වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

දිසාපාමොක්

ජගත් කරුණාසේනගේ දිසාපාමොක් මෙම මස 17 වැනිදා සවස වැලිගම නගර ශාලා රඟහලේදී වේදිකා ගතවේ. මෙය ජගත් කරුණාසේන සහ සුනිල් ධර්මසූරියගේ ඉදිරිපත් කිරීමකි.

බල්ලොත් එක්ක බෑ

රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ මෙම මස 18 වැනිදා පමුණුගම ගොන්සාල්වේස් විදුහල් රංග ශාලාවේදී.

මීයො නැතුව බෑ

කීර්ති කේ. රත්නායකගේ මීයො නැතුව බෑ මෙම මස 18 වැනිදා ඌරුබොක්ක බෙංගමුව මහ විදුහල් රංග ශාලාවේදී.

‘ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ජීවිතය’ 21 දා දොරට වඩී

තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ නවතම ග්‍රන්ථය ‘ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ජීවිතය’ ලබන 21 වැනිදා මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

‘අටංපහුර’, ‘අකාල මේඝය’ ‘දුර්ග තරණය’, ‘නීල දෑස පුරා’, ‘කුලගෙයි විලංගුව’, ‘වතුර’, ‘පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසින් හා මන්ත්‍රකරුවන් සමඟ’, ‘මහාසෘෂි රාමනා’ යන නවකතා සහ පරිවර්තන රැසක් ඔහු රචිත කෘති අතර වේ.

නිලන්ත රණසිංහගේ කිඳුරංගනා 19 දා දොරට වඩී

ගායන හා රංගන ශිල්පී නිලන්ත රණසිංහගේ ‘ස්වර්ණ ගී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය සහ ස්ව නිර්මාණ ගී එකතුව ‘කිඳුරංගනා’ නමින් ලබන 19 වැනිදා නව රඟහලේදී දොරට වැඩීමට නියමිතය.

‘කිඳුරංගනා’ ගීත සමුච්චියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදීන් වන සරත් ද අල්විස්, අර්නස්ට් සොයිසා, උපාලි කන්නන්ගර, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, නවරත්න ගමගේ, සමන්ත පෙරේරා, අනුර විජේසිංහගේ වන අතර ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලලිත් වසන්ත, අනුර කිත්සිරි, ප්‍රසංගි විජේවර්ධන,, නඳුන් අන්දරවීර, ජයවීර බණ්ඩාර හා නිලන්ත රණසිංහගේ ගී පද රචනයෙන් කිඳුරංගනා ඔපවත් වී ඇත.

ජී. ජී. දයානන්ද රචිත ‘සිංහල වෙස් මුහුණු’

පුවත්පත් කලාවේදී ජී. ජී. දයානන්ද විසින් රචිත ‘සිංහල වෙස් මුහුණු’ කෘතිය දැන් නිකුත් වී ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා යටතේ සිනමාකරණය පිළිබඳ අත්පොත් තැබූ ජී. ජී. දයානන්දයන් ගම්පෙරළිය ඇතුළුව වෘත්තාන්ත චිත්‍රපට කීපයකටම සිය දායකත්වය සපයා ඇත. ‘දවස’ පුවත්පතෙන් පත්තර කලා දිවිය ආරම්භ කළ හෙතෙම ‘විසිතුර’, ‘දිවයින’ සහ ‘ලංකාදීප’ පුවත්පත් හි උප කර්තෘ ධූරය හොබවා තිබේ.

‘රඟපෑම් ඉවරයි’ 18 දා බොරැල්ලේ

සුද්දෙක් ඔබ අමතයි වේදිකාවට ගෙන ආ උදයසිරි වික්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ර¼ඟපෑම් ඉවරයි’ ලබන 18 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.

ටයිටස් රණසිංහ මියයයි

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටයිටස් රණසිංහ අභාවප්‍රාප්ත විය. මියයන විට හැට හතර හැවිරිදි වියෙහි පසු වූ ඒ මහතා කැදැල්ල නැහැ උණුසුම්, මා ද ඇයම විය වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කොට තිබේ. රත්තරං නෙත් සිනමාපටයේ රචකයා ද වූ ටයිටස් ගේ අවසන් කටයුතු පසුගියදා ජාඇල කලඑළියේදී සිදු විය.