වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමා කතාව 16

ඉන්දියානු සිනමා කතාව 16

වීරයා වෙනුවට සැතිරියක්

ඉන්දියානු සිනමාව අද පවත්නා තැනට පත් කරන්නට කැප වූ සංඛ්‍යාව සුළු පටු නැත.මේ හැම දෙනාම පිළිබඳ සටහන් ලිවිය නොහැකි බව ඇත්තය.එහි හැඩ තළ වෙනස් කරලීමට උර දුන් පුරෝගාමින් කිහිප දෙනෙකු ගැන හෝ පිළිබඳ නොලියා මේලිපි මාලාව අංග සම්පූර්ණ වන්නේ නැත.

අයිරානි සමඟ එක්ව ස්ටාර් ෆිල්ම්ස් සමාගම පිහිටුවාලිමට පුරෝගාමි වූ භෝගිලාල් කේ.එම්.දේව් එයින් මිත්‍රශීලිව වෙන්ව ගොස් පිහිටුවා ගත් ශර්ධා ෆිල්ම්ස් ආයතනය ඉන්දියානු සිනමාව ජනප්‍රිය කරලීමෙහිලා මුල් යුගයේ මහත් සේවාවක් කළ ආයතනයක් විය.අමෙරිකාවේ සිනමාව හැදෑරු වෙක් බැවින්දෝ දේව් සිය චිත්‍රපට නිෂ්පාදනයේ දී හොලිවුඩ් අනුකාරක ගති ලක්ෂණ පෙන්වූයේය.

ශර්ධා සමාගමේ ඔහුගේ හවුල්කාර සිනමාකරු වූයේ නානාබායි දේසායිය. නානාබායි ගුජරාටයේ උපත ලද්දෙකි. ශර්ධා ෆිල්ම්ස් වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුණේ ඔහුය. ඉන්දියානු සිනමාවට ක්‍රියාදාම චිත්‍රපට හඳුන්වා දෙනුයේ ශර්ධා වෙතිනි. දේසායි පසු කලක කොයිම්බතූර් හි පක්ෂිරාජා චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙස සේවය කළේය. එම සමාගම අසාද්,මලෙයි කල්ලන්, සහ සිංහලෙන් සූරසේන වැනි චිත්‍රපට නිපදවද්දී එහි කළමනාකරු ලෙස දේසායි සේවය කළේය.

දේසායි මිය යන විට ඔහුගේ බිළිඳු දියණියට යන්තම් වසර හතකි. එබැවින් ඇයට ළමා වියේම පවුලේ බර කරට ගැන්මට සිනමා රංගනයට එක් වන්නට සිදු විය. වර්තමානයේ ද ජනප්‍රිය හින්දි නිළියක වන බින්දු දේශායිගේ එකී වැඩිමහල් දියනියයි.ශර්ධාවට ආයෝජනයෙන් දායක වූ මායාශංකර් භාත් ඉන්දියාවේ ඇග්ෆා සහ ගෙවාට් සේයා පටළ සදහා ඉන්දියානු වෙළෙඳ නියෝජිතයා විය.

ඔහු පාල්කේ ගේ හින්දුස්ථානි ෆිල්ම්ස් වෙනුවෙන් ද මුලින් මුදලින් ආයෝජනය කළේය.මේ අවදියේ එනම් 1924 වසරේ හොලිවුඩ් චිත්‍රපටයක් වූ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් රඟ පෑ තීෆ් ඔෆ් බැග්ඩෑඩ් ඉන්දියාවේ දී අතිශය සාර්ථක විය. දේව් ෆෙයාර්බෑන්ක්ස් වර්ගයේ වීරයකු සොයා ගත්තේය. ඔහු මාස්ටර් විතාල් නම්විය.විතාල් සිනමාවට පිවිසෙන්නට පෙර ළමා වියේදීම රාජ්පුර්කර් නාටක් මණ්ඩලි නම් නාට්‍ය කණ්ඩායමෙන් රංගනයට පිවිසියෙකි.

පසුව බාබුරාඕ පේන්ටර්ගේ මහාරාෂ්ට්‍ර ෆිල්ම් සමාගමේ චිත්‍රපට සමාගමට සංස්කරණ ශිල්පියකු ලෙස දායක වන හෙතෙම එහි නිපද වූ කල්‍යාන් කජිනා චිත්‍රපටයේ නළඟනක ලෙස රඟපෑවේය. ඉන් අනතුරුව පේන්ටර් නිර්මාණය කරන ලද චිත්‍රපට කිහිපයකටම සංස්කරණයෙන් මෙන්ම නර්තනයෙන් ද දායකවන්නට විතාල්ට හැකි විය.විතාල් ජනප්‍රිය සිනමා නළුවකු වන්නේ ශර්ධා සමාගමේ රතන් මන්ජරි සමගය.

මල්ලව පොර ශූරයකු ද වූ බැවින් රාජස්ථානය පාදක කර ගනිමින් දේසායි තැනූ වීර කතා සහිත චිත්‍රපට කිහිපයකටම විතාල් අවශ්‍ය විය.මුලදී ඔහුගේ ප්‍රධාන නිළිය වූයේ සෙබුනිසා නම් නිළියයි.විතාල් කෙතරම් ජනප්‍රිය වීද යත් නිහඩ ඉන්දියානු සිනමාවේ වැඩිම මිළක් අය කළ නළුවා වූයේ ඔහුය. මුල්ම ඉන්දිය කතානාද චිත්‍රපටය වූ අලම් අරා සඳහා ඔහු තෝරා ගත්තේ ද එබැවිනි. එහෙත් නිහඬ සිනමාවේ වීරයන් බොහොමයකට කතානාද සිනමාව හමුවේ මුහුණ පාන්නට සිදුවූ අවාසනාවට ඔහු ද ගොදුරක් විය.

තම ජනප්‍රියත්වයේ ඉහළම යුගයේ දී ඉන්දියාවේ ඩග්ලස් ෆෙයාර්බෑන්ක් ලෙස හඳුන්වා දුන් විතාල්ට ද කතානාද සිනමාව පිවිසි පසු ෆෙයාර්බෑන්ක් ගේ ඉරණම හිමිවීම දෛවයේ සරදමක් බඳු විය.එහෙත් විතාල් රඟපෑ ස්වර්ණ කමාල්,වසන්ත් බාලා, භේඩි ත්‍රිශුල්, ගුල්සාර් සහ කාලා ප්‍රසාද් වැනි චිත්‍රපට ඉන්දියානු නිහඬ සිනමාවේ සුපිරි සිනමා තරුව ලෙස අබිසෙස් කළේය.කතානාද සිනමාවට මුහුණ දී ගත නොහැකි වූ විතාල් පසුව යළිත් නිහඬ චිත්‍රපට කිහිපයකට දායක වුවද ඒ වන විට එකී චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබිණ.

කෙසේ වෙතත් නිහඩ සිනමා යුගයේ පවා පේ‍්‍රක්ෂක රුචිකත්වය ඉක්මනින් වෙනස් වන්නට ගත්තේය. ඒ වෙනස් වීම් අවබෝධ කර ගත් සිනමා කරුවන් පමණක් සිනමාවේ රැඳුණ අතර එය අවබෝධ නොකොට ගත්තෝ ඉක්මනින් එයින් සමුගත්හ. නැතහොත් ස්වභාවයෙන්ම එයින් පිටමං විය යුතු විය. පාල්කේ විසින් හඳුන්වා දෙන ලද ඉන්දියානු දේව කතා පුරාණයේ කතාන්දර නැරඹීමෙන් පේ‍්‍රක්ෂකයන් හෙම්බත් වන ලකුණු පහළ විය.

ඒ බොහෝ සිනමාකරුවන් දිගට හරහට අනුකරණය කරන්නට පටන් ගත් බැවිනි.එම විලාසිතාව බොම්බායට පමණක් නොව දකුණු ඉන්දියාවට ද එවකට ඉන්දියාවට අයත් වූ ලාහෝරයේ බිහිවූ චිත්‍රපටවලට ද පොදු වූ ප්‍රවණතාවක් විය.

අලුත් සිනමා ප්‍රේක්ෂක පරම්පරාව බලාපොරොත්තු වූයේ වික්ටෝරියානු සදාචාරයෙන් මෙල්ල කළ චිත්‍රපට නොවේ. ඔවුන් බලාපොරොත්තු වන චිත්‍රපට ශෘංගාරයේන් අනූන මෙන්ම ත්‍රාසයෙන් ද පිරි චිත්‍රපට බව නිසැකයැයි ශර්ධා සමාගම කළ අනුමානය ටක්කෙටම හරි ගියේය. ශර්ධා ෆිල්ම්ස් වෙනුවෙන් නවාල් ගාන්ධි නිර්මාණය කළ වෑම්ප් මේ ඉල්ලුම සැපයූ කදිම අවස්ථාවක් විය.

එහි ප්‍රධාන චරිතය රගපෑවේ මිස් ඉක්බාල් නම් නිළියකි. 1926 වසරේ පෙබරවාරි 8 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වෑම්ප් චිත්‍රපටය පිළිබඳ හෙළිදරව්වක යෙදෙමින් මෙසේ කියා සිටියි. පැරණි වීරයන් හා කුල කාන්තාවන් වෙනුවට දුෂ්ට ගැහැනුන් ද රස්තියාදු කාරයන් ද ක්ෂණික මරණය පතා සටන් වදිමින් සිටිති.යනුවෙන් සදහන් කරයි. ශර්ධා චිත්‍රපට සමාගමේ සිනමාව පිළිබද මෙම සටහන ඉතා නිවැරදි එකක් වන්නේ සමාගමේ චිත්‍රපට ඉලක්කය ඒ තුල ගම්‍ය වන හෙයිනි.

ඔවුන් මුළුමනින්ම හොලිවුඩ් විලාසිතාවන්ගෙන් ආභාසය ලබන්නට කැමති වූහ. ඒ සදහා තවත් උදාහරණයක් ලෙස ගත හැක්කේ ශර්ධා විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීම්ය. මුලදී ද සදහන් කළ පරිද්දෙන් විතාල් ඉන්දියානු ෆෙයාර්බෑන්ක් ලෙස හංවඩු ගැසුවේ යම්සේද 1928 වසරේ තිර ගත වුන ගුර්ලු සරීනා නිර්මාණය කරන ලද්දේ රෙක්ස් ඉංග්‍රම් ගේ ද ෆෝ හොස්මන් ඔෆ් ද ඇපකල්ප්සේ චිත්‍රපටයේ අනුකරණයක් හැටියටය. ශර්ධා චිත්‍රපටයක් තිර ගත වද්දී එය මිළ දී ගන්නට බොහෝ චිත්‍රපට ශාලා හිමියෝ පොරකන්නට වූහ. ඒ චිත්‍රපට එම අවදියේ එතරම් නැවුම් බවකින් යුක්ත විය.

සිනමා කර්මාන්තය ගොඩ නැංවීමෙහිලා මහත් මෙහෙයක් කළ තවත් සිනමාකරුවකු වනුයේ චන්දුලාල් ජේශන්ග්බායි ෂා ය. චන්දුලාල් ෂා යනු ඉන්දියානු නිහඩ සිනමාවේ දි සිනමා සමාගම් වෙත මුදල් උපයා දුන් යන්ත්‍රයක් ලෙස නිෂ්පාදකවරු සැලකූහ. ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වූ චන්දුලාල් සිනමාවට පිවිසීමට පෙරාතුව ඉන්දියානු කොටස් වෙළඳ පොළෙහි සාර්ථක තැරැව්කරුවකු ව උන්නේය.ඔහු සිනමාවට පිවිසෙනුයේ ලක්ෂ්මි පික්චර්ස් ආයතනයේ හිමිකරුව සිටි මනිලාල් ජෝශිගේ ආරාධනයෙනි.

චන්දුලාල්

රාජා සැන්ඩෝ

එහෙත් ජෝශි හිටි අඩියේ රෝගාතුර වූයෙන් ඔහු විසින් ඒ වන විට නිම කරමින් සිටි චිත්‍රපටය වන විම්ලා නිම කිරිමේ වගකීම චන්දුලාල් ට පැවරිණ. විම්ලා රචනා කරන ලද්දේ මොහාන් ලාල් දේව් විසිනි. ප්‍රධාන චරිතය රඟපැවේරාජා සැන්ඩෝය. මේ චිත්‍රපටය සාර්ථක විමත් සමග කොටස් වෙළඳ පොළ අතහැර දමන චන්දුලාල් තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කළේය.

කොහිනුර් සමාගම සමග එක්වුන ඔහු එය වෙනුවෙන් තැනූ මුල්ම චිත්‍රපටය ටයිපිස්ට් ගර්ල්ය.ගොහාර් සහ රාජා සැන්ඩෝ එහි ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක විය. නිළි ගොහාර් නළු රාජා සැන්ඩෝ සහ චන්දුලාල් ෂා අතර සම්බන්ධය වඩා සාර්ථක සුසංයෝජනයක් විය.

මේසම්බන්ධකාවය නිසාම ගන් සුන්දරි ඇතුළු චිත්‍රපට පහක් ඔහු නිර්මාණය කළේය. ගන් සුන්දරි චිත්‍රපටයට පාදක වනුයේ ඉන්දියානු සම්ප්‍රදායන් හමුවේ පසු නොබසින බිරිඳකගේ කතාවකි. එය ඒ වනවිට ඉන්දියානු සිනමාවට අලුත් අත්දැකීමක් ගෙන දුන් තේමාවක් විය. චිත්‍රපටයේ කතානායිකාව තම සැමියාට වඩා දිරියෙන් හා අභියෝගයෙන් ජය ලබන්නියකි.මේ චිත්‍රපටය කෙතරම් ජනප්‍රිය විද යත් චන්දුලාල් 1934 වසරේ දි ගොහාර් යොදා ගනිමින් එය යළි කතානාද සිනමා කෘතියක් ලෙස ද එළි දැක්වුයේය.

චන්දුලාල්ගේ නිළිය වන ගොහාර් මෙනෙවිය නමින් පතල කය්යුම් මාමාජිවාලා ගොහාර් නමින් උපත ලද්දේ ලාහෝරයේය. ඇයගේ මව එකල වේදිකා නිළියක බැව් කියැවෙයි.

ගොහර්

කොහිනූර් සමාගමේ ප්‍රධාන සිනමා තාරකාව වනුයේ ගොහාර්ය. හෝමි මාස්ටර් ගේ ලංකා නි ලාඩි චිත්‍රපටයෙ න් ජනප්‍රියත්වයට පත් ගොහාර් ගේ ජනප්‍රියත්වය නිසාම මොහාන්ලාල් දේව් ඇය සදහාම තිරනාටක රචනා කළාය.එමෙන්ම ෂාගේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වු රාජා සැන්ඩෝ පී.කේ නාගලිංගම් නමින් තමිල්නාඩුවේ පුදුකොට්ටේ හි උපත ලද දෙමළ ජාතිකයකු විය.

ජිම්නාස්ටික් ක්‍රීඩකයකු වන සැන්ඩෝ පතන්කාර් ෆිල්ම් සමග සම්බන්ධ වනුයේ ස්ටන්ට් නළුවකු හැටියටය.කොහිනූර් සමාගමේ මොජිලි මුම්බායි චිත්‍රපටයෙන් චරිතාංග රංගනයට පිවිසෙන සැන්ඩෝ ගොහාර් චන්දුලාල් හා ෂා ත්‍රිත්වයේ චිත්‍රපට සමග අපමණ කීර්තියට පත් විය. ඉන්දිරා මාතා ,බැර්ස්ටර්ස් වයිෆ්,දේශ් දාසි ප්‍රභූ කා ප්‍යාර් වැනි චිත්‍රපට රැසක චරිත මවන ඔහු පසුව කතානාද චිත්‍රපට සමයේ ආර්.පත්මනාභන්ගේ ඇසෝසියේටඩ් ෆිල්ම්ස් සමග එක්ව අනදයි පෙන් නම් දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. නන්දනාර්,පෙයුම් පෙන්නුම්,තරන්හාර්,චන්ද්‍රකාන්තා වැනි දෙමළ කතානාද චිත්‍රපට රැසක් ම අධ්‍යක්ෂණය කළ නිහඩ ඉන්දියානු සිනමාවේ බොම්බායේ ජනප්‍රිය නළුවකු ව සිටි රාජා සැන්ඩෝය.

මොහාන්ලාල් දේව් හැරුනු විට කොහිනූර් සමාගමේ ප්‍රධාන කතා රචකයා වනු යේ ද චන්දුලාල් ය. පසු කලක සිය ප්‍රධාන නිළිය ගොහාර් සහ රාජා සැන්ඩෝ සමග කොහිනූර් වෙතින් නික්මයන චන්දුලාල් ජග්දිශ් චිත්‍රපට ආරම්භ කළේය. ජග්දිශ ෆිල්ම්ස් වෙනුවෙන් ෂා නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව හතරකි. එනම් විශ්ව මොහිනී,ග්‍රිහ ලක්ෂ්මි,චන්ද්‍රමුඛි, සහ රාජ් ලක්ෂ්මි ය.සිය සිනමා නිළිය වූ ගොහාර් සමග විවාහ වන චන්දුලාල් බොම්බායේ රංජිත් සුටුඩියෝ ආයතනය ගොඩ නංවන්නේ අනතුරුවය.

පසුව එය රංජිත් ෆිල්ම්ස් නමින් පසුව හැදින්වන අතර කතානාද සිනමාව ඇරඹු පසු එය රංජිත් මුවිටෝන් නම් කෙරිණ. 1970 පමණ වන තුරු ක්‍රියාත්මක වන රංජිත් ස්ටුඩියෝ වේ ස්වර්ණමය යුගයේ එහි සේවය කළ පිරිස තුන් සියයකට අධිකය. ඉන්දියානු සිනමා කර්මාන්තයේ රිදී ජුබිලියේ (1939) සහ ස්වර්ණ ජයන්තියේ (1963) උත්සවයන්හි පවා ප්‍රධාන සංවිධායකයක් වූ චන්දුලාල් සිනමාවේ හා ශිල්පීන් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැගී සිටි චරිතයක් විය.

බැරිස්ටර්ස් වයිෆ්

මාස්ටර් විතාල්

1951 වසරේ දි පිහිටුවන ලද ඉන්දියානු ෆිල්ම් ෆෙඩරේෂණයේ මුල්ම සභාපතිධුරය දැරූවේ ද චන්දුලාල් ය. කෙසේ වෙතත් 1960 වසරේ තැනුණු සමින් කේ තාරේ, සහ 1953 වසරේ රාජ් කපූර් සහ නාර්ගීස් රඟපෑ පාපී යන චිත්‍රපට යුගලම සහමුලින්ම අසාර්ථක විය. ඔහු ගේ සාර්ථකම යුගයේ දිනපතා මෝටර් රථ මාරු කළ ව්‍යාපාරිකයකු වුව ද පෞද්ගලික ජීවිතයේ හෙතෙම තුරඟ තරඟ ඇතුළු සූදු අන්තුවකු ද විය. එබැවින්ම ඔහු 1975 වසරේ මිය ගියේ තඹ දොයිත්තුවක් නැති මිනිසකු ලෙසටය.

ඔහුගේ භාර්යාව වූ කලක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණ ගොහාර් ද ඉන් දස වසරකට පසු 1985 වසරේ දී මිය ගියාය. ඔවුන්ගේ හිතවතා වූ රාජා සැන්ඩෝ තමිල්නාඩුවේ සිනමාව වෙනුවෙන් මහත් මෙහෙයක් කළේය. මුල් වරට දෙමළ සිනමාවේ හාදු ජවනිකාවක් රූ ගත කළේ ඔහුය.

එමෙන්ම මුල් වරට දෙමළ නවකතාවක් සිනමාවට නැංවූයේ ද ඔහුය. තමිල්නාඩු සිනමාවේ යාවජිව සම්මානය නම් කොට ඇත්තේ රාජා සැන්ඩෝ නමිනි. ඔහු සිය සගයන්ට කලින් එනම් 1943 වසරේ දී හදිසි හෘදයාබාධයකින් මිය ගියේ තමිල්නාඩුවට අයත් කොයිම්බතූරි හිදීය.

මතු සම්බන්ධයි