වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට

සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට

රොහාන් පෙරේරාගේ කුලුඳුල් අධ්‍යක්ෂණය

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ හීන හොයන සමනල්ලු සිනමාපටය අගෝස්තු දෙවැනිදා සිට තිරගතවීමට නියමිතය. අතිශය සංවේදී කතා පුවතක් ඇතුළත් ළමා සිනමාපටයක් වන හීන හොයන සමනල්ලු නරඹන්නන්ගේ නෙතට කඳුළක් උපද්දවීමට හැකි ළමා සිනමාපටයක් ලෙසට එය හඳුන්වා දිය හැකිය.

හේමසිරි ලියනගේ, ලූෂන් බුලත්සිංහල, දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක, උමාලි තිලකරත්න ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙයි. හීන හොයන සමනල්ලු සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට හය වන නිෂ්පාදනයයි.

මෙය රොහාන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. දෙවැනිදා එනම් බදාදා දිනක චිත්‍රපටයක් තිරගත වන්නේ දිගුකලට පසුවය.


වසර අටේ නිවුන්නු

මේ කියන්න හදන්නේ අයිය මලෝ යුවළක් ගැන කතාවක්. අයියා තමයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. මල්ලී මහාචාර්ය සුනිල් ආරියරත්න. දෙන්නගේ වයස් පරතරය අවුරුදු අටයි. වැඩේ කියන්නේ මේ දෙන්නගෙම උපන් දිනය යෙදී තිබෙන්නේ එකම දවසකවීමයි. හරියටම කිව්වොත් ජුලි 28 වැනිදා. එනම් හෙට. සාමාන්‍යයෙන් එක දවසක ඉපදෙන්නේ නිවුන්නුනේ. මේ දෙන්නත් එකම දවසේ ඉපදුණත් නිවුන්නු නොවුණත් වැඩි දෙනෙක් ඔවුන්ව හඳුන් වන්නේ වසර අටේ නිවුන්නු කියලයි.


අනෝරා සංස්කරණයේ

හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ඔහුගේ දෙවැනි සිනමාපටය අනෝරා මේ දිනවලදී සංස්කරණය වෙමින් පවතියි. ඒ. යූ. එම්. චිත්‍රපට වෙනුවෙන් ක්‍රිස් වික්‍රමසිංහ නිෂ්පාදනය කළ මෙහි සෙසු නිෂ්පාදකවරුන් ලෙස දොන් ප්‍රේමදාස, පුලස්ථ බෙත්මගේ, සරත් පොඩි නිලමේ, ප්‍රියන්ත කළුආරච්චි සහ සුනිල් දිසානායක කටයුතු කොට තිබේ.

කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන් සමඟ මේනකා මධුවන්ති ප්‍රධාන චරිත මවන අනෝරාහි විජේරත්න වරකාගොඩ , ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, දයා වයමන්, දමයන්ති ෆොන්සේකා, සුදර්ශන බණ්ඩාර, එම්. ජී. ධනුෂ්ක, ෆර්නි රෝෂනි, හෙක්ටර් බෙත්මගේ, දිනේෂ් මුදලිගේ, අංජලි මිශ්‍රා, උපුල් ගමගේ සහ ශිරානි ගමගේ සෙසු චරිත මවති. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ශිරානි ගමගේ ගීත රචනා කොට තිබේ. කපිල සුදේශ් කැමරාකරණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, සිරිනාථ වික්‍රමසිංහ අංග රචනයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් අනෝරා සඳහා දායක වී තිබේ. අනෝරා අධ්‍යක්ෂ හෙක්ටර්ගේ පළමු සිනමාපටය වූයේ අභිනික්මන වේ.


අල්ලපු ගෙදර, නොම්මර එකයි, අහිංසක ප්‍රයෝගය D. V. D එළි දකී

මෙරට බිහි වූ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන අල්ලපු ගෙදර, දිනේෂ් ප්‍රියසාද් පළමු වරට අධ්‍යක්ෂණය කළ නොම්මර එකයි සහ සිංහල හඬ කැවූ මිස් මේරි හින්දි චිත්‍රපටය, අහිංසක ප්‍රයෝගය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් එළිදැක්විණ. 1965 දී තිරගත වූ අල්ලපු ගෙදර සිනමාපටය කේ. ගුණරත්නම්ගේ නිෂ්පාදනයකි. එය අති විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් එකල නරඹා ඉමහත් රසාස්වාදයක් වින්දෝය. ජෝ අබේවික්‍රම, ක්ලැරිස් ද සිල්වා, ඇන්තනි සී. පෙරේරා, සන්ධ්‍යා කුමාරි, හියුගෝ ප්‍රනාන්දු, බී. එස්. පෙරේරා, ක්‍රිෂ්ටි ලෙනාඩ් පෙරේරා, රිචඩ් ඇල්බට්, ශාන්ති ලේඛා, ලිලියන් එදිරිසිංහ චරිත මැවූ අල්ලපු ගෙදර එම්. මස්තාන්ගේ අධ්‍යක්ෂණයකි, ආර්. මුත්තුසාමි සංගීතවත් කොට තිබේ. ටෙනි, බන්දු පළමුවරට එකට රංගනයේ යෙදුණ නොම්මර එකයි සිනමාපටය රාජ් රබණසිංහගේ නිෂ්පාදනයකි. මර්වින් ජයතුංග, විල්සන් කරු, පර්ල් වාසුදේවි, මානෙල් වානගුරු, දයානන්ද ජයවර්ධන ඇතුළු පිරිස මෙහි චරිත මැවුහ. සිංහල හඬ කැවූ මිස් මේරි - අහිංසක ප්‍රයෝගයෙහි මීනා කුමාරි, ජෙමිනි ගනේෂන්, කිෂෝර් කුමාර්, ජමුනා රංගනයේ යෙදෙති. හඬ කැවීම් ස්ටැන්ලි පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ගර්ලි ගුණවර්ධන, වින්සන්ට් වාස්, ඇන්තනි සී. පෙරේරා, නිමලා අතපත්තු ඇතුළු පිරිසගෙනි. මෙම ඩී. වී. ඩී ත්‍රිත්වය තිස්ස නාගොඩවිතානගේ බෙදා හැරීමකි. මිස්මේරි එල්.වී. ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයකි.


සමනළ දඩයම 31 වැනිදා

ලෝක පරිසර දිනය වෙනුවෙන් අශේන් මංජුල නිර්මාණය කළ සමනළ දඩයම ඒකාංගික ටෙලි සිතුවම මෙම මස 31 වැනිදා සවස 4.30 ට ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වේ. ජී. ආර්. පෙරේරා, හර්ෂණ බෙත්මගේ, මියුරි සමරසිංහ, ධනුෂ්ක ජයරත්න, සංජය වෙදආරච්චි, මහින්ද ලොකුලද්දෙනි ඇතුළු පිරිස චරිත මවන මෙහි රූපවාහිනී රචනය සහ ගී රචනය කපිලකුමාර කාලිංගගෙනි. සංගීතය නවරත්න ගමගේ විසින් නිම කොට තිබේ. අශේන්ගේ දියණි හිරුණි හංසිනි ගීත ගැයුමෙන් දායක විය. කැමරා අධ්‍යක්ෂණය සංජීව කුමාරගෙනි. ප්‍රියන්ත ඊෂ්වර අංග රචනා ශිල්පියාය. අශේන්ගේ තෙවැනි ඒකාංගික අධ්‍යක්ෂණය වන මෙය නදිත පෙරේරාගේ නිෂ්පාදනයකි. අනුග්‍රාහකත්වය සරසවි බුක් ෂොප් අධිපති එච්. ඩී. ප්‍රේ්මසිරිගෙනි.


උගුලයි මඟුලයි ඇරඹේ

ඒ. ඒ. ජුනයිඩීන් අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ නවතම සිනමාපටය උගුලයි මඟුලයි මුහුරත් උලෙළ පසුගියදා කොළඹ සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ. සුරේෂ් ්කුමාරසිංහ සම අධ්‍යක්ෂවරයා ලෙසට කටයුතු කරන මෙය බ්‍රයිටස් ෆිල්ම්ස් ආයතනයේ ඉදිරිපත් කිරිමකි. ටෙනිසන් කුරේ, මංජුල මොරගහ, ලක්ෂ්මන් අමරසේකර, අමාවි ධනන්සූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, ජයතිලක හේරත්, දයාසිරි හෙට්ටිආරච්චි, රොහාන් ප්‍රියදර්ශන, චන්ද්‍රිකා පෙරේරා, පද්මා මෙන්ඩිස්, චාරිකා උදයංගි, තෙනුකි සෙනාරා, උමා උල්ලැරියස්, තාරකා අංජලි, නිරෝ සෙනෙවිරත්න ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙයි.

ජී. නන්දසේනගේ කැමරා අධ්‍යක්ෂණයකි. මමෝ සේල්වරාජ්ගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණය සුදාකර්ගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. නිරෝ සෙනෙවිරත්න කොණ්ඩා සැකසුම සිදු කරයි. පී. නන්ද කුමාරගේ නර්ථන අධ්‍යක්ෂණයකි. මේ උගුලයි මඟුලයි පිරිවර මුහුරත් උලෙළ දා සමූහ සේයාරුවකට පෙනී සිටි අයුරුයි.