වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු සිරිය සමඟින් තිලක් ද මෙල් යළි ගායනයට

අවුරුදු සිරිය සමඟින් තිලක් ද මෙල් යළි ගායනයට

අලුත් අවුරුදු උදාවත් සමඟ නැවුම් අවුරුදු ගීතයක් සිය රසික රසිකාවන්ට තිළිණ කරමින් හර්මිං බර්ඩ්ස් ගායක කණ්ඩායමේ ගායන ශිල්පී තිලක් ද මෙල් නැවතත් ගායන ක්ෂේත්‍රයට පිවිස සිටියි.

‘වාරම් කියාලා ඔංචිලි පැදලා’ යනුවෙන් ආරම්භවන ඔහුගේ එම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙන බව තිලක් පවසන්නේ සතුටිනි. හැත්තෑව දශකයේ සංගීත කණ්ඩායම් බිහිවීමත් සමඟම ඩ්‍රම්ස් වාදක සුසිල් පෙරේරා ඇරැඹි හමිං බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් කල එළියට ආ තිලක්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙකි. උපතින් බෞද්ධයකු වුවත් ඔහු පසුගිය නත්තල වෙනුවෙන් ‘නත්තල් පිණි කැට’ නමින් නත්තල් ගීත එකතුවක් ද එළිදැක්විය.

ගීත ගායනයට අමතරව පද රචනයට ද කුසලතාවය පෙන්නුම් කරන තිලක්, ගුවන් විදුලි නාලිකා කිහිපයකටම තේමා ගීත නිර්මාණය කොට ඇත.

පාසල් අවදියේදී මොරටුව වේල්ස් කුමාර විදුහලෙහි ප්‍රවීණ නාට්‍යාචාර්ය තිස්ස ගුණවර්ධනයන්ගේ ‘රන් තෙළි’ සහ ‘කැකිල්ලේ’ වේදිකා නාට්‍යන් හි තිලක් චරිත මැව්වේය. අනතුරුව ටයිටස් තොටවත්තයන්ගේ ‘සිහසුන’ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ ‘බිඳුණු හදවත්’ සහ එල්. එම්. පෙරේරාගේ ‘හතර වටේ’ යන සිනමාපටයන්හි රංගනයට දායක වන්නට ද අවස්ථාව හිමි විය.

ගායක ගායිකා සංගමය, මොරටුව කලා එකමුතුව, ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලය වැනි ක්‍රියාකාරී කලා සංවිධාන රැසක් නියෝජනය කරන තිලක් ඔහුගේ සියලු නිර්මාණ කටයුතු සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙන මොරටුවේ ප්‍රියන්ත පීරිස්, සරත් ගුණවර්ධන, නිහාල් ප්‍රනාන්දු, රන්දුල ලක්ෂිත මිහිරි හෙට්ටිආරච්චි, ලක්රුවනි රොසයිරෝ, ආශා පෙරේරා සහ ශිරානි පෙරේරාව කෘතඥපූර්වකව සිහිපත් කරයි.