වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

බොලිවුඩයටත් න්‍යෂ්ටික ප්‍රහාරයක්

නළුවකු සහ නිෂ්පාදකවරයකු වන ජෝන් ඒබ්‍රහම් 'Parmanu: The Story Of Pokhran' නම් චිත්‍රපටයෙන් මීළඟට ප්‍රේක්ෂකයින් අතරට එන බව ආරංචියි. ඉන්දියානු රජය විසින් දෙවැනි වරට න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමක් සිදු කෙරුණේ 1998 දී රාජස්තාන් ප්‍රාන්තයේ පොඛ්රන් දීයි. මෙම සිද්ධි දාමය පාදක කොටගත් කතාවත් මෙම චිත්‍රපටයේ දැක්වෙන බවයි ජෝන් පවසන්නේ.

ජෝන් මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දෙදෙනාගෙන් එක් අයෙක්. මෙම චිත්‍රපටය තැනීමේ අදහස ඔවුනට පහල වූයේ කෙසේද යන ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්."මේ අදහස ගෙන ආවේ 'ක්‍රිආජ් එන්ටර්ටේන්මන්ට්' හි අපර්ණා සහ අර්ජුන් විසිනුයි. අප එය ගොඩනැඟුවා. චිත්‍රපටයේ තිර රචනය අපට අවශ්‍ය ආකාරයට හැඩ ගැන්වුණු එක අපේ වාසනාවක්."


අනුෂ්කා-කත්‍රිනා-ශාරුක් නැවතත්

අනුෂ්කා ශර්මා, කත්‍රිනා කයිෆ් සහ ශාරුක් ඛාන් නැවත වරක් එකම චිත්‍රපටයක රඟ දැක්වීමට යන බවට ආරංචිය බොලිවුඩය පුරා පැතිර යමින් තිබෙනවා. ආනන්ද් එල්. රායි ගේ චිත්‍රපටයකදී මොවුන් තිදෙනා මෙසේ යළිත් එක්වන බවයි මේ ආරංචියේ සඳහන් වන්නේ.

එක් සුහද කතාබහකදී අනුෂ්කා මේ පිළිබඳව හෝඩුවාවක් දී තිබෙනවා. ඇය කියා තිබෙන්නේ, මේ චිත්‍රපටය ඇය ශාරුක් හා රංග දක්වන සතරවන චිත්‍රපටය බවයි. ඒ අතරම කත්‍රිනා හා නැවතත් එකට රඟපෑමටත් ඇය ආශාවෙන් බලාගෙන සිටින බවත් අනුෂ්කා මෙහිදී ප්‍රකාශ කළා.

2012 වසරේ තිරගත වූ යශ් චොප්රා ගේ 'Jab Tak Hai Jaan' චිත්‍රපටයේ මේ තිදෙනා පළමු වරට එකට රඟ පෑ අතර එහි දී අනුෂ්කා සහ කත්‍රිනා එකිනෙකාගේ විරුද්ධවාදීන් වූණා. කෙසේ නමුත් අලුත් චිත්‍රපටයේදී එය එසේ නොවන බවත් දෙදෙනා ගේ චරිත ශාරුක්ගේ චරිතය හා සම්බන්ධ වන්නේ එකිනෙකට වෙනස් කාල පරාස දෙකකදී බවත් සඳහන්.


හොලිවුඩයේ බොලිවුඩ් කොපියක් ?

සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද, රිතික් රෝෂන් රඟපෑ 'කාබිල්' බොලිවුඩයේ සාර්ථක ආදායම් ලද චිත්‍රපටයක්. මෙය 2017 වසරේ බොහෝ කතා බහට ලක්වූ චිත්‍රපටයක් ද වෙනවා. දැන් ඒ ගැන කතා කිරීමට තවත් මාතෘකාවක් ඇවිත්. එනම්, මෙම චිත්‍රපටයේ හොලිවුඩ් කොපියක් ගැනයි.

සාමාන්‍යයෙන් හොලිවුඩ් චිත්‍රපටවල බොලිවුඩ් අනුවර්තන ගැන මිස බොලිවුඩ් චිත්‍රපටයන්හි හොලිවුඩ් අනුවර්තන ගැන අසන්නට නොලැබෙන තරම්. නමුන් මේ ඒවැනි දුර්ලභ අවස්ථාවක්.

මේ ගැන කාබිල් අධ්‍යඅක්ෂක සන්ජේ ගුප්තාගෙන් විමසූ අවස්ථාවකදී ඔහු එය සනාථ කළා. "ෆොක්ස් ඉන්ටර්නැෂනල් ප්‍රඩක්ෂන්ස්" සමාගමේ සභාපති තෝමස් ජෙගුඅස් මේ සම්බන්ධව සාකච්ඡා කළ බවයි සන්ජේ පවසන්නේ. මෙම ව්‍යාපෘතිය තවමත් එහි ප්‍රාථමික අවධියේ පවතින බවත් පසුව වැඩි විස්තර කතා කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.


සංජේ දෙවියෙක් ද

රාජ්කුමාර් හිරානි විසින් නිර්මාණය කෙරෙන සන්ජේ දත් ගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටය තිරගතවන තුරු සන්ජේගේ ප්‍රේක්ෂකයින් බලාසිටිනුයේ නොඉවසිල්ලෙන් බව නොකිවමනායි. මෑතකදී මේ ගැන ඔහුගේ චරිතය රඟදක්වන රන්බීර් කපූර් වෙත එල්ල වුණු ප්‍රශ්නයක් වූයේ මෙය සන්ජේ උසස් චරිතයක් ලෙස හුවා දැක්වීමට කරන ලද චිත්‍රපටයක්ද යන්නයි.

"මෙම චිත්‍රපටයේ සන්ජේගේ චරිතයේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් සාකච්ඡා වෙනවා. මෙය ඔහු දෙවියකු ලෙස හුවා දැක්වීමට තැනූවක් නොවෙයි. සන්ජේ ජීවිතයේ බොහෝ ප්‍රශ්නයන්ට මුහුණ දුන් කෙනෙක්. ඔහුගේ මානුෂීය ස්වභාවය මෙන්ම, ඔහු මුහුණ දුන් අවදානම්, ඔහු වැටුණු තැන, ඔහුගේ සටන, ඔහු සිරගත ව සිටි කාලය, ත්‍රතස්තවාදී චෝදනා, ඔහු සිය මව සහ පියා සමඟ තිබුණු සම්බන්ධකම්, මේ ආදී සියල්ලක්ම මේ චිත්‍රපටයෙන් නිරූපිතයි." රන්බීර් පවසනවා.


කන්ගනාට කඩු පහරක්

කන්ගනා රනවුත් මෑත කාලයේ බොලිවුඩ් මාධ්‍යයන්හි නිතර කතාබහ වුණු චරිතයක්. ළඟදී ඇයට තවත් ඇබැද්දියක් සිදු වී ඇති බවයි ආරංචි. 'Manikarnika - The Queen of Jhansi' නම් චිත්‍රපටයේ රූගත කිරීම් වලදීයි ඇයට මේ සිද්ධියට මුහුණ පෑමට සිදු වී ඇත්තේ.

කන්ගනා මෙහි නිරූපණය කරන්නේ 'රාණි ලක්ශ්මිභායි' නම් රැජිනගේ චරිතය යි. එහිදී නිහාර් පාන්ඩේ සමඟ රූගත කළ කදු සටනක දී ඇයගේ නළලෙහි ගැඹුරු තුවාලයක් සිදුවූ බව සඳහන්. මෙම අනතුරින් පසු ඇයව වහාම රෝහල්ගත කෙරුණු අතර මැහුම් 15 ක සැත්කමක් කර ඇති බවයි ආරංචි. කන්ගනා දැඩි වේදනාවෙන් පසුවන බැවින්, දින සතරක්වත් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තියෙනවා.