වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




තිරගත වීම ප්‍රමාද නිසා දැන් ඒ ළමයි ලොකුයි

තිරගත වීම ප්‍රමාද නිසා දැන් ඒ ළමයි ලොකුයි

පුංචි අපිත් බය නෑ දැන් හැදූ ප්‍රියන්ත පතිරගේ

සිනමා ටෙලි නිර්මාණ බොහොමයක සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට කටයුතු කළ ප්‍රියන්ත පතිරගේ සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වූ පුංචි අපිත් බය නෑ දැන් සිනමාපටය මේ දිනවලදී තිරගත වේ. ප්‍රියන්තගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ එය ළමා සිනමාපටයකි. වර්තමානය වන විට ළමුන් වෙනුවෙන් සිනමා නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවයක් පවතියි. ප්‍රියන්ත ද තම සිනමා හීනය සැබෑ කර ගන්නේ ද එම ප්‍රවණතාවයට මුල්තැන දෙමිනි.

* ප්‍රියන්ත ඔබ පළමු සිනමා කෘතියෙහි ඉලක්ක ගත ප්‍රේක්ෂකයා වන්නේ ළමයින්. ඇයි එහෙම වුණේ?

ඇත්තෙන්ම කිව්වොත් මං ළමුන්ව පමණක් ඉලක්ක ගත කර ගත්තේ නැහැ. මේ චිත්‍රපටය සමස්ත ප්‍රේක්ෂකයන්ටම විවෘතයි. හැබැයි මේක ළමා සිනමාපටයක්. මෙහි වීරයෝ ළමයි. ඔවුන් වීරත්වය ගෙනහැර පාන්නේ ගමේ අභිරහස් විසඳලා. ඉන් මම හිතනවා මේක සියලු දෙනාට ආදර්ශවත් චිත්‍රපටයක් වේවි කියලා.

* මෙහි ප්‍රධාන චරිත රඟපෑ ළමුන් අද තරමක් වැඩිවියට පත්වෙලා. ඇතැම් අයව හඳුනා ගන්නවත් බැහැ?

ඔව්. අපේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් කළේ වසර හතරකට පහකට කලින්. එවකට ළමයි අද ළමයි නෙවෙයි. චිත්‍රපටය තිරගත වන්නට ප්‍රමාද වුණා.

* ඒ ප්‍රමාදය ගැනයි මට දැනගන්න ඕනෑ වුණේ?

අපිට ඕනෑ කාලයේ චිත්‍රපටය තිරගත කරන්න බැහැ. ඒක තීරණය කරන්නේ මණ්ඩලවල ප්‍රධානීන්. ඔවුන් දෙන දිනයට අපි ලැහැස්ති විය යුතුයි. අද චිත්‍රපට ප්‍රදර්ශනයේදී ගැටළු තියෙනවා. මගේ චිත්‍රපටය ලෝ බජට් වර්ගයේ එකක් වීම නිසාත් යම් යම් ප්‍රශ්න ඇති වුණා. මං හිතන්නේ චිත්‍රපටයක බජට් එක නෙවෙයි වැදගත්, නිර්මාණශිලී ගුණය. නැත්නම් හයිබජට් චිත්‍රපටයක් වුණත් වැඩක් නැහැ.

* සහාය අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයකු බවට පත්වීමට වසර විස්සකටත් අධික කාලයක් ගත වුණේ ඇයි?

මගේ රැකියාව වුණේ සහාය අධ්‍යක්ෂණය. මං කාලාබීලා ඇඳලා කරලා පවුල නඩත්තු කළේ ඒ රස්සාවෙන්. ඔය අතරවාරයේ අධ්‍යක්ෂවරයකු වීමේ හීනය නොතිබුණා ද නෙවෙයි. නමුත් සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට දිගින් දිගටම මට වැඩ තිබුණා. දිනෙන් දින අධ්‍යක්ෂණ කාර්යය පස්සට ගියේ ඒකයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අධ්‍යක්ෂවරයකු වීමේ පළපුරුද්ද ලබා ගත නොහැකියි සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් වැඩ කිරීම තුළින්. අධ්‍යක්ෂණය වෙනමම කාර්යයක්, සහය අධ්‍යක්ෂණය වෙනම කාර්යයක්. අපේ ක්ෂේත්‍රයේ මතයක් තියෙනවා සහාය අධ්‍යක්ෂවරයාගේ ඊළඟ පියවර අධ්‍යක්ෂවරයකු වීම කියලා. ඒක වැරැදියි. ඔබ අහපු පැනයට කෙටියෙන් තවත් පිළිතුරක් දෙනවා නම් මං සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් කාර්යබහුල වීම නිසා අධ්‍යක්ෂණයට පමා වුණේ.

* ඔබ කොහොමද සහාය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ?

ඒකත් හරි අපූරු කතාවක්. රූපවාහිනිය නරඹන්න ලැබුණු මුල් කාලේ ඉඳලා මං එහි ගිය වැඩ සටහන්වලට පෙම් බැන්දා. මට දැඩිලෙස වුවමනාව තිබුණා සංස්කරණ ශිල්පියකු වෙන්න. ඒ අභිලාශයෙන් මං පුවත්පතක තිබුණු දැන්වීමක් දැකලා ෆුල්්ටයිම් ටෙලිවිව් ආයතනයේ පාඨමාලාවකට එකතු වුණා. ඉන් අනතුරුවත් මට ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මං ටෙලිවිව් ආයතනයට ආව ගියා. ඔය අතරතුරදි එහි අධිපති සුනිල් රත්නායක මහතා මාව දැකලා එක පාරටම කිව්වා එක්තරා නාට්‍ය දර්ශන තලයකට යන්න කියලා. ඒ නාට්‍යහි නම පෑල දොරින්. අධ්‍යක්ෂණය කළේ අනුර මාධව ජයසේකර. හදිසියේම ලැබුණු අවස්ථාව මං මඟහැර ගත්තේ නැහැ. පහුවදාට අඳින්න ඇඳුමක් පැළඳුමක් නැති වුණත් මං එවලෙහිම එහෙට ගියා. මට ඒ නාට්‍ය හි දෙවන සහාය අධ්‍යක්ෂ හැටියට වැඩ කරන්න ලැබුණා. එදා පටන් මං නිර්මාණ රැසක දෙවන සහාය අධ්‍යක්ෂක හැටියට කටයුතු කළා. පළමුවරට පළමු සහාය අධ්‍යක්ෂණය කරන්නේ කුමාරසිරි අභයකෝන්ගේ වියරු ප්‍රාර්ථනා නාට්‍යයෙහි. ඊට පසුව පතිනිවරා, පළමු පත්විම, ආදරවන්තයෝ වගේ නාට්‍යවලට දායක වුණා. මං සිනමාවට එන්නේ උදයකාන්ත මහත්මයාගේ රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටය හරහා. මං එහි දෙවන සහාය අධ්‍යක්ෂ, ඉන් පසුව මං ඔහුගේ සිනමාපට රැසකටම දෙවන සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් දායක වුණා. සුනිල් අරුණ වීරසිරිගේ ටිකිරි සුවඳ තමයි මං පළමුවරට චිත්‍රපටයක පළමු සහාය අධ්‍යක්ෂවරයා වන්නේ.

* ඔබේ පළමු සිනමාපටය ළමයින් වෙනුවෙන් කළොත් හොඳයි කියන මතය ඔබ සිතට ආවේ කොහොමද?

මං ගමේ ඉන්න කාලේ ගමේ සිටින දක්ෂ ළමුන් තෝරගෙන මුතුහර ළමා සමාජයට යැව්වා. ගමේ ළමා සමාජයන් හැදුවා. ළමුන් එක්ක ගැවසිලා ළමා මානසිකත්වය හඳුනා ගත්තා. ළමා නිර්මාණ තමයි මං ඒ කලේ ඉඳලා රස විඳින්නේ. ඉතින් මං ළමයින් වෙනුවෙන් ළමා චිත්‍රපට දෙකක්ම ලියලයි මේ ඉන්නේ. නමුත් ඒවා කෙරුණේ නැහැ.

* ඇයි ඒ?

මගේ ඒ පිටපත් රූගත කරන්න හයි බජට් එකක් යනවා. මට හමු වූ නිෂ්පාදකවරුන් ඒ සඳහා එකඟ වුණේ නැහැ. අවසනදී ඔවුන්ගේ බජට් එකට මං චිත්‍රපටයක් කළා. එහෙම වුණයිි කියලා නිර්මාණශිලිත්වය පහළ දමා ගත්තේ නැහැ. විජයසිරි මල්ලිකාරච්චි නමැති පිටපත් රචකයාගෙන් මට හොඳ පිටපතක් ලැබුණා. ඒ ඔස්සේ තමයි පුංචි අපිත් බය නෑ දැන් චිත්‍රපටය හැදෙන්නේ.

* ළමා නළු නිළියන් හැසිරවීම ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. කොහොමද ඔබ ඒ අභියෝගය ජය ගත්තේ?

හරිම සරලයි. කේන්ති ගන්නේ නැතුව ඔවුන්ට දෙයක් කිව්වම හරි. අනික ළමා මනස හොඳින් තේරුම් ගත යුතුයි. ළමයින්ට නිතරම බඩගිනි වෙනවා. ඒ හින්දා මං ඔවුනට කන්න බොන්න පොඩි පොඩි කෑම ළඟ තියා ගත්තා. ෂූටිංවලින් භාගයක්ම තිබුණේ කිතුල්ගල කැලයක. ආපහු ලොජ් එකට යන්නත් බැරි නිසා ප්‍රථමාධාර පෙට්ටියකුත් ළඟ තබා ගත්තා ළමුන් තුවාල කර ගත්තොත් බෙහෙත් දාන්න.

* චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දෙපොළ පිළිබඳ කතා කළොත්?

ඔවුන් තමයි ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ්. දෙන්නම චිත්‍රපටයේ රඟපානවා. සිනමාව කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව අති මහත්. එවැනි නිෂ්පාදකවරු රැකගත යුතුයි.

* දැන් ඔබ ආයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට කටයුතු කරයි කියලා හිතන්න අමාරුයි?

අධ්‍යක්ෂවරයකු ලෙසට නිර්මාණයක් කළ පසු විවිධ මත හැදෙනවනෙ. ඇතැම් අය හිතන්නට පුළුවන් ආයෙ මං සහාය අධ්‍යක්ෂණය නොකරාවි කියලා. නමුත් එහෙම නැහැ. මගේ රැකියාව ඒක. ජීවත්වීම සඳහා මං සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට සිටිය යුතුයි.

* ඔබට ඔබේ හීනය වූ සංස්කරණයට එක්වීමට බැරි වුණා නේද?

ඔව්. එක අතකින් හිතෙනවා ඒක එහෙම වුණ එක හොඳයි කියලා.

* ඔබට උදව් කළ පිරිස මතක් කළ හැකියි?

ඩොරික් සමරසුන්දර, සුනිල් රත්නායක, කුමාරසිරි අභයකෝන්, ශමින්ද ඒකනායක, එරංග සේනාරත්න, ඩොනල්ඩ් ජයන්ත, උදයකාන්ත වර්ණසූරිය, රෝයි - සුමනා, සුනිල් අරුණ වීරසිරි, රන්ජන් රාමනායක යන පිරිසට තමයි තුති පුදන්න තියෙන්නේ. ඒ වගේම මගේ බිරිය ඉෂාකා සහ දරුවො දෙන්නවත් මතක් කරන්න ඕනෑ.

* පුංචි අපිත් බය නෑ දැන් සිනමාපටය ගැන තවත් යමක් සඳහන් කරමින් මේ කතාව අවසන් කරමු?

මං මේ චිත්‍රපටය නරඹන්න පවුල් පිටින් එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හොඳ නරක කියන්න කියලත් කියනවා. ඒ වාගේම අප සිනමාවට හොඳ කලක් උදාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.