වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් අලුත් නිර්මාණකරුවන්ට තැනක් දිය යුතුයි

දැන් අලුත් නිර්මාණකරුවන්ට තැනක් දිය යුතුයි

කාන් චිත්‍රපට උළෙල නියෝජනය කරන කාලිංග දේශප්‍රිය සමඟ කතාබහක්

කාලිංග දේශප්‍රිය විතානගේ තෙවැනි ඇසින් සුන්දර දසුන් මවන තරුණ නිර්මාණ ශිල්පිියෙක්. ඒ වගේම තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අර්ථවත් නිර්මාණ දැයට දායාද කරන දක්ෂ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.

මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරු විසින් නිර්මාණය කළ විශිෂ්ට නිර්මාණ රැසකටම සිය අනගි සහාය ලබා දුන් ඔහු අද වන විට සම්මානනීය මාවතකට පිවිස අවසන්. ඒ ඔහු නිර්මාණය කළ ‘මෙහි කවියක් නොමැත’ හෙවත් There is no poetry Here නම් කෙටි චිත්‍රපටය සමඟිනුයි. එය මේ දිනවල පැවැත්වෙන කාන් සිනමා උළෙල නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකේය අභිමානය සමඟිනි. මේ එම නිර්මාණ ශිල්පියා කාලිංග දේශප්‍රිය සමඟ කළ කතාබහක්.

කාලිංග ‘මෙහි කවියක් නොමැත’ සමඟින්ම මේ කතාබහ අරඹමු?

‘මෙහි කවියක් නොමැත’ කෙටි චිත්‍රපටය මගේ දෙවැනි කෙටි චිත්‍රපට නිර්මාණයයි. කණ්ඩායම් සංකල්පය නොමැති අවස්ථාවක අරමුණු බිඳ වැටීම ගැන තමයි මෙයින් කියවෙන්නේ. ඇත්තටම මේ නිර්මාණයන් අපි කණ්ඩායම් හැඟීමකින් සාමුහිකව කළ නිර්මාණයක්. ඒ නිසා තමයි මේ දක්වා සාර්ථක ගමනක් එන්න පුළුවන් වුණේ. මෙහි කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, රංගනය සුදන්ත මාධව, සංස්කරණය සමන් සුජීව, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංගීතය චින්තක සහ නිෂ්පාදනය චාමිනි විමලසේන විසින් තමයි සිදු කෙරුණේ.

ඔබේ මේ නිර්මාණය ලොව දැවැන්තම සිනමා උළෙලක් නියෝජනය කරනවා. ඒ ගැන සඳහන් කළොත්?

මෙවර කාන් චිත්‍රපට උළෙලේ කෙටි චිත්‍රපට අංශය තමයි නියෝජනගය කරන්නේ. අන්තර්ජාලය හරහා තමයි මට මේ අවස්ථාව උදා වුණේ. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි ප්‍රවීණයන්ගෙන් මට ගොඩාක් උදව් ලැබුණ. ඒ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.

මෙවැනි ගමනකට අඩිතාලම වැටුණ ආකාරය සිහිපත් කළොත්?

කලා අධ්‍යක්ෂවරයකු වන රොහාන් සමරදිවාකර යටතේ තමයි මුලින්ම කටයුතු කළේ. ඔහුගෙන් ක්ෂේත්‍රය පිළිබඳ හොඳ දැනුමක් ලැබුණා. ඊට පසු චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම යටතේ සහාය කලා අධ්‍යක්ෂ විදියට ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයට දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබුණා. ‘සුළං කිරිල්ලී’, ‘සුළඟ එනු පිණිස’, ‘මේ මගේ සඳයි’, ‘තනි තටුවෙන් පියාඹන්න’, ‘අක්ෂරය’ යන සිනමා නිර්මාණ සඳහා සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතුª කළා. ඒ තුළින් මේ පිළිබඳ දැනුම් සම්භාරයක් ලබා ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතරතුර වාර්තා, චිත්‍රපට, මිතුරන් සමඟ එක්ව කෙටි චිත්‍රපට වැනි දේත් නිර්මාණය කළා.

මේ අතරතුර ඔබ විදේශ අධ්‍යාපනයත් ලබනවා?

ඔව්. 2005 වසරේදී ඒෂියන් ෆිල්ම් ඇකඩමියට යන්න අවස්ථාව ලැබුණා. එහි වැඩමුළුවකදී සිනේ ෆොටො ග්‍රැෆි පිළිබඳ පාඨමාලාවකට ශිෂ්‍යත්වයක් ලැබුණ. ඒ කොරියානු රජය විසින් කොරියානු ෆිල්ම් ඇකඩමිය හරහා පවත්වනු ලැබූ පාඨමාලාවකට. අවුරුදු තුනක් මම එහි අධ්‍යාපනය ලැබුවා.

මගේ දක්ෂතා දැකලා කොරියානු චිත්‍රපට සමාගමකින් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. එහිදී මට ලෝක ප්‍රසිද්ධ සිනමා නිර්මාණකරුවන්, කැමරා ශිල්පීන් හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ලංකාවට පැමිණි පසු බෙනට් රත්නායක මහතාගේ ආරාධනාවකට අනුව ඔහුගේ ‘ඉර හඳ යට’ චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස දායකත්වය ලබාදෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ලංකාවේ සුප්‍රසිද්ධ ආයතන රැසක දැන්වීම් නිර්මාණකරණ කටයුතු සඳහා තමයි වැඩි දායකත්වය ලබා දුන්නේ.

මෙවැනි ක්ෂේත්‍රයකට පැමිණෙන්න ඔබට විශේෂ හේතුවක් වගේම ඒ අතර කෙටි චිත්‍රපටය ඔබට විශේෂ වෙනවාද?

කලා ක්ෂේත්‍රය ගැන ලොකු ආසාවක් තිබුණා. චන්න දේශපි‍්‍රය, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, සුරේන්ද්‍ර සිල්වා, එම්. ඩී. මහින්දපාල, විමුක්ති ජයසුන්දර වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට මා දැඩි ලෙස ආකර්ෂණය වුණා. එම නිර්මාණවලට තිබූ ආසාව තමයි මෙයට මූලිකම පසුබිම නිර්මාණය කළේ. කෙටි චිත්‍රපට, වෘතාන්ත චිත්‍රපට කියලා විශේෂ වෙනසක් නැහැ. කැමරා ශිල්පියෙක් ලෙස තමයි මම හැම දේම දකින්නේ.

වෙළෙද දැන්විම්, කෙටි චිත්‍රපට, වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට යන මේ හතරම හතර විදියට පරිහරණය කරන්න හැකියාව තියෙනවා. ඒ හතරේම දක්ෂ ආකාරයෙන් ගැවසෙන්න පුළුවන් නම් එය තමයි සාර්ථකත්වය වෙන්නේ. එහිදී කෙටි චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නේ එය හරිම නිදහස් නිර්මාණයක් වීමයි. කිසිවකුගෙන් බලපෑමක් නොමැතිව අපිට නිර්මාණ එළිදක්වන්න අවස්ථාව තියෙනවා. කණ්ඩායම් හැඟීම තමයි එහිදී විශේෂ වෙන්නේ. එහෙම වුණොත් නිර්මාණය සාර්ථක වෙනවා.

විදේශයකදී ලද දැනුම මෙරටදී නිර්මාණකරණයට යොදා ගත් ආකාරය ගැන සඳහන් කළොත්?

මේ ආකාරයේ පහසුකම් අනුව කටයුතු කරන්න කියලා එහිදී අපට කියලා දුන්නේ නැහැ. අදහස් සහ තමන් ඒවා හසුරවන්නේ කොහොමද කියල තමයි අපට එහිදී අවබෝධය ලබා දෙන්නේ. මට දැනෙන විදියට සහ මම කටයුතුª කළ ආකාරයට ලංකාව තුළ පහසුකම් නැහැ කියන්න බැහැ. නිර්මාණකරණයට පහසුකම් ලංකාව තුළ තියෙනවා. සාමුහිකත්වය සහ නිර්මාණ නිසි අගැයීමකට ලක් නොකිරීම තමයි මෙහි තියෙන මූලික අඩුපාඩුකම් වෙන්නේ.

නිර්මාණකරණයේදී අපේ රටේ තාක්ෂණය ගැන ඔබේ අදහස?

දැන් ගොඩක් දියුණු නවීන තාක්ෂණය මෙරටත් තියෙනවා. ඒ පිළිබඳ දැනුම්වත් වෙන්න සඟරා, සම්මාන උළෙල එහෙමත් පැවැත්වෙනවා. ඒ වගේම නව නිර්මාණ ශිල්පීන් රැසක් බිහි වෙලා ඉන්නවා. තමන්ට රිසි පරිදි ස්ව නිර්මාණ කරන්න අද අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳ සඳහන් කිරීමේදී නව අදහස් අඩංගුª නිර්මාණ රැසක් අද අපට දකින්න ලැබෙනවා. දැන් මියුසික් වීඩියෝ පවා කෙටි චිත්‍රපට ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ හැම දේටම මූලික වෙන්නේ තාක්ෂණයයි. එසේ නොමැති නම් මෙවැනි නිර්මාණ බිහි නොවේවි.

තරුණ නිර්මාණකරුවකු ලෙස මෙරට සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ අදහස දැනගන්න කැමැතියි?

අද වන විට ක්ෂේත්‍රයට දක්ෂ තරුණ නිර්මාණකරුවන් රැසක් එක් වෙමින් සිටිනවා. ඔවුන්ට තැනක් ලබාදීමයි සිදු විය යුත්තේ. නවීන තාක්ෂණය වගේම හොඳ නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා.

කාලිංග ඔබේ ඉදිරි ගමන ගැනත් කෙටි සටහනක් තබමු?

මම දිගටම කැමරා ශිල්පියෙක් විදියට තමයි යන්න බලාපොරොත්තුª වෙන්නේ. නවකයන් සමඟ දැනුම බෙදා හදා ගනිමින් ඉදිරියට යන්න සූදානම්. මේ කෙටි චිත්‍රපටය වුණත් මම නිර්මාණය කළේ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියන අදහසකින් නොවෙයි. අද කාලයේ ගොඩක් අය කරන්නේ එහෙමනේ. මෙහිදී මම මට දැනෙන දේ තමයි නිර්මාණය කළේ. ඉදිරියේදීත් එවැනි නිර්මාණ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.