වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් සම්මාන හෙට

රයිගම් සම්මාන හෙට

මෙරට රූපවාහිනි ක්ෂේත්‍රය වෙනුවෙන් වාර්ෂිකව පිරිනැමෙන රයිගම් ටෙලි සම්මාන උළෙල මෙම මස 17 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවැත්වෙයි. මෙවර සම්මාන උළෙලට 2012 / 2013 වර්ෂ සඳහා රූපවාහිනි නාලිකා නියෝජනය කරමින් ටෙලි නාට්‍ය විශිෂ්ටතා සහ රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන අංශ දෙකක් වෙනුවෙන් අයැදුම්පත් 568 ක් ඉදිරිපත් විය.

මෙය රයිගම් ටෙලීස් ඉතිහාසයේ වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් අගැයුමට ලක් වූ අවස්ථාව ද වේ.

ජනප්‍රිය කාණ්ඩ යටතේ සම්මාන 03 ක් ජූරියේ විශේෂ සම්මාන 11 ක් ප්‍රණාම සම්මාන 03 ක් හා වසරේ සම්මානනීය නාලිකාවට හිමි සම්මාන ද සහිතව මෙවර රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන 57 ක් ප්‍රදානය කෙරේ.

සම්මාන උළෙලේ ජූරි සභාවේ සභාපති පදවිය උසුලනුයේ මහාචාර්ය පැට්‍රික් රත්නායකයි.

සිරි පැරකුම් 30 දා එයි පිටපත් 55 ක්

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වන සිරි පැරකුම් මෙම 30 වැනිදා සිට තිරගත විමට නියමිතය. එහි පිටපත් පනස් පහකි. ඊ. ඒ. පී. සිනමාහල්වල තිරගත වන බැව් ආචාර්ය දිසානායකයන් සරසවියට පැවසුවේය.

බබා සහ කොබා වැඩ නිමයි

ප්‍රකට ගීත රචකයකු වූ තිස්ස ඩයස්ගේ කුලුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය බබා සහ කොබා හි සියලු රූගත කිරීම් පසුගියදා නිම විණ. හස්‍යෝත්පාදක රහස් පරීක්ෂක කතාවක් වන මෙහි කොබා ලෙසින් ජයසේකර අපොන්සු ද බබා ලෙස තිස්ස ඩයස් ද චරිත මවති.

ස්තුතියි නැවත එන්න නිපද වූ මංගල මඩුගල්ල ගේ දෙවැනි නිෂ්පාදනයයි බබා සහ කොබා.

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහ සමයම’ 19, 20 දෙදින තුළ නෙළුම් පොකුණ රඟහලේ

ලාංකේය වේදිකා නාට්‍ය රසිකයන්ට නව අත්දැකිමක් ගෙන ආ මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍යයේ දර්ශන වාර දෙකක් ලබන 19 සහ 20 යන දෙදින තුළ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 20 වැනිදා දර්ශන වාරය පාසල් සිසුන් වෙනුවෙන් වෙන්කර තිබේ.

ඉතිහාසයේ ගෝඨයිම්බර හා මහසෝනා අතර ඇති වූ ගැටුම පිළිබඳ වන පැරැණි ලක්දිව පුරාවෘත්තය නව මුහුණුවරකින් කරළියට ගෙන ආ මෙහි ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, නිශ්ශංක දිද්දෙණිය, ඉන්දිකා උපමාලි, චතුරිකා පීරිස්, මාදනී මල්වත්ත ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වෙති. සංගීතය සමන්ත පෙරේරා විසිනි.

ප්‍රේක්ෂකයන්ට වූ අකරතැබ්බයට බන්දු කනගාටුව ප්‍රකාශ කරයි

බන්දු සමරසිංහගේ නවතම චිත්‍රපටය පීටර්වන් පසුගිය 10 වැනිදා තිරගතවීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රදර්ශනය ඇරැඹියේ 11 වැනිදාය. ඉන්දියාවේ සිට පිටපත් ගෙන්වීමට ප්‍රමාද වීම එයට බලපෑ හේතුවයි. පෙර දැනුම්දීම් නිසා චිත්‍රපටය නැරැඹීමට 10 වැනිදා සිනමා ශාලාවන්ට පැමිණි ප්‍රෙක්ෂකයන්ට සිදු වූ අපහසුතාවයට බන්දු කනගාටුව ප්‍රකාශ කරයි.

එමෙන්ම 10 වැනිදාට නොපැවැත් වූ මංගල දර්ශනය වෙනුවට විශේෂ දර්ශනයක් ඉදිරි දිනයකදී පවත්වන බව ද ඔහු වැඩිදුරටත් දන්වා සිටියා.

දිල්හානිගේ පියා මිය යයි

ජනප්‍රිය සිනමා නිළි දිල්හානි ඒකනායකගේ ආදරණීය පියාණන් වූ එල්මෝ බ්‍රයන් ඒකනායක මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 70 ක් වූ ඔහු දෙදරු පියෙකි. වෘත්තියෙන් සංගීතඥයකු වූ ඒ මහතාගේ අවසන් කටයුතු ඉකුත්දා කලල්ගොඩ සුසාන භූමියේදී සිදු කෙරිණි.

මනෝජ්ගෙන් බොදු බැති ගී අනුවාදන සංයුක්ත තැටියක්

විශාරද මනෝජ් පීරිස් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් බොදු බැති ගී අනුවාදන සංයුක්ත තැටියක් දැන් වෙළෙඳ පොළට නිකුත්ව තිබේ. ලංකාවේ පැරැණි ජනප්‍රිය බොදු බැති ගී පහළොවක අනුවාදන මෙහි අන්තර්ගතය. සිරි බුද්ධ ගයා, සිළුමිණි සෑය වඳිම්, ලෝනා මුනිරාජගේ, ශ්‍රී සම්බුද්ධ රාජා, බෝ මළුවේ වැනි ජනප්‍රිය ගී අනුවාදන මේ ගී සරණියේ අන්තර්ගත වේ.

විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ දේශීය වාද්‍ය වෘන්දයක් විසින් සංගීතවත් කළ මෙම සංයුක්ත තැටිය ටොරානා මියුසික් බොක්ස් ආයතනයේ බෙදා හැරීමකි.

නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා.

කැනඩා - අමෙරිකානු – ඩෙන්මාර්ක් – කියුබා නළුවන් අතරට අපේ ජගත්

අමෙරිකාවේ නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා හැටියට ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව සිනමාපටයේ රංගනය වෙනුවෙන් ජගත් චමිල නිර්දේශ වී සිටියි. මෙය එම සිනමාපටය විදෙස් උළෙලක් නියෝජනය කරන තෙවැනි අවස්ථාවයි.

කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සම්මානනීය නවකතාවක් වූ සෑම්ස් ස්ටෝරි නව කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙහි සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රඟති.

සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කොස්තා කැමරාකරණයෙන් ද, වෙළේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වූ මෙහි අංග රචනය හේමන්ත ගමගේගෙනි.

ජගත් සමඟ නිර්දේශව ඇති නළුවන් මෙසේය.

ඩොමිනික් මර්සල් - ඇසල්ට් ඔන් වෝල්ස්ට්‍රීට් (කැනඩාව)

එඩ්වඩ් ෆර්ලොං - මැට්ස් චාන්ස් (අමෙරිකාව)

සෙබස්තියන් ජේසන් - 4 රියැලිටි (ඩෙන්මාර්ක්)

ඩිමාර් ෆැන්කෝ මොරේෂු පැබ්ලෝ (කියුබාව)

සම්මාන උළෙල ජූනි මාසයේ පැවැත්වීමට නියමිතය.