෙන් ඔහු ද ටිකෙන් ටික ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් පටන් ගත්තේය. මා හමුවට එන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට මේ අලුත් නළුවා වු විජයව මා හඳුන්වා දුන්නේය. ඒ හඳුන්වාදීම නිසාවෙන් විජයට චිත්‍රපට ගලාගෙන ආවේය.

දිනක් විජය මට යෝජනාවක් ගෙන ආවේය. මිස්ටර් පෙරේරා මට ෂූටින් යන කොටත් ගෙදර එහෙමත් යන කොට පහසුවක් මෝටර් සයිකලයක් තිබුණොත්. බැරිද මට මෝටර් සයිකලයක් ගන්න උදවු කරන්න. ඒ දවස්වල මොටර් සයිකල් ලබා දෙන්නේ රජයේ දෙපාර්තමේන්තුවලට පමණි. කැමැති හෝ අවශ්‍ය වූ පමණින් ඒ දවස්වල මෝටර් සයිකලයක් ලබාගත නොහැක. මම ඒ ගැන බලන්නම් කියා මේ ගැන මා මිත්‍ර ෆීලික්ස් ආර්. ද සොයිසා මහතාට පැවසීමි. ඒ කාලයේ මෝටර් සයිකල් ගෙන්වීමේ බලධාරියා වූයේ ද එතුමාය.

ඉතිරි කොටස ලබන සතියේ