වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩිනා ගැන ලියැවුණු ගීතය

පොඩිනා ගැන ලියැවුණු ගීතය

සෙංකොට්ටං නවකතාවේදී අපට හමුවන පොඩිනා මෙන්න ඉන්නවා යූ ටියුබ් එකේ. ඇය වෙනුවෙන් අපූරු ගීතයක් නිර්මාණය වෙලා. එහි රූප රචනාවෙදි තමයි පොඩිනා අපට දැක බලාගන්න ලැබෙන්නේ. ඉතිහාසය පිරික්සද්දී මේ අන්දමින් නවකතාවක ජනප්‍රිය චරිත ගී රචනාවන් ඔස්සේ අපට හමුවෙන්නේ ගොලු හදවතේදී. එහි අතිශය ජනප්‍රිය පෙම්වතුන් යුවලක් වන දම්මි සහ සුගත්ගේ චරිතය අළලා ගීත රාශියක් නිර්මාණය වුණත් සිසිර ඉන්ද්‍රාණි ගයන නුහුරු නුපුරුදු රහස පිළිබඳ ගීතය තරම් හිතට දැනුණ ගීතයක් හොයන්න අමාරුයි. ගොලු හදවත රචනා කළ කරුණාසේන ජයලත් තමයි නුහුරු නුපුරුදු ගීතය ලිව්වේ. පොඩිනාගෙ චරිතය අළලා සකස් වුණ පොඩිනාගේ ගීතය රූප රචනාවේ ගීතය ලියලා තියෙන්නෙත් සෙංකොට්ටං නවකතාව ලියපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල. ඒ විතරක් නෙවෙයි එහි රූප රචනාව ද අධ්‍යක්ෂණය කිරීමේ වගකීම ද ඉටු කරලා තියෙන්නෙත් මහින්දමයි. ඇත්තෙන්ම ඒක විරල සිදුවීමක්. සෙංකොට්ටං නවකතාව කියවලා එහි අන්තර්ගතයට වහ වැටුණු රනිල් මුදුන්කොටුව නැමැති නව පරපුරේ ගායන ශිල්පියා මහින්දට යෝජනාවක් ගෙනල්ලා පොඩිනා චරිතය පාදක කරගනිමින් ගීතයක් ලියන්න. ඒ අදහස ඔස්සේ තමයි මහින්ද එම ගීතය ලියලා තියෙන්නේ. මෙහි පදමාලාව කියවද්දී ඔබට අමුතුම චමත්කාරයක් දැනේවි. මහින්ද සෙංකොට්ටං තරමටම අලංකාරව එහි පද ගලපා තිබෙනවා. ඇහැලියගොඩ, බෙලිහුල්ඔය අවට ඉතා මනරම් ප්‍රදේශ කිහිපයකම පොඩිනා ගීතයේ රූප රචනාව රූගත වුණා. මෙහි පොඩිනට රඟපාන්නේ නෙත්මා ක්‍රිෂ්මාලි. ඇය සමග අප ආදරයට ලීලසේන ලෙසින් අමතන සමන් හේමරත්න රංගනයේ යෙදෙනවා. කඳුකර බිමක රූගත කරද්දී පොඩිනව ලොකු වලක වැටිලා කකුලකට ගොඩක් අමාරු වුණා. හරිම අකරතැබ්බයකට තමයි මහින්ද මුහුණ දීලා තියෙන්නේ. රූපගත කිරීම මඳකට පමා කරලා පොඩිනගේ කකුලට වෙදකම් කරන්න වුණාලු. පුංචි පුංචි බාධක මැද කූඩැල්ලන්ට ලේ බොන්නට ඉඩ නොතබා මහින්ද ඇතුළු පිරිස දවස් හතරක් තිස්සේ පොඩිනා රූගත කරලා. ඒ මහන්සියේ ප්‍රතිඵල කොහොමද කියලා යූ ටියුබ් හරහා පොඩිනා ගීතය රස විඳීමෙන් දැක බලාගැනීමට පුළුවන්.

පොඩිනා ගීතයේ පද මාලාව:

වේරහැර මූකලානේ
පපු කැනැත්තක් පස්යට වැලපෙන්නේ
බාල උලලෑ තියන්නෙ
ඒක දැනගෙනදෝ අඬන්නේ
නැතිදෝ පොඩිනෝ
සංසාරයට ආයෙත් වඩින්නේ
අගුකොනේ සැමදාම හවහට
වනන්ලාගෙන කොණ්ඩෙ ඕසේට
රත්තරං උඩ රටා තිය තියා
පැදුරු විව්වට බැරි වුණානේ
යා ගන්නට සර මෝවිට
කාටවත්ම නොකියම දවසක
හිතුමතේ යද්දි වේරහැර
තිත්ත කඩඉම පෙත්තරේ
ඔළුව උස්සා බලා උන්නා
උන්ගෙ ඇස්වල කඳුළු තිබුණා

 

ගායනය - රනිල් මුදුන්කොටුව
පද රචනය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ