වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අක්ෂේට හවුලට බොන්ඩ්

අක්ෂේට හවුලට බොන්ඩ්

ජේම්ස් බොන්ඩ් සිනමාපටවලට බොලිවුඩ් රසිකයන්ගේ ඇත්තේ නොමඳ කැමැත්තකි. බොන්ඩ් රසිකයකු වන අක්ෂේ සිය මනාපය තමන්ගේම සිනමාපටයක සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.

‘තුපාකි’ (2012) නම් දමිළ සිනමාපටය ඇසුරින් ‘පිස්ටල්’ නමින් ප්‍රතිනිර්මාණය කෙරෙන සිනමාපටයේ සටන් අධ්‍යක්ෂණයට අක්ෂේ තෝරා ගෙන ඇත්තේ අලුත්ම බොන්ඩ් සිනමාපටය වූ ස්කයිෆෝල් හි සටන් අධ්‍යක්ෂවරයා වන ග්‍රේග් පවල්ය. මේ ග්‍රේග්ගේ පළමු බොලිවුඩ් අත්දැකීමයි. පවල් බොලිවුඩයේ සහයෝගිත්වය අගය කරන්නෙකි. විශේෂයෙන්ම අක්ෂේගේ ක්‍රියාදාම හැකියාව ඔහු මවිතයට පත්කර තිබේ.

ඔහු හැම්ලට් වෙයි

ෂේක්ස්පියර්ගේ හැම්ලට් චරිතය බොලිවුඩ් තිරයේ ජීවමාන කිරීමට තිමාංෂු ධූලියා තෝරා ගෙන ඇත්තේ ඊට ගැළපෙනම කෙනායි. ඔහු අන් කිසිවකු නොව ග්‍රීක ප්‍රතිමාවක් හා සමාන රුවක් හිමි රිතික් රොෂාන්ය. උතුරු ඉන්දියාවේදී රූගත කෙරෙන මේ සිනමාපටය, මූලික කතා තේමාවට හානියක් නොකර, ඉන්දියානු මුහුණුවරකින් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන්නේය.

රිතික් මේ වන විටත් හැම්ලට් කුමරුන් වීමේ අභියෝගය භාරගෙන අවසන්ය. ඔහුගේ ‘බෑන්ග් බෑන්ග්’, ‘ශුද්ධි’, ‘ක්‍රිෂ් 3’ සිනමාපටවල රූගත කිරීම් නිම වී තිබේ. හැම්ලට් ලබන වසර මැද දී රූගත කිරීමට බලාපොරොත්තු වේ.

රිතික්, හැම්ලට් කුමරුට පණ දීමට සුදුසුම තරුව බව අධ්‍යක්ෂවරු වටහා ගෙන ඇත්තේ අදක ඊයෙක සිට නොවෙයි. අනූව දශකයේ අග භාගයේ හොලිවුඩයේ ‘ඒ’ කාණ්ඩයේ අධ්‍යක්ෂවරයකු වූ තසීම් සිං හා නිෂ්පාදකවරයකු වූ ජේම්ස් කිලොව් නිව්යෝර්ක් නුවර දී රිතික් හැම්ලට් කුමරු ලෙස වෙස් ගන්වා ඡායාරූප එකතුවක් ගෙන තිබේ. ‘මේ තමයි ඉන්දියාවේ හැම්ලට් කුමරු’ කිලොව් ඒ අවස්ථාවේදී පවසා ඇත.

රිතික්ගේ රුව හා රංගන හැකියාව සේම ධූලියාගේ අධ්‍යක්ෂණය ද රන්රස සේ එකට පෑහී අමරණීය ශෝඛාන්තයක් තිරයට නැගෙනු නම් නොඅනුමානය. ධූලියා ‘හාන් සිං තෝමාර්’, ‘සහීබ් බිවී’, ‘ගැන්ග්ස්ටර්’ ජනප්‍රිය සිනමාපටවල අධ්‍යක්ෂවරයාය. රිතික්, බොලිවුඩයේ ග්‍රීක රජ කුමරුයි. මේ සුසංයෝගයෙන් රසිකයන්ට නොබලාම බැරි නිර්මාණයක් බිහිවනු ඒකාන්තය.

රිතික්ගේ රුව ගැන ප්‍රේක්ෂක ජනතාව සේම ඔහු ද උමතුª වී සිටියි. තිස් නව හැවිරිදි රිතික් මෑතක දී පැවති කායවර්ධන පොතක් දොරට වැඩීමකදී කියා සිටියේ ‘මට හිතෙන්නෙ බොලිවුඩයේ හොඳම සිරුර තියෙන්නෙ මටයි’ කියායි. ‘ක්‍රිෂ් 3’ සිනමාපටයේ රඟපෑමට පෙර ඔහු අන්තර් ජාතික කායවර්ධන පුහුණුකරුවකු වූ ක්‍රිස් ගෙතීන්ට කියා පුහුණු වී තිබේ. ඒ සඳහා රිතික් ඔහුට රුපියල් ලක්ෂ 20 ක් ගෙවූ බවට කට කතාවක් ද පවතී.

‘ක්‍රිෂ් 3’ සුපිරි ක්‍රියාදාම සිනමාපටයක්. සිනමාපටයේ ඇත්තටම හොඳ ක්‍රියාදාම ජවනිකා තිබුණා. උස ගොඩනැගිල්ලෙන් පනින දර්ශනයට මං හරි කැමැතියි’ ඔහු පවසන්නේය. රිතික් මෙහි ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදෙන බව සිනමාපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම රිතික්ගේ පියා වූ රාකේෂ් රොෂාන් පවසා තිබුණි.

‘ක්‍රිෂ් 3’ සඳහා අපරිමිත කැපවීම් කළ නිසා නොවැම්බර් 1 වැනි දින එය තිරගත වෙන තුරු රිතික් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.

මේ මගේ අවුරුද්දයි

‘මේ අවුරුද්ද මගේ අවුරුද්ද වේවා!’ යන්න නව වසර උදාවෙද්දී සෑම තරුවකගේම, තාරකාවකගේම ප්‍රාර්ථනය බවට පත්වෙයි. ඒ ඉන් තමන්ගේ ස්ථාවරත්වය ද තහවුරු වෙන නිසයි.

වසර උදා වී හය මසක්වත් ගත නොවුණ ද එක් තාරකාවක් නම් මේ වන විට 2013 තමන්ගේ වසර කරගෙන අවසානය. ඇය දීපිකා පදුකෝන්ය.

මුලින්ම ඇය ගැන පුවත් මැවුණේ ‘රේස් 2’ සාර්ථක වීම නිසයි. දැන් ඇය ගැන ‘යේ ජවානි හෛ දීවානි’ සිනමා රංගනය ගැන වාගේම හිටපු පෙම්වතා, දන් හොඳම මිතුරකු වන රන්බීර් කපූර් නිසා ද පුවත් මැවෙන්නේය.

මේ අතරේ ෆිල්ම්ෆෙයාර් සඟරාව ඇය බොලිවුඩයේ විලාසිතා තාරකාවන් අතර අංක එකේ තාරකාව ලෙස නම් කර ඇත. ඒ නිකම්ම නොවේ. දීපිකාගේ විලාසිතා කලක් තිරය බැබළ වූ සීනත් ආමන්ගේ සහ රේඛාගේ විලාසිතා හා සසඳමිනි.

දීපිකා පදුකෝන් මේ ගත කරන්නේ හුස්ම ගැනීමටවත් විවේකයක් නැති කාලයකි. ‘චෙනායි එක්ස්ප්‍රස්’ රූගත කිරීමට සහභාගි වෙමින් සිටින අතරේ ඇය ‘යේ ජවානී හෛයි දීවානි’ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල යෙදෙන්නීය. ඒ අතරේ ධ් ර්‍ථ ඹ් තරඟ නැරැඹීමට ද යන්නීය.

වසරේ බලාපොරොත්තු තැබිය හැකි සිනමාපට ගණනකම ඇය ප්‍රධාන තාරකාව වන අතර මෑතකදී ටයිම් සඟරාව මඟින් කළ ඡන්ද විමසීමකදී 2012 වසරේ වඩාත්ම බලාපොරොත්තු තැබීමට හැකි වූ තාරකාව ලෙසින් නම් කෙරුණේ ද දීපිකාය.

දවසේ සෑම මිනිත්තුවකම කාර්යබහුල වී සිටින ඇය 2013 සිය ආධිපත්‍යයට ගෙන අවසන්ය. මාධ්‍ය මේ සියල්ල වාර්තා කරන්නේ කෙතරම් ඉහළ ගියත් පහළ බැස නොමැති නිහතමානීකම ගැන ද පැසසුම් දෙමිනි.