වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඔප දැමූ දියමන්ති වගෙයි අද දමයන්ති

ඔප දැමූ දියමන්ති වගෙයි අද දමයන්ති

දමයන්ති ෆොන්සේකා

මිහිර ගෙනා තරු මිහිරක හැඩ

තරු අතරට තරු පායන දිනය ළඟාවන තුරු ඇඟිලි ගනිමින් සිටි පස් දෙනෙකි. ඒ මාතලේ පී. ආතර් ද සිල්වා, ගාල්ල නෙත්මිණි ප්‍රියසංජනා, තංගල්ල ශෂික මධුෂාන්, වීරකැටිය ප්‍රේමසිරි නාරසිංහ සහ කැලණිය දයාරත්න ගනේගොඩ යන පිරිසයි.

නෙත්මිණි හැර අන් සියල්ලෝම සරසවිය ඡායාරූපාගාරයට වී ඇඟිලි ගනිමින් බලා සිටින්නේ තමන් වඩාත්ම ආදරය කරන කලා තරුවගේ ආගමනය සිදුවන තුරුයි.

තම අක්කන්ඩිය ගිය පාරේ පියමං කරමින් කුසලතාව තුළින් රූපණයේ සතර කොන් ස්පර්ශ කළ රංගන ශිල්පිනියක ලෙස ඕ දිගු ගමනක් පැමිණ සිටියි.

ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් මොහොතින් මොහොත ගෙවෙන වේලා සටහන් දිහා බලන මේ පිරිසගේ අභිලාෂය මුදුන්පත් කරමින් ඈ සරසවිය වෙත පැමිණියා.

‘දමයන්ති ෆොන්සේකා’.

ෆොන්සේකා පවුලේ කලාකාරිනියක ලෙස කලාවේ විවිධ ඉසව් ස්පර්ශකර ඇති දමයන්තිගේ ආගමනයෙන් අද තරු මිහිර හැඩ වෙයි.

දියමන්තියක් බඳු දමයන්තිගේ රූප සොබාවේ කාන්තිමත් බව නිසාම අපේ පාඨක පිරිස මඳක් නිහඬව සිටියා.

‘මට ඔයගොල්ලෝ හඳුන්වලා දෙන්නකෝ?’

දමයන්තිගේ මුල්ම ඉල්ලීම වූයේ එයයි.

සියලු දෙනාටම අපේ පාඨක පිරිස හඳුන්වා දුන්නේ කැලණියේ දයාරත්න ගනේගොඩයි.

ඔයා නිළියක් නොවුණා නම් කවුරු වෙන්නද හිටියේ? ගනේගොඩ නැවතත් විමසුවා.

අනිවාර්යයෙන්ම ගුරුවරියක්. මට රජයේ ගුරු පත්වීමකුත් ලැබුණා. ඒ කාලයේ. හැබැයි මුල්ම පත්වීම ලැබුණේ හබරණට. ඒ නිසාම ගියේ නැහැ. ඒ වුණාට මම ගෙදර ගත කරන කාලයේදී අපේ අම්මා මට ගෙදර පන්තියක් කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ මගේ හිත රිදෙයි කියලා එයාට හිතුණ නිසා වෙන්න ඇති.

එතකොට රඟපෑම? නාරසිංහ පැනයක් යොමු කළා.

මාලිනී අක්කත් එතකොට ලංකාවේ ජනප්‍රිය නිළියක්නේ. මාත් උඩරට, පහතරට, සබරගමු ඕනෑම නැටුම් ශෛලියක් පුළුවන්. ඒ වුණාට ඒවා රඟපෑම්වලදී වැඩිය භාවිතයට ගැනුණේ නැහැ. සුමන ආලෝක බණ්ඩාරගේ අපි කවුද? ඒ වගේම මඩොල් දූව චිත්‍රපටයෙත් පොඩි කාලේ රඟපාලා තියෙනවා. තිලක් ගුණවර්ධනගේ කුමාරිහාමි ටෙලි නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍යයන් ගණනාවකම රඟපෑවා.

මාලිනී ෆොන්සේකා ඔබේ වැඩිමහල් සහෝදරියනේ. එතකොට අපිට පේන විදියට ඔබෙත් මාලිනියට සමාන හැඩහුරුකමක් තියෙනවා.

බොහෝ වේලාවක් නිහඬව සිටි ආතර් ද සිල්වා විමසුවා.

මම කොණ්ඩය කඩා දමලා ඉන්න කොට ටිකක් මාලිනී අක්කා වගේ. දවසක් මරු වැඩක් වුණා. රන්ජන් රාමනායකයි, මමයි පොඩි කමර්ෂල් එකක් ෂූට් කළා. එතකොට වටේ ඉන්න අය කියනවා එහෙම හිටපුවාම විජේ වගේ, ආ . . . මෙයා මාලිනී වගේ. අනේ අර මාලිනී විජයගේ ෂර්ට් එකෙන් අල්ලනවා වගේ දමයන්තිත් රන්ජන්ගෙන් අල්ලන්න කියලා. එතකොට රන්ජන් කිව්වා ඒ අයම හිටිය නම් හරිනේ කියලා.

ඔයා වැඩියෙන්ම ආස වේදිකාවට ද, සිනමාවට ද, පුංචි තිරයට ද? ගනේගොඩ කල් යල් බලා විමසුවා.

හානේ ඔයා පුදුම ප්‍රශ්නයක්නේ ඇහුවේ. මම වැඩියෙන්ම කැමැති සිනමාවට හා වේදිකාවට. මේ දෙකම හරියට මට අම්මයි තාත්තයි වගේ.

ගීත ගායනා කරන්න පුළුවන්ද? ශෂික නිහඬව සිට ඇසූ පළමු ප්‍රශ්නය.

ඔව් පුළුවන්. අර නරි බෑනා නාට්‍යයේ ගම දුව විදියට ඒ කාලේ මම කිව්වේ ‘ඇහැල මලින් ගස් පිරිලා’.

අනේ එහෙනම් දැන් කියන්නකෝ අපි ආසයි අහන්න සජීවීවම. ගනේගොඩ ඉදිරියට ඇවිත් ආයාචනයක් කළා.

නෑ මෙහෙම හොඳයි. ඔය හතර දෙනාම එක සිංදුව ගානේ කියන්න. මම අන්තිමට සිංදුවක් කියන්නම්.

ප්‍රේමසිරි නාරසිංහ ගඟ අද්දර ගීතයක්, ගනේගොඩ අකුරු මැකී නෑ ගීතයත්, ආතර් දෙව්දුව පලා ගියාදෝ ගීතයත්, ශෂික මේ නොනිවෙන දිවි ගමනේ ගීතයත් ගායනා කලා.

ඉන් පසු සියල්ලෝම නර්තනයෙන් සහාය වෙද්දී දමයන්ති ඇහැල මලින් ගීතය ඉතා ලයාන්විතව ගායනා කළා.

ඔයාලගේ පවුලේ අළුතින්ම රංගනයට එකතු වුණේ කවුද? ආතර් නැවතත් විමසුවා.

අපේ සඳුනිනේ. ඔයාලා දන්නවද ලේක්හවුස් එකේ තමයි එයා වැඩ කරන්නේ. ඉන්න මම එන්න කියන්නම්.

මොහොතකින් සඳුනි . . . සරසවිය ඡායාරූපාගාරයට පැමිණියා. ඇයත් දමයන්තිගේ කපාපු පළුව වගේ හැමෝම පැවසුවා.

ඔයා අධ්‍යක්ෂවරියක් වෙන්නේ කවද්ද? නාරසිංහ නැවත විමසුවා.

අනේ තව ටික දවසකින් ටෙලි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපිටත් රඟපාන්න අවස්ථාව දෙනවද?

ගනේගොඩ ඉතාමත් දිරිමත්ව විමසුවා.

අනිවාර්යයෙන්ම සරසවිය වෙනුවෙන් මම ඔයාලා හතර දෙනාටම ඒ අවස්ථාව ලබා දෙනවා.

එහෙනම් ඔයාව දෙයියෝම බලාගන්න ඕනෑ ගනේගොඩ කීවේ සියල්ලන්ව සිනහගන්වමිනි.

සඳුනි මැදිකරගෙන අපේ පාඨක පිරිස දමයන්ති රැගෙන ආ කේක් ගෙඩිය කපමින් ගී ගයමින් සතුටු වුණා.

ඉන් පසු ඔවුනොවුන් තෑගි හුවමාරුකර ගනිමින් හෝරා දෙකක කාලයක් ජීවිතයේම අමරණීය සිහිවටනයක් එක්කර ගනිමින් සිටියා.

අපේ තෑගි අනුග්‍රාහකයාගේ ලක්සළු සල තෑගි වවුචර් මෙන්ම සමරු සටහන් ද ලබා ගනිමින් දමයන්තිගේ ආගමනයෙන් හැඩවුණ තරු මිහිරක මිහිරි මතක සරසවිය පිටු අතර ඉතිරි කරමින් තරු මිහිරට සමු දුන්නා.