වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




බොරුව ඇත්ත කරන සිනමාපට

බොරුව ඇත්ත කරන සිනමාපට

ඇතැම් සිනමාපට මායාවන්ය. සමහර සිනමාපට සත්‍යයට කලාත්මකභාවය ආරූඪ කරයි. ස්වභාවය කුමක් වුවත් රසිකයා ඒ මායාවේ අතරමං වෙන්නේ උන්හිටි තැන් ද අමතක කරමිනි.

* ආගෝ

‘ආගෝ’ සිනමා ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ සම්මාන රැසකටම හිමිකම් කී සිනමාපටයකි. ගිල්ඩ්, ගෝල්ඩන් ග්ලෝබ්ස් පමණක් නොව අසූපස් වැනි ඔස්කාර් සම්මාන උළෙලේත් සම්මානලාභියා වූයේ ‘ආගෝ’ය. 2012 වසරේදී ඓතිහාසික ත්‍රාසජනක සිනමාපටයක් ලෙසින් සිනමා වංශ කතාවට එක් වූ මේ සිනමාපටයේ මධ්‍යම බුද්ධි අංශයේ මහ මොළකරු වූ ටෝනි මෙන්ඩස්ගේ චරිතය නිරූපණය කළේ බෙන් ඇෆ්ලෙක්ය. 1979 ඉරාන විප්ලවයේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ මේ සිනමාපටයේ සැබෑවට වඩා තිබුණේ මුසාවය.

බුද්ධි අංශයේ නියෝජිත මෙන්ඩස්ට සිය මෙහෙයුම පුරාම ජුලියෝ නමින් සහායක නිලධාරියකු විය. එහෙත් සිනමාපටයේ සියලු මෙහෙයුම් සිදු කළේ ඇෆ්ලෙක්ය.

සරණාගතයන් කැනේඩියානු තානාපතිවරයාගේ නිවෙසේ නවාතැන් ගත් බව සිනමාපටයෙන් දැක්වුණත්, ඔවුන් සැබෑවටම සැඟ වී සිට ඇත්තේ ඔහුගේ කාර්යාලය තිබූ ගොඩනැගිලි සංකීර්ණයේ ජනශූන්‍ය නිවෙසකය. එහි ගෘහභාණ්ඩ තිබුණු නමුත් ඡායාරූප හෝ වෙනත් ගෘහ උපකරණ නොතිබිණි.

සිනමාපටයේ බ්‍රිතාන්‍ය හා නවසීලන්ත තානාපති කාර්යාල මඟින් අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් හය දෙනා බේරාගන්නා බව පෙන්නුව ද සිදු වූයේ එය නොවෙයි. ඉරාන ගුවන් හමුදා තොටුපළ නිලධාරීන් ගුවන් යානය පසුපස පැන්නීමයි.

සරණාගත මාර්ක් ලිජෙක් චරිතය නිරූපණය කළ ක්‍රිස්ටෝපර් ඩෙන්හැම් සැබෑ ජීවිතයේදී දුම්පානය කරන්නෙකි. ඔහු බරපතළ ලෙසින් ළඟ නොපෙනීමේ අක්ෂි දුර්වලතාවෙන් ද පීඩා විඳින්නෙකි. කණ්ණාඩිය කමිසයේ සවි කළ විට ඔහුට කිසිවක් කියවීමට නොහැකිය.

සරණාගතයන් අතරේ හුවමාරු වන්නේ එක් පිටපතකි. එහෙත් තොරතුරු රැසක් අඩංගු කොළ රැසක් හුවමාරු වෙනවාක් සේ පෙනෙයි.

ආගෝ සිනමාපටයේ සැබෑව මෙන්ම මුසාව තිබුණ ද එය ඉතා හොඳ කතන්දරයකි. සිනමාපටය ප්‍රේක්ෂක හද බැඳ ගත්තේ ඒ නිසයි.

* ලින්කන්

සම්මානනීය ස්ටීවන් ස්පිල්බර්ග් ගේ වික්‍රමාන්විත නිර්මාණයක් වූ ‘ලින්කන්’ නිසා අමෙරිකා එක්සත් ජනපදයේ සොළොස් වැනි ජනපති ඒබ්‍රහම් ලින්කන් යළි ජීවමාන කෙරුණි. ලන්ඩනයේ උපන් අයර්ලන්තයේ ජිවත් වන ඩැනියල් ඩේ – ලුවිස්ට මේ චරිතය ජීවත් කළ හැකි වේවිදැයි කියා බොහෝ දෙනකුට සැක සිතුණි. එහෙත් සිනමාපටය සියලු සැක දුරු කළේය. කෙසේ වුව ද ‘ලින්කන්’ ද ලොවට සැඟ වූ කාරණා රැසක් තිබේ.

ලින්කන්ගේ සැබෑ කැබිනට් කාමරයේ තිබුණේ ඡායාරූප දෙකකි. එක් ඡායාරූපයක් ලින්කන්ගේ පූර්ව ප්‍රාප්තිකයා වූ ඇන්ඩෲ ජැක්සන්ය. අනෙක් ඡායාරූපය බ්‍රිතාන්‍ය වහල් විරෝධී නායක ජෝන් බ්‍රයිට්ගේය. එහෙත් සිනමාපටයේ එම සිතුවම් නිර්මාණ දක්නට නොලැබුණි.

ජනාධිපති ලින්කන්ට තිබී ඇත්තේ ඉන්දියානා සහ කෙන්ටකි ඌරුව ගත් ගැඹුරු උස් පිරිමි හඬකි. සිනමාපටයේ ඩේ - ලුවිස් උස්, තියුණු එහෙත් තුනී හඬකින් දෙබස් උච්චාරණය කළේය.

ලින්කන් ජනපතිවරයා සිතියම් අධ්‍යයනය කළේ යුදමය කටයුතු සඳහා පමණක් නොවෙයි. 1860 දී ජනගහන සිතියමෙන් පෙන්නුම් කෙරුණේ සෑම රටකම ජීවත් වූ වහලුන්ගේ ප්‍රතිශතයයි.

දාසය වැනි ජනපතිවරයා තීරණ ක්‍රියාත්මක කිරීමට හා කරුණු සාකච්ඡා කිරීමට රැස්වීම් පැවැත් වූ අයෙකි. රැස්වීම් පැවැත්වීම අනිවාර්ය අංගයක් වූ අතර ඒ සඳහා ස්ථිරවම සහභාගිවූවන් අතර රාජ්‍ය ලේකම් විලියම් එච්. සෙවෝඩ්, යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන්, භාණ්ඩාගාර ලේකම් සොල්මන් පී. චේස් වූහ. ධවල මන්දිරයේ දොරටු සාමාන්‍ය ජනතාවට විවෘත වූයේ පුද්ගලිකවම ඔහු හමුවීමට අවස්ථාව උදාකරමිනි.

සිනමාපටයේ බොත්තමක් සහිත පිටුපසක් ඇති පුටුව 2004 දී අලුත්වැඩියා කිරීමට පෙරගත් පුටුවේ ඡායාරූපය බඳුමය.

ලින්කන්ගේ කැබිනට් මේසය මීට දශක ගණනාවකට පෙර අතුරුදන් වූවකි. සිනමාපටයේ මේසය මුල් මේසයට වඩා 50% ක් විශාලය. 1864 සිතුවමක මේසයේ ඡායාරූපයක් සඳහන් වී තිබේ.

ජනපතිවරයාට තිබුණේ පැතැලි පාදයකි. ලිපි සහ රාජ්‍ය ලියකියවිලි තොප්පිය යට සඟවා ගැනීමේ පුරුද්දක් ඔහුට තිබුණි.

ලින්කන් බිරිය කේන්තිකාරියකි. ඒ කෝපය ජනපතිවරයාගේ ජීවිතයට ද බලපෑවේය. ස්පිල්බර්ග් ඒ බව කදිමට පෙන්වයි.

* රොක් ඔෆ් ඒජර්ස්

2012 වසරේ තිරගත වූ ප්‍රේමණීය, ගීතමය, විකට සිනමා වෘතාන්තයකි. 1987 කතාවක් 2012 දී තිරයෙන් එළි දකින්නේ අපූරු සිදුවීම් මාලාවක් ද සමඟය. සිනමා ශාලාවේ අයිතිකරු අනෙක් අයට වඩා ඉහළ ආර්ථික තත්ත්වයක් ඇති අයකු ලෙස පෙන්නුම් කළත්, රූප රාමුවල ඔහු ඇඳ සිටින දිවි සමක මෝස්තරය ඇති කමිසය ඉතා ලාභය.