වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’
ශ්‍රී ලන්කන් ස්ටාර්ස් - හොලිවුඩ් ස්ටයිල්ස් සමඟ රෝයි ද සිල්වාගෙන්

‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’

අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යා හැකියි මාලන්, නටාෂා ප්‍රේම වෘත්තාන්තය . . .

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ දැන් කොළඹ ‘මැජෙස්ටික් අල්ට්‍රා’ සහ කළුතර ‘ඩොන්ස් ප්ලාසා’ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ.

1991 වසරේ රෝයි තැනූ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටයේ දෙවැනි කොටස වන මෙය ඔහු අධ්‍යක්ෂණය කළ 37 වැනි චිත්‍රපටයයි. සිය නවතම චිත්‍රපටය පිළිබඳ කතාබහකට රෝයි අප සමඟ එක් වූයේ මෙලෙසිනි.

ඔබ අපේ සිනමාවේ සුවිසල් ප්‍රේක්ෂක පදනමක් සහිත ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. ඇයි තවත් සිංහල චිත්‍රපටයකට නොයා මෙවැනි චිත්‍රපටයක් හදන්න තීරණය කළේ?

මුලින්ම කියන්න ඕනෑ මගේ අලුත්ම සිංහල චිත්‍රපටයේ වැඩ කටයුතු ජූලි මාසයේදී ආරම්භ කරනවා. එහි තිර පිටපතත් ලියා අවසන් කුණුහරුප නැති. පවුලේ කාටත් එකට ඉඳන් නැරඹිය හැකි චිත්‍රපටයක්. ඇත්තටම මම අවුරුදු විසි දෙකකට පස්සෙයි මේ ඉංග්‍රීසි චිත්‍රපටයක් කළේ. එදා ‘ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටයේ රඟපෑ ගාමිණී ෆොන්සේකා ලොකු කැමැත්තකින් හිටියේ ඒකෙ දෙවැනි කොටසේ රඟපාන්න. නමුත් මට ඒ කාර්යය ඔහු ජීවතුන් අතර සිටි කාලයේ ඉෂ්ට කරන්න ලැබුණේ නෑ.

‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටය නිම කරලත් සෑහෙන කාලයක්. ඇයි එය ප්‍රදර්ශනයට ප්‍රමාද වුණේ?

ප්‍රධානම හේතුව තමයි යම් යම් උදවිය මට දුන් පොරොන්දු, බලාපොරොත්තු කඩ කිරීම්. එක්තරා ප්‍රදර්ශන මණ්ඩලයක් මගේ චිත්‍රපටයට අවස්ථාව ලබා දෙනවා කියලා වැඩේ මඟ හැරියා. ඔය නිසා තමයි චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රමාද වුණේ.

මේ චිත්‍රපටයේ පිටපත් දෙකක් පමණයි ඔබ ප්‍රදර්ශනයට එක්කර තිබෙන්නේ. වියදම් පියවා ගැනීමටවත් එය ප්‍රමාණවත්ද?

අපේ ඉංග්‍රීසි චිත්‍රපටයක පිටපත් ඊට වඩා දාන්න බෑ. මම හිතන්නේ ජාත්‍යන්තර චිත්‍රපටයක් වුණත් එහෙමයි. මොකද සීමිත පිරිසක්නේ මේ වගේ චිත්‍රපට නරඹන්නේ. විශේෂයෙන්ම නගරබද අය. මම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර, මාතලේ, රත්නපුර, ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර කිහිපයක විතරයි.

මම හිතන්නේ මුදල් සෙවීමේ පරමාර්ථයට වඩා වෙනත් අරමුණකුත් තිබෙන හැඩයි මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්න?

විශේෂයෙන්ම මෙවැනි චිත්‍රපටයක් කළේ ඉංග්‍රීසි භාෂිත චිත්‍රපට අපටත් කරන්න පුළුවන් කියලා ලෝකයට පෙන්වන්න. ඇත්තටම ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකි, උච්චාරණය කළ හැකි දක්ෂ නළු නිළි පිරිසක් අපට ඉන්නවා. දැන් හොලිවුඩ්වල වගේ නෙවෙයි බොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටවල දෙබස් උච්චාරණය කරන්නේ. ඒ අයට වඩා හොඳින් අපට ඉංග්‍රීසි බස හසුරවන්න පුළුවන්. මේ චිත්‍රපටයට මම යොදාගෙන තියෙනවා හොඳ තේමාවක්. ඒ තමයි ‘ශ්‍රී ලන්කන් ස්ටාර්ස් - හොලිවුඩ් ස්ටයිල්ස්’ කියන එක.

ප්‍රවීණ සහ නවක නළු නිළි පිරිසක් එක්කයි ඔබ මේ නිර්මාණයේදී වැඩ කරන්නේ?

අයිරාංගනී සේරසිංහ, විජය නන්දසිරි, ලකී ඩයස්, රෝසි සේනානායක, කොරින් අල්මේදා, සුදර්ශන බණ්ඩාර, නෙහාරා පීරිස් මේ චිත්‍රපටයේ රඟපානවා. මේන්රෝල් එක කරන්නේ සාරංග දිසාසේකරයි, අනර්කලියි. සාරංග රඟපාන්නේ ‘මාලන්’ කියන පෙම්වතාගේ චරිතය. එතකොට අනර්කලී මේ චිත්‍රපටයේ ඔබ හමුවට එන්නේ ‘නටාෂා’ විදිහට. ඒ වගේම රොනී ලීච් ගේ දෙවැනි දුව කේෂියා ලීච්වත් මම සිනමාවට හඳුන්වා දෙනවා. ප්‍රවීන් ජයරත්න මේ චිත්‍රපටයේදී මට විශාල සහායක් ලබා දුන්නා. එක වහලක් යටදී ඔහු මට සංස්කරණ කටයුතු හා පිටපත් මුද්‍රණය කර දුන්නා. මෙහි කැමරා අධ්‍යක්ෂණය පුෂ්පකුමාර රාජගුරුගේ. සංගීත නිර්මාණය සොහාන් වීරසිංහ, නිෂ්පාදනය රෝයි – සුමනාගේම තමයි.

මේක ‘ආදරය’ පිළිබඳ ප්‍රශ්නයක්?

ඔව්, බොහොම සුන්දර ටී-නේජ් ආදර කතාවක්. වැඩිය පැහිච්ච නැති ආදරවන්තයෝ ඉන්නවානේ. මාලන්, නටාෂාත් ඒ වගේ. එහෙම ආදරවන්තයෝ පුංචි දේටත් තරහා වෙනවා. අයේ හොරෙන් බලනවා. දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරිව යනවා. අපිත් ඔය යුගය පහු කරලනේ ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ චිත්‍රපටයේ ඒ ඒ චරිත රඟපාන අයම තමයි ඊට දෙබස් කවා තිබෙන්නේත්. විජය නන්දසිරි රඟපාන්නේ ඩ්‍රයිවර් කෙනකුගේ චරිතයක්. ඔහු කතා කරන්නේ බ්‍රෝකන් ඉංග්‍රීසි. මම හිතන්නේ විජය රඟපෑ වෙනස්ම චරිතයක්. ඒක බොහොම සීරියස් චරිතයක්. ඒත් බලන අයට හිනා යනවා.

මේ නළු, නිළියන්ම යොදාගෙන ලස්සන සිංහල චිත්‍රපටයක් කරන්න තිබුණා නේද කියා යමෙකු ඔබෙන් ඇසුවොත්?

මේක මගේ ආසාවක් නේ. මේ අයම යොදාගෙන කරනවා නම් අදට සිංහල චිත්‍රපටවලට නුසුදුසු අයත් ඉන්නවා. ඒ නිසා සුදුසු අයට සුදුසු තැන දීලා තියෙනවා. ලොවින් එකෙක් එක දේකට නෙවෙයි ගොඩක් දේවලට වෙයි සමත කියලා මේ චිත්‍රපටයෙන් ඔවුන් පෙන්වලා තියෙනවා. දැන් සාරංග, අනර්කලී යුවළගේ රඟපෑම් අපට වෙනම ටැලන්ට් එකක් පෙන්නුවා. ඒ වගේම රෝසි, කොරීන් වැනි ඉංග්‍රීසි කතා කරන පැළැන්තියේ අය ඒ විදිහට ඔවුන්ගේ හැකියාවන් පෙන්නුවා.

දෙමළ භාෂිත සිනමා සංස්කෘතියක් අපේ රටේ තිබුණට එහෙම ඉංග්‍රීසි චිත්‍රපට හැදුණේ නැහැ?

ඔව්. ඒක ලොකු අඩුවක්. අපේ සිනමාකරුවන් ඒ ගැන මීට වඩා උනන්දු වුණා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණේ අමෙරිකාවේ හොලිවුඩ් විස්ටා සිනමා ශාලාවේ. විශාල පිරිසක් එය නරඹන්නට ඇවිත් සිටියා. ඔවුන් මේ චිත්‍රපටය ඉතාමත්ම අගය කළා.

ලංකාවේ අයට මේ තරම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ද කියලා අහපු අයත් හිටියා. සමහරු හිතාගෙන ඉඳලා තියෙන්නේ ලංකාව තවත් ඉතියෝපියාවක් කියලා. නමුත් ලංකාවේ මේ තරම් ලස්සන ගෙවල්, සුඛෝපභෝගී යාන, වාහන තියෙනවද කියලා ඔවුන් පුදුම වුණා. අපේ රටේ සුන්දර ස්ථාන, අධිවේගී මාර්ග, උස ගොඩනැගිලි මේ චිත්‍රපටයේ පෙන්වනවා. වේගයෙන් සංවර්ධනය වෙන ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වන්නත් මට මේ හරහා අවස්ථාව උදා වුණා.

සංචාරක ව්‍යාපාරයට පවා එය ලොකු රුකුලක්?

නිව්යෝර්ක්වල මේ චිත්‍රපටය පෙන්නපු වෙලාවෙත් ඒ ප්‍රතිචාරයම ලැබුණා. ගෝවේ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙත් පෙන්නුවා. ඒ හැම වෙලාවෙම ලැබුණේ ඉහළම ප්‍රතිචාර. රාජ් කපූර්ගේ වැඩිමහල් පුතා රන්ධීර් කපූර් එක්ක එකට අසුන්ගෙන මේ චිත්‍රපටය මම නැරැඹුවේ. එදා නිහතාමානී ආඩම්බරයක් මගේ හිතට දැනුණා.

අපේ සිනමාවට තිබෙන බරපතළ ගැටලුවක් තමයි ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නොමැතිකම. ඔබ කියන්නේ මෙවැනි චිත්‍රපට හරහා එකී අභියෝග ජය ගත හැකියි කියාද?

මම ඔප්පු කළා අපට එවැනි දෙයක් කරන්න පුළුවන් කියා. ඒත් ‘ජුරාසික් පාර්ක්’, ‘ටයිටැනික්’ වගේ දැවැන්ත නිර්මාණ කරන්න අපට ශක්තියක් නැහැ. මම වගේ පොඩි මිනිහෙකුට ඒ වගේ ලොකු වැඩකට අත ගහන්න කොහෙත්ම බෑ.

නමුත් මම කියන්නේ ඇති – හැකි අය අඩු තරමින් සුන්දර කතා වස්තූන් හදලා, අපේ රටේ සුන්දරත්වය වගේම අභිමානයත් ජාත්‍යන්තර අවධානයට යොමුකරන්න පියවර ගන්න කියලයි. මම සියලු දෙනානටම මේ මොහොතේ ඒ සඳහා ආරාධනා කරනවා. ඒක ලංකාවේ සිනමාවට කරන ලොකුª සේවයක්.

ඔබ අපේ සිනමාවට විශාල නළු - නිළි පිරිසක් හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයෙක්. එයත් මම හිතන්නේ වෙනම අගය කළ යුතු සේවාවක්?

මම හිතන්නේ මම තරම් නළු, නිළියෝ හඳුන්වා දීපු අධ්‍යක්ෂවරයෙක් නැතිව ඇති. ෆෙ‍්‍රඩී සිල්වා, සංගීතා වීරරත්න, සුරාජ් මාපා, ඉන්දික ගිණිගේ, නිල්මිණි තෙන්නකෝන්, අතුල අධිකාරි, ඉන්දිකා උපමාලි, මහින්ද පතිරගේ ඉන් කිහිප දෙනෙක්. මගේ සිනමා දිවියේ හුඟක්ම ආඩම්බර වෙන්නේ ගාමිණී ෆොන්සේකා එක්ක අයියයි, මල්ලියි විදිහට රඟපාන්න ලැබුණ එක.

ඒ ‘මිනිසුන් අතර මිනිසෙක්’ චිත්‍රපටයේ. ඒ වගේම ඔහුව අධ්‍යක්ෂණය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒකත් ලොකු භාග්‍යයක්. මට ලැබුණු ඉහළම සම්මානය තමයි වරක් ගාමිණී ‘සරසවිය’ පුවත්පතටම මා ගැන කර තිබූ ප්‍රකාශය. ‘අවස්ථාවට උචිත අන්දමින් දෙබස් උච්චාරණ කරන එකම නළුවා රෝයි ද සිල්වා විය හැකියි’ කියා එදා ඔහු පවසා තිබුණා. මම හොඳ අධ්‍යක්ෂවරයකුª බවත් එහි කියා තිබුණා. ඇත්තෙන්ම මා ඉතාමත් ලේසියෙන් අධ්‍යක්ෂණය කළ එකම නළුවාත් එතුමායි.

එහෙව් ඔබේ සිනමා දිවියට දැන් අවුරුදු පනහක්?

ඔව් . . . 1964 දෙසැම්බර් 24 වැනිදා තමයි මම රඟපෑ මුල්ම චිත්‍රපටය ‘සුජාගේ රහස’ තිරගත වුණේ. 1963 දෙසැම්බර් මාසේ තමයි එහි රූගත කිරීම් ආරම්භ කළේ. මම හිතන්නේ එදා ඉඳන් අඛණ්ඩව මම නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් හැටියටත් සිනමාවේ රැඳී ඉන්නවා.

මේ සුවිශේෂී මොහොතේ ඔබ වෙනුවෙන් කිසියම් උපහාර උළෙලක් හෝ එබඳු ඇගයීමක් සිදු වෙනවාද?

කවුද ඉතින් අපි වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නේ. මේ අවුරුදු පනහම මම කළේ අනුන්ට. මට කියලා කර ගත්ත දෙයක් නෑ. සුමනාත් මට කියන්නේ ‘කමක් නෑ රෝයි අපි එන හැටියට ජීවිතයට මුහුණ දෙමු’ කියලා. ඇගේ වචනම මගේ ජීවිතයට ලොකු ශක්තියක්. ඒ නිසා සියලු දේ දිහා මම බලන්නේ උපේක්ෂාවෙන් මිසක වෛරයෙන්, ක්‍රෝධයෙන් නෙවෙයි. කවුරු හරි මට උපහාරයක් පුදනවා නම්, ඇගයීමට ලක්කරනවා නම් කලාකරුවෙක් හැටියට මම ඊට කැමැතියි. නමුත් ඒ අසාව ඉටු කර ගැනීම මම ලබන ආත්මෙට කල් දානවා.