වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




භාවාත්මක වින්දනීය සංගීතමය සුයාමයක රසාස්වාදය ඔබ වෙත ගෙනෙන “ශ්‍රැති”

භාවාත්මක වින්දනීය සංගීතමය සුයාමයක රසාස්වාදය ඔබ වෙත ගෙනෙන “ශ්‍රැති”

දෙවින් ගනේගොඩ සේනාධීර

දකුණු ඉන්දියානු ශාස්ත්‍රීය කර්ණාටක සංගීතයත්, ශාස්ත්‍රීය ඉතාලියානු බෙල් කන්තෝ සංගීතයත් යන එකනෙකට වෙනස් අන්තයන් දෙකක අධ්‍යයනය හා පුහුණුව, වෙනත් ඕනෑම ශෛලියක් මනාව ග්‍රහණය කරගැනීමට තමාට වඩාත් ඉවල් වූ බව දෙවින් පවසයි.

මිනිස් හඬ මහිමය යනු මෙතෙක් ලොව බිහිව ඇති ප්‍රබලත සුවිශේෂී සන්නිවේදන මාධ්‍යය බව අවිවාදිතය. එකී හඬ සතත අභ්‍යාසයට නතු කරලමින්, රළු බවකින් මුදා විශාල ස්වර පරාසයයක් තුළ මෙහෙයවීම සැබැවින්ම විශ්වකර්මයකි. එලෙස තම සන්තකයට නතු කළ හඬ සප්ත ස්වර හා ගළපමින්, ඉන් ස්වර රටා නිමවා, ශ්‍රාවක සිත් හී විවිධ භාවාත්මක හැඩතල මවමින් ආස්වාදනීය ලෙස මෙහෙයවීම ඉතා සුමටව සහ මනා සංයමයකින් යුතුව කළ යුත්තකි. අපට හමු වූ දෙවින් යන ඔහු එවන් වින්දනීය අරුමැසියක් ශ්‍රාවකයාට ගෙනදීමට සමත් වූවෙකි.

තවමත් පාසල් වියේ පසුවන දෙවින් ගනේගොඩ සේනාධීර කුඩා අවධියේ පටන් සංගීතයට, ගායනයට ඇලුම් කරමින් සිට තමා ඉගෙනුම ලබන කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ ගායනා කණ්ඩායමට එක් විය. දෙවින්ගේ සංගීත ගමනේ ආරම්භය සනිටුහන් වන්නේ එලෙසිනි.

ඔහුගේ මව ප්‍රීති ගනේගොඩ, ප්‍රවිණ භරත නාට්‍ය නර්තන ශිල්පිනියකි, ග්‍රන්ථ කතුවරියකි, මමෝ විද්‍යා උපදේශිකාවකි. එමෙන්ම නර්තන චිකිත්සාව පිළිබඳ ද උපදේශිකාවකි. ඇය තම පුතුගේ ගායන හැකියාවන් හොඳින් හඳුනා ගත්ත ද, ඒ කෙරෙහි දරුවා යොමු කරවීමට තරමක් අකමැති වූයේ දෙවින් අධ්‍යාපනයෙන් ඈත්වේවි යන අනියත බිය නිසාවෙනි.

කෙසේ වුවද, දෙවින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පළමු අදියර විශිෂ්ට අන්දමින් සමත් වූවේය. ඉන් සංගීතය තම දරුවාගේ ඉදිරි අධ්‍යාපනයට බාධාවක් නොවන බව වටහාගත් දෙවින්ගේ දෙමව්පියන් දකුණු ඉන්දියානු ශාස්ත්‍රීය කර්ණාටක සංගීයත්, ශාස්ත්‍රීය ඉතාලියානු බෙල් කන්තෝ සංගීතයක් විධිමත්ව ඔහුට ඉගැන්වීමට පියවර ගත්තා පමණක් නොව, දෙවින්ගේ අධ්‍යයන ජයග්‍රහණයන්ට ත්‍යාගයක් වශයෙන් ශාස්ත්‍රිය සංගීත සන්ධ්‍යාවක් සංවිධානය කිරීමට ද පියවර ගත්තේ මේ කිසවක් දෙවින්ට නොදැනෙන, නොහැඟෙන අයුරිනි. ඒ අනුව 'ශ්‍රැති' ඌනා සෙරතා දි මුසිකා විත් දෙවින් (දෙවින් සමඟ සංගීත සන්ධාවක්) ප්‍රසංගය එළඹෙන 29 වන දින (අනිද්දා) සවස 6.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කුඩා අවධියේ පටන් තම මව අනුව යමින් භරත නාට්‍යයම් නර්තනය ප්‍රගුන කළ දෙවින්, ගායනය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූයේය. විධිමත් න්‍යාය දැනුම සහ පුහුණුව ඔස්සේ, ක්ෂේත්‍රයේ ප්‍රවිණයෙකු හා සමව විශාල ස්වර පරාසයක තම හඬ හසුරුවමින් දෙවින් මේ වන විට ගායනයේ නියැළෙයි.

දකුණු ඉන්දියානු ශාස්ත්‍රීය කර්ණාටක සංගීතයත්, ශාස්ත්‍රීය ඉතාලියානු බෙල් කන්තෝ සංගීතයත් යන එකනෙකට වෙනස් අන්තයන් දෙකක අධ්‍යයනය හා පුහුණුව, වෙනත් ඕනෑම ශෛලියක් මනාව ග්‍රහණය කරගැනීමට තමාට වඩාත් ඉවල් වූ බව දෙවින් පවසයි.

මෙම අපූරු සංගීත සැඳෑව පාසල් විය දරුවන් තුළ උසස් කලා රසඥතාවක් ඇතිකරලීමටත්, සුභාවිත සංගීතය සඳහා දරුවන්ගේ උනන්දුව ඇති කරලීමටත් සමත්වන හුදු ප්‍රසංගයකින් එහා ගිය ප්‍රාසංගිකත්වයකින් යුතු වීම මෙහි එන සුවිශේෂත්වයකි.

මෙහි කර්ණාටක සංගීතයෙන් ඒ.අරුරන්, බෙල් කන්තෝ ශෛලියෙන් ෆ්‍රැන්සිස් ද අල්මේදා සහ සංගීත අධ්‍යක්ෂණයෙන් විශාරද සමන්ත පෙරේරා යන සංගීතඥයින් සිය දායකත්වය ලබා දී තිබේ.

ඝෝෂාකාරී සංගිතය ප්‍රතික්ෂේප කරන දෙවින්, රස වින්දනයට උචිත සංගීතයේ, ගායනය පිළිබඳ නව ඉසව් සොයා බලන්නෙකි. ඒ වෙනුවෙන් තමා උගත් සංගීත ආර පසක් කර ගනිමින් තමාගේ නව ගීත 2 ක් මේ ගී සැඳෑවේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ගේය පද රචනය කළ 'මිනිසා' සහ තම මව ප්‍රීති ගනේගොඩ විසින් ගේය පද රචනය කළ 'මාතා' යන මෙහිදී එළිදකින නව ගීත සඳහා සංගීතය විශාරද සමන්ත පෙරේරා විසින් මෙම සංගීත ශෛලීන් දෙකෙහිම සංකලනයෙන් යුතුව නිර්මාණය කර ඇත.

මෙම ප්‍රසංගයේදී දෙවින් සමඟ තවත් ශිල්පින් හා දරු දැරියන් ද ගායනයෙන් එකතුවීමට නියමිතය. ප්‍රසංගය සඳහා නර්තනයෙන් නටලි අනුත්තරා ගනේගොඩ සේනාධීර දායකවේ. ඇය දෙවින්ගේ නැගණියයි. නටලි ද මවගේ ආභාසයෙන් භරත නාට්‍යයම් නර්තනය ප්‍රගුණ කළ ශිල්පිනියකි. මෙහිදී ඇය විසින් භරත නාට්‍යයම් නර්තනයේ මූලික සිද්ධාන්ත පිළිබඳ ඉංග්‍රීසි බසින් රචනා කරන ද 'The Divine Dance - Bharatha Natyam'  නම් කෘතිය ද එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

තමා උගත් සංගීතය මත මානසික ඒකාග්‍රතාතව පවත්වා ගනිමින් උසස් අධ්‍යාපනයෙන් අනතුරුව අභ්‍යවකාශ විද්‍යාඥයකු වීම දෙවින්ගේ සිහිනයයි.

'ශ්‍රැති - ඌනා සෙරාතා දි මූසිකා විත් දෙවින්' යනු හුදුු සම්ප්‍රදායික ප්‍රසංගයක් නොව ඉන් එහා ගිය වඩාත් උසස් රස වින්දනයක් ප්‍රේක්ෂක ඔබට සමීප කරවිය හැකි නව ආරක් ගත් ප්‍රාසංගික අත්දැකීමකි. ලාභ ඉපැයීම පරමාර්ථයෙන් බැහැරව සංවිධානය කර තිබෙන මෙය ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් තොරව ආරධනා පත් මඟින් පමණක් නැරඹීමට, රස විඳීමේ අවස්ථාව ප්‍රේක්ෂක ඔබට ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සින්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවීණ ශ්‍රී ලාංකේය කලාකරුවන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී සුවහසක් සංගීත ලෝලින්ගේ අපේක්ෂාවන් විකසිත කරවමින් දෙවින් ඔබට ගයනු ඇත.

පෙර අපර දෙදිග සංගීත සාරයක විසිරී ස්වර එකිනෙක ගළපා, සංගීතය නම් විශ්වීය සන්නිවේදන මාධ්‍යයක නෙක හැඩතල රටා මවමින් ඔබේ සවන් යුග සනහාලන වන්දනීය සන්ධ්‍යාවක රසාස්වාදය විඳගන්න පැහැදි සිතින් එක්වන්නට ඔබට ද ඇරයුම් කරමු.