වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දම්සාරි - ෂෙල්ටන්

දම්සාරි - ෂෙල්ටන්
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම – මහල්ලා

ජයරත්න ගලගෙදර හමුවෙමු

කඩුවෙල දැඩිගමුව නම් සුන්දර අව්‍යාජ ග්‍රාමයේ උපන් අපේ කථා නායකයා කුඩා කළ සිටම සිහින දුටුවේ නාට්‍යකරුවකු වීමටය. එහෙයින්ම ඔහු තරුණ වියට පිය නඟත්ම ග්‍රාමීය මට්ටමින් නාට්‍ය සඳහා දායක වූයේය. හිත මත කැකෑරෙන පෙරැත්තය නිසාම දිවා රෑ නොතකා කලාව වෙනුවෙන්ම කැප වූ මේ සෞන්දර්යාත්මක හිත දෙවැනි අදියරෙන් නතර වෙන්නේ මරදානේ කාර්මික විද්‍යාලය අසලය. කාර්මික විද්‍යාලයේ වානිජවේදී ඩිප්ලෝමාව හදාරන අතරතුර ද අපේ කථා නායකයා කලා කටයුතු අත් නොහැරියේය. මේ කාලය තුළ තමා විසින්ම නාට්‍ය අධ්‍යක්ෂණය කළ හෙතෙම වේදිකාව තමාගේ කලා තක්සලාව බවට පත් කර ගත්තේය.

මෙලෙස කලක් ගෙවී ගියේය. කලාව වෙනුවෙන්ම උනන්දු වූ මේ තරුණයා කාර්මික විද්‍යාලය තුළ කැපි පෙනෙන තරුවක් බවට පත් වූයේය. ඔහු නිර්මාණය කළ නාට්‍ය ක්‍රමයෙන් ජයග්‍රහණ කරා පැමිණියේය. සුගතපාල ද සිල්වා මහතාගේ පවා අගැයුමට ලක් වූ මේ නාට්‍යකරුවා තමාගේ තෙවැනි ගමන අරඹන්නේ මේ කාලයේදීය.

ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන අපේ කතාවේ නායකයාට එතැන පැවරෙන්නේ කලාවට සබැඳී කටයුතුª කිහිපයකි. ඒ නිසාම වෘත්තීය ජීවිතය කොට ගනිමින් සුබ ගමනක් අරඹන ඔහුට තමා ආදරය, ගෞරවය කළ කලාකරුවන් මුණ ගැහෙන්නේ මේ කාලයේදීය.

කුඩා කාලයේ සිට ඔප් නංවාගත් දැනුම, කැපවීම ප්‍රයෝජනයට ගත් අපේ කතාවේ නායකයා තමාගේ ගමන නිශ්චිතවම අරඹන්නේ මේ කාලයේදීය.

දැන් ඔහු අපේ රටේ ජනප්‍රිය තරුවකි.

සුප්‍රසිද්ධ පරිපාලන නිලධාරියෙකි.

ජයරත්න ගලගෙදර . . .

මෑත කාලයේ ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ මහල්ලාගේ චරිතය මවමින් ප්‍රතිභාව විදහා දැක් වූ ඔහු ඊට හාත්පස වෙනස් ෂෙල්ටන්ව අප හමුවන්නේ දම්සාරි හරහාය. මාන දෙකකට විහිදෙන මේ චරිත ද්විත්වයම අපේ ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ ආදරයෙනි.

‘ඇත්තටම මහල්ලා ගේ චරිතය මට ජීවිතයේ ලැබුණු හොඳම චරිතයක්. මේ චරිතය හරහා මට චරිතාංග රංගනයට යොමුවන්නට හැකියාව ලැබුණා. ඒ චරිතයට විශාල කැපවීමක් ද කළා. චිත්‍රපටයේ චරිතය දිවෙන්නේ කෙටි කාලයයි. නමුත් මේ සඳහා මම විශාල කැප කිරීමක් කළා. කෙසේ වෙතත් මට කුමන චරිතය ලැබුණත් මා එය හොඳින් අධ්‍යයනය කරනවා. මේ චරිතයත් එසේමයි. මහල්ලාගේ චරිතය රඟපෑම සඳහා මා ජෝ අබේවික්‍රමයන් පුරහඳ කළුවර චිත්‍රපටයේ කළ රංගනය හැදෑරුවා. ඒ වගේ චරිතයකට මම ඉතා කැමැත්තක් දක්වනවා.

ඔහු පවසන්නේ හැඟීම්බර සතුටකිනි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වැනි චිත්‍රපටයක රඟපෑමට ලැබීම භාග්‍යක් ලෙස ඔහු පවසයි. මහල්ලාගේ චරිතයට හාත්පස වෙනස් ශෙල්ටන් ගැන ද කතා කළ යුතුමය. මේ දිනවල ෂෙල්ටන් මුදලාලි අප කා අතරත් අතිශයින් ජනප්‍රිය චරිතයක්.

ෂෙල්ටන් කියන්නේ සුදු හා කළු මිශ්‍ර චරිතයකි. ඒ චරිතය මේ දිනවල අතිශය ජනප්‍රියයි. මගේ අධ්‍යයනය තුළ මට ඕනෑම චරිතයකට අනුගත වෙන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා ෂෙල්ටන් වැනි චරිත මං සැබෑ ජීවිතයේ හදාරා තිබෙනවා. ඒ නිසාම ඒ චරිතයට අනුගතවීමට මට හැකියාව තිබෙනවා. සුදු සහ කළු මිශ්‍ර චරිතයක් මට අභියෝගයක්. ඒ නිසාම ඒ වෙනුවෙන් කැප වෙන්නේ හරිම උනන්දුවෙන්.

ජයරත්න ගලගෙදර මේ වනවිට ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාය. එබැවින් හෙතෙම අතිශය කාර්යබහුල චරිතයකි. කාර්යබහුලත්වය රංගනයට බාධාවකි. ඒ ගැන ද කතා කිරීම වටියි.

‘මම රඟපාන්න යන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණයි. රාජකාරිය වෙනුවෙන් මා ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ නිසාම රැකියාව මට තෘප්තියක්. කාලය කළමනාකරණය කර ගනිමින් හැකි පරිදි කලා කටයුතුවල යෙදෙනවා. ඒ සඳහා මට අවස්ථාව ලබාදෙන අසංග එදිරිසිංහ මහතාවත් ඊ. ඒ. පී සමාගමේ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සියලුම දෙනාත් මතක් කරන්නේ හද බැතියෙන්.

සමනල සංද්වනිය, කෝ මාර්ක් නෝ මාර්ක්, කොස්තාපල් පුඤ්ඤාසෝම, රූපාන්තරණ, ස්පන්ධන වැනි චිත්‍රපට හරහා ඉදිරියේදී අපට සමීප වීමට නියමිත ගලගෙදර, සිහින පුරය, කප්සුවහස්කල්, මිස්ටර් බීන්, ඉසුරු විමන වැනි ටෙලි සිතුවම් හරහා මැවූ චරිත දැනුදු අපට මැවෙයි.

රංගන ශිල්පියකුට අමතරව අපේ කතාවේ නායකකයා හොඳ හඬ කැවීමේ ශිල්පියකු බව දන්නේ සුළුතරයකි. ස්වර්ණවාහිනි ආයතනයේ හඬකැවීම් සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන ගලගෙදර, පෙන්ගුවින් ඔෆ් මැඩගස්කර් කාටුනයේ කොලා සහ රිකෝ චරිත ද්විත්වයට හඬ පණ දෙන්නේ ද හරි අපූරුවටය.

ඇත්තෙන්ම කොලා සහ රිකෝ පොඩිත්තන් අතර අතිශය ජනප්‍රියය. ඒ හඬ අසමින් කුඩා දරුවන් සැනසෙන වාරයක් පාසා මගේ හිතට දැනෙන්නේ සතුටකි. කුඩා කාලයේ ඉඳලම හඬ කැවීමට, හඬවල් වෙනස් කරමින් කතා කිරීමට මං කැමැතියි. ඒ නිසාම හඬ කැවීමට යොමු වුණා. ඉදිරියේදී ඇවටර්, කුම්ෆු පැන්ඩා හරහා මගේ හඬ හමුවේවි. ඒ වගේම කණාමැදිරි රාත්‍රියේත් මං හඬ කවනවා. ඒ හඬ ඇසෙන විට හිතට දැනන්නේ හරිම තෘප්තියක්.

ඔහු තරමක් හැඟුම්බර වූ සෙයකි. සැබෑවටම ඔහු හොඳ හිතවත් සහෘදයෙකි. ඉදිරිය ගැන ද කතා කළ යුතුමය.

ඉදිරියේදී නිර්මාණ බොහොමයකට කතා කරල තියෙනවා. නමුත් කාලය පිළිබඳ ගැටලුව තියෙනවා. ඉදිරියේදී හොඳ චරිත කිහිපයක් හරහා ප්‍රේක්ෂකයා හමුවන්නට හිතාගෙන ඉන්නවා.

ජයරත්න ගලගෙදර.

ඔබත් හඳුනන, රටත් හඳුනන චරිතයක්.

[email protected]  විද්‍යුත් ලිපිිනයෙන් හෝ 0773200220 දුරකථන අංකයෙන් ඔබට ඔහු හමු විය හැකියි.