වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




Cover Profile

Cover Profile

ඇය ඔබේ හදවත දිනාගත් අවිහිංසක රංගන ශිල්පිනියක්. යශෝධා විමලධර්ම. වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරය ද එක ලෙස විචිත්‍රවත් කළ දක්ෂ රංගන ශිල්පිනියක්. විටෙක නිවේදිකාවක ලෙස ද ඔබ හමුවට පැමිණි ඇය හින්දි භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක්.

‘අත්ත බිඳෙයි’ ටෙලි නාට්‍යයෙන් ආරම්භ වූ ටෙලි රංගන ජීවිතයේ ‘සඳගිරි පව්ව’, ‘ගිගිරි වළලු’, ‘ගිරිකුල අන්දර’, ‘දූ දරුවෝ’, ‘වාසනා වේවා’, ‘කඩුල්ල’, ‘හිරු කුමරි’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘සත්පුර වැසියෝ’, ‘සූරිය දරුවෝ’, ‘දූවරු’ වැනි ටෙලි නාට්‍ය රැසක කළ රංගනයන් ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. එසේම ‘හිරු දහසක්’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’, ‘මකරාක්ෂයා’ නව නිෂ්පාදනය වැනි වේදිකා නාට්‍ය නිර්මාණ තුළත් ඇය නොමැකෙන මතක සනිටුහන් කළා.

විජය ධර්ම ශ්‍රී ගේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයට දායක වෙමින් රිදී තිරයට පිවිසි යශෝධා ‘දුවට මවක මිස’, ‘මාරුතය’, ‘තීර්ථ යාත්‍රා’, ‘අග්නි දාහය’, ‘ගරිල්ලා මාකටින්’ වැනි සිනමා නිර්මාණ තුළින් සිය ප්‍රතිභාපූර්ණ රංගනය තව තවත් ඔපවත් කළා. එසේම සුමිත්‍රා පීරිස්ගේ වෛශ්නාවි සහ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ යන සිනමා නිර්මාණ ඔස්සේ යළිත් ඇය ඔබ හමුවන්නත් නියමිතයි.

ඇය සම්මානනීය වන්නේ ඇය රංගනයෙන් දායක වූ පළමු නාට්‍ය වූ ‘හිරු දහසක්’ වේදිකා නාට්‍යය තුළින්. ඒ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමිනි. අනතුරුව ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය වන ‘ගුරු ගෙදර’ හි රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය ද ‘ක්ෂේම භූමි’ චිත්‍රපටයේ රංගනයට විචාරක සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2000 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ජනාධිපති සම්මානය ද දිනා ගත් යශෝධා ‘අග්නිදාහය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් 2003 සිග්නිස් උත්තමාචාර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තා.