වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

අපේ සතුට

ස්වාධීන රූපවාහිනියේ සතියේ සෑම දිනකම දහවල් 1 ට හෝම් තියේටර් තුළින් එදා අප මෝහනයට පත් කළ පැරැණි සිංහල චිත්‍රපට විකාශය පිළිබඳ අපගේ බලවත් සතුට ප්‍රකාශ කරමි. ඉන් මා ලබන මානසික සුවය අපමණය.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ

සඳරුවන් සමරමු

කෙටි කතාව, තීරු ලිපි, සාහිත්‍ය පබැඳුම් ආදී නන් ඉසව් ඔස්සේ අපේ මවුබිමට මහ මෙහෙයක් කළ මහා සාහිත්‍යධර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සිහිපත් කිරීමකි මේ.
 

එස්. අලහකෝන්

මුල්ලේරියාව

අසාර්ථකයි

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන තරුමලී ටෙලි නාට්‍යයේ චරිත බොහෝමයක් බොලඳ චරිතය. රඟපෑමට නොහැකි නවක නිළියන් ඇතැම් චරිතවලට ගැනීමෙන් මුළු ටෙලි නාට්‍යම අසාර්ථක වේ.

ඩබ්ලිව්. ඒ. චන්දන

පිළියන්දල

අලුත් ගීත ඕනේ

රෝයි පීරිස් කලාකරුවා ගැන මේ දිනවල නැවතත් කතාබහට ලක් වී ඇත. ඒ ඔහු ගැයූ පැරැණි ගීත නිසාවෙනි. ‘මා දෑසෙ වේදනා’, ‘ඔබ ආදරේ මා කෙරේ නම්’, ‘අම්මේ යන්න එපා දුරු රටකට’, ‘පොඩි කාලේ මම පෑව සුරතල් සිනා’ වැනි ඉතාමත් අරුත්බර පදවැල්වලට ඔහුගේ මියරු ගී හඬ මුසු කරන ලදී. මෙම කාලයේ තරුණ පරපුර අතර ජනප්‍රිය ගායන ශිල්පීන් විසින් නැවත ගැයූ ‘මා දෑසෙ වේදනා’ අතිශය ජනප්‍රියය. ඒත් ඒවා ඔබේ හඬින් ඇසීමට අපි ප්‍රිය කරමු. රෝයි පීරිස් කලාකරුවාණෙනි පොඩි කාලයේ අප නිතර මිමිණූ ගීතවලට අමතරව තවත් අලුත් ගීත කිහිපයක් ඉදිරිපත් කරන්න.
 

අජිත් ලක්මාල්

මීගමුව

අයිතිය කාටද?

ගීතයක අයිතිය පද රචකයාට ද, ගායකයාට ද සංගීත අධ්‍යක්ෂවරයාට ද යන්න බොහෝ කලක පටන් ගීත කලාව තුල විවාදයට බඳුන්ව තිබෙන තවමත් විසඳාගත නෙහැකි පැටලිලි සහගත ප්‍රශ්නයක් වී ඇත. මට නම් සිතෙන දැනෙන අන්දමට ගායන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ගී පද රචකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක් හට කිසියම් මුදලක් ගෙවා ගීතයක් නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව ජනප්‍රිය වන එම පැරැණි ගීතය නවක රසික පරපුර අතරේ ජනප්‍රිය කළ යුතු යැයි කියමින් වරින්වර නවක ගායික ගායිකාවන්ට විකුණා මුදල් හම්බ කිරීමට ගී පද රචකයනට සහ සංගීත අධ්‍යක්ෂවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැත.

මෙම ව්‍යසනයට වැඩි වශයෙන්ම වගකිව යුතු වන්නේ ප්‍රවීණ ගීත රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් සුළු පිරිසක්. පැරැණි ගී නිර්මාණවල රසය පැරැණි තත්ත්වයෙන්ම තිබිය යුතුය. එවිටයි එම ගී නිර්මාණයන්ගේ වටිනාකම වැඩි වන්නේ. මානුෂිකව බලන කළ එසේ නොකිරීමෙන් මුල් ගායකයාට සිදු වන්නේ බලවත් අසාධාරණයකි. සිත්තැවුලකි. නවක ගායකයන් වැඩි දෙනෙක් ප්‍රවීණයන්ට නිසි ගරු සැලකිල්ලක් නොදක්වා පැරැණි ගීතම නිතරම ගායනා කිරීමට උනන්දුවීමෙන් පෙනී යන්නේ නව ගී නිර්මාණ කිරීමේ නොහැකියාව රසිකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. සානුකම්පිතව බලන කළ ගීතයක අයිතිය පද රචකයාටත් සංගීත අධ්‍යක්ෂවරයාටත් ගායකයාටත් සමසේ බෙදී යා යුතුයි. පාර්ලිමේන්තුව තුළ ද මේ පිළිබඳව පනතක් සම්මත වී ඇත්නම් වගකිවයුත්තන් ගීතයේ අයිතිය හා බැඳුණු ගැටළුව සාධාරණව විසඳා ගැනීමට උනන්දු නොවීම කනගාටුදායකය.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ.

අප අතරේම ඉපදේවා!

තවත් උදෑසනක හෙන්රි ජයසේනයන්ගේ ගෙදර ජනේලයෙන් පැන කුවේණි සමඟ අපට පුතේ මගක් නැතේ කියමින් මනරංජන වැඩ වර්ජනයක නිරත වූ හුණුවටයේ උපකාරයෙන් මයිකල් කුමරුට මව සොයා දුන් ශ්‍රේෂ්ඨ විනිසුරු අසඩක් ද වැල් පාලමේ ගීය ගයමින් ගිය ගෲෂා ද වේදිකාව ද අප ද අතැර ගොසිනි. බක්මස මැදදී අපට ඇසුණු ඒ අසුබ ආරංචිය ඒ ප්‍රේමණීය සොල්දාදුවා සයිමන් සාෂා අප හැර ගිය බවයි.

සැන්ටින් ගුණවර්ධන කලාකරුවාණෙනි ඔබ නැවත අප අතරම ඉපදේවා.
 

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

මෙහෙය අගෙයි

සෞඛ්‍ය මෙන්ම පාරිසරික ගැටලු මතු කරන අපේම අය පරිසරයට මුදා හරින පොලිතින්, රබර්, ප්ලාස්ටික් වැනි අප ද්‍රව්‍යයන්ගෙන් වන හානිය අපූරුවට පෙන්වා දෙන එසේම මිනිස්කමට නිගාදෙන නොමිනිස්කම් ගැන හොඳ කතන්දර කියා දෙමින් ‘අරුම පුදුම රෝද හතර’ වැඩසටහන කරන මෙහෙය ඉතාම වටිනවා.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

අපූරුයි

දැන් තිරගත වන ටෙලි නාට්‍ය අතර සුවිශේෂී කතා පුවතක් රැගත් ලස්සන නාට්‍යය කි රෝමියෝ දාන්තෙ. එහි කාංචනා මෙන්ඩිස් තමාට ලැබුණු චරිතය තමාගේම කර ගනිමින් රඟන අන්දම අපූරුය.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

හෙළ ගී අඹර මැද

මෙලෙස දිලුනයි සඳ

සඳ යන වචනය යොදා නිර්මාණය වූ අපේ ගී කිහිපයක මුල මෙසේ ලියා එව්වේ වයික්කාලේ ඈන් නිලන්ති ප්‍රදීපිකා.

සඳ තරු නිහඬයි – අමරදේව
සඳ හොරෙන් හොරෙන් – අමරදේව
සඳ කැන් වැසිලා - වික්ටර්
සඳ හිරු තරු පවතින තුරු - වික්ටර්
සඳ හිරු තරු මැද – වික්ටර්
සඳ මිදුලට එනවා - මර්වින්
සඳ දෙව්ලියගෙ විමනේ – මිල්ටන් මල්ලවආරච්චි
සඳ නැගෙන්නා - මිල්ටන්
සඳයි තරුයි අහසෙ පායලා - මිල්ටන්
සඳෙන් එහා - මිල්ටන්
සඳ තනි වෙලා - මිල්ටන් – ඇන්ජලින්
සඳ මෝදු වෙලා - ජෝති
සඳ ගිලුනත් – ක්ලැරන්ස්
සඳක් බැස ගියා - ක්ලැරන්ස්
සඳපානෙ ගමන් යන්න – ක්ලැරන්ස්
සඳ එක් දිනක් – ක්ලැරන්ස්
සඳ මා හා - දයාරත්න රණතුංග
සඳක් සදිසි ළඳක් - දයාරත්න / අමරා
සඳ කැළුම් ගලන – මල්කාන්ති
සඳේ එන්නම් – රූපා
සඳ තාරකා හඬාවි – ප්‍රියා
සඳ මා ගාවයි – ප්‍රියා
සඳ තාරකා නිවා - ලලිත්
සඳට මුවා වී – ලලිත්
සඳයි තරුයි නිසංසලේ – සෝමසිරි
සඳේ ඔබ – රූකාන්ත
සඳපාන වාගේ – රූකාන්ත
සඳට සැහැසිකම් – චන්ද්‍රසේන
සඳලතා - කීර්ති
සඳ කුමාරියක් - ප්‍රින්ස්
සඳ කිඳුරි කිඳුරියන් – අනුර
සඳමඬලේ සිට – මාලිනී
සඳ මුවා වෙලා - සංගීත්
සඳක් නම් – රොහාන් ශාන්ත
සඳට දැනෙනවද – නාමල්
සඳ නාවත්- අසංක
සඳ පානක්සේ ඇවිදින් - අතුල / සමිතා
සඳ තරු මල් - අතුල / සමිතා
සඳ දිය උතුරා - නිරෝෂා
සඳ සාක්කි කියාපුදෙන් – නිරෝෂා
සඳ නිවාඩු ගිහින් – නිරෝෂා
සඳරාජිනී – නිරෝෂා
සඳ මිරිඟු ගඟේ වැටිලා - නිරෝෂා
සඳ සිසිලේ මේ රෑ – නිරෝෂා
සඳට ආදරෙයි කියලා - චන්දන
සඳ රෑට රෑට - ශෂිකා
සඳේ සිසිල – මංජුලා
සඳට පමණක් - ඉන්ද්‍රජිත්
සඳ වැනි රුවයි - රොෂාන්

ඔබේ අදහස් අදහස්වලට සැමදා ගරු කරන ‘සරසවිය’ පුවත්පතේ ඒ සිතැඟි දිග හැරෙන තීරයයි මේ.0752805047 යන අංකයට ක්ෂණිකව කෙටි පණිවුඩයක් අයුරින් ඒ සිතුවිලි එවිය හැකිය.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

මේ ලිපිනය සාම්ප්‍රදායිකව ඔබ එවන තැපැල් හා සටහන්පත් වෙනුවෙනි.

ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට. නැතිනම් ලියන්න

මේ ලිපිනයට,
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10.


මේ SMS ප්‍රතිචාර තීරයයි

ස්ටාර්ස්ලා තේරීමේ තරග ඉස්සර තරම් සාර්ථක නැහැ කියලා හිතෙනවා. එයාලා ස්ටාර්ලා වුණත් පරණ සිංදු ටික විනාශ කරන එක තමයි කරන්නේ. ඒවාට යන වියදම සහ කාලය එකතු කොට මෙරට කලාව වනුවෙන් කැපවුණ කලාකරුවන් තිදෙනෙකුටවත් උපහාර උළෙලක් පවත්වනවා නම් කොතරම් අගෙයිද.
 

කසුන්

කුරුණෑගල

සත්‍යා ටෙලි නාට්‍යයේ ඇක්ට් කරන අකිල සංජීවට ආර්ට් ලයිෆ් එකේ දිගු ගමනක් යන්න ලැබේවා.
 

වර්ෂා

නුවර

උදයාකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට II සිනමා සිතුවම තිරගත කරන තුරු අප නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.
 

අකිල සඳරුවන්

නිට්ටඹුව

සඳා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයන අජිත් ප්‍රේමලාල් දිනෙක විශිෂ්ට ගායකයකු වනු නොඅනුමානයි.
 

හර්ෂ

නිකවැරටිය

දෙරන සිටි ඔෆ් ඩාන්ස් හි සුරාජ් මාපාගේ නර්ථනය හරිම ආකර්ෂණීයයි.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

ලංකාවේ සැවොම ඔබට තුති පුදයි. ඒ ඔබේ රංගනය බලා ලේ පිරිසුදු කරගත් හෙයිනි. ටෙනිසන් කුරේ රංගන ශිල්පියා තමයි අපේ විකට රජු.
 

ගුණසේකර

නුවර

ප්‍රියා සූරියසේන ශිල්පියා වෙත,

මෑතකදී ඔබේ පුතු ඔබේ ගීත ගයනු අප දුටුවා.

ඔබ වගේම ඔහුත් ගැයුවා. නමුත් ඔබේ ගීත පුතුට රීමික්ස් කරන්න දෙන්න එපා. ඒවා පැරැණි විදිහටම තියෙන්න හරින්න.
 

ජීව්නාත්

නුවර

සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගී නිර්මාණය කොට ගැයූ ඇන්ටන් ජෝන්ස් කලාකරුවාණෙනි ඔබට නීරෝගී සුව පතමි.
 

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

සුපිරි තරු හරහා බිහි වූ බුද්ධික උෂාන් සුපිරිතම තරුවකි තවම.
 

චාමර මනෝජ්

හලාවත

සංගීත අඹරේ දිදුලන තරු දෙකක් වු අතුල - සමිතා කලාව තුළ එකට නිර්මාණ කිරීම අගයමි. ඔබලාගේ නවතම ගීත ඉතාම මිහිරියි.
 

සිත්මි

ගාල්ල

අභීත දියණි අපට නැතුවම බැරි ටෙලි සිතුවමකි.
 

මල්ෂානි

නිවිතිගල

ධනංජය සිරිවර්ධනට
අපේක්ෂා ටෙලි සිතුවමේ සුධාර ලෙස රඟන ඔබ කඩවසම් බවින් අනූනය.
 

නිලූකා

කුඩගම

වසර හතළිහක් සිනමාවේ දක්ෂ සටන් නළුවකුව සිටි සිසිර කුමාරතුංගට නිසි ඇගයීමක් නොකිරීම බෙහෙවින් කණාගාටුදායකය.
 

සෙව්වන්දි

නුගේගොඩ

පසුගියදා පැවැත් වූ ‘විජය ඔබ’ උපහාර උළෙලේදී සහන් විජේසිංහ, බිමල්, උද්ධික, සාරංග ඉතාම සංයමයකින් විජය ගී ගැයීම අනර්ඝයි.
 

කමලා

නාවල