වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා පොරපිටියේ තිස්පස් වසක් යුද වැද විශ්‍රාම ගිය තුසිත

සිනමා පොරපිටියේ තිස්පස් වසක් යුද වැද විශ්‍රාම ගිය තුසිත

සිනමා කර්මාන්තයට දායක වූ පලියට එහි සිටින සියල්ලන් ගැන අප දැන ගතයුතු නැත.නළු නිළියන් නිෂ්පදකවරුන් අධ්‍යක්ෂවරුන් හැරුණ විට චිත්‍රපටයක් අප හමුවට ගෙන එන මිනිසුන් පිළිබඳ අප දන්නේ කලාතුරකිනි.

සිනමාහලක දහඩිය වගුරවමින් සිනමා කෘතිය ප්‍රේක්ෂකයාට ගෙන එන අය අතරින් අප දකින්නේ කී දෙනාද?

පසුගිය වසර තිස් පහකටත් වඩා කාලයක් චිත්‍රපට කර්මාන්තයත් මාධ්‍ය සගයනුත් අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගූ හිතවතකු පසුගියදා සිය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම ලද්දේය.

ඔහු නමින් තුසිත ද අල්විස්ය.තුසිත මෙරට සිනමා ඉතිහාසයේ පුරෝගාමි සමාගමක් වන සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක සහ ප්‍රවර්ධන කළමනාකාරවරයා හැටියට වසර තිහක් රාජකාරියේ නියැළුණි.

ඔහු සිනමා පුවත්පත් කලාවේදින්ගේ සමීප මිතුරකු විය.පසුගිය වකවානුවේ මෙරට තිරගත වූ විදේශීය සිනමා කෘති සම්බන්ධව ද සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ තිර ගත කරන ලද චිත්‍රපට සම්බන්ධයෙන් ද ඔහු මෙරට පාඨකයන් දැනුවත් කිරීමට මහත් මෙහෙයක් කළේය.

ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ කැපී පෙනෙන ආදි සිසුවකු වූ තුසිත සිනමාවට ආදරය කරන්නට පටන් ගන්නේ ඔහුගේ පාසල් අවදියේ පටන්ය.චිත්‍රපට පිළිබද අධික ඇමතුවකින් පෙලුණ තුසිත සිය ජිවන වෘත්තිය උදෙසා ද සිනමාව තෝරා ගත්තේය. එහෙත් ඒ සිනමා කරුවකු ලෙසින් නොව සිනමා ප්‍රචාරක නිලධාරියකු ලෙසය.

ඔහු වෘත්තිය ජිවිතයට පිවිසෙනුයේ ඉම්පීරියල් ටෝකිස් සේවයට පිවිසෙමිනි.එහි වසර කිහිපයක සේවයේ නිරතව සිටිය මේ උද්යෝගීමත් තරුණයා එවකට සිලෝන් තියටර්ස් බලධාරින්ගේ ඇසට හසුවිය. ඒ අනුව ඔහු එහි සේවයට එක් විය.

ඉතා ඉක්මනින් තම වෘත්තිය ජීවිතය අනුව පත්තර මිතුරන් සමග සුහද සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා තුසිත සිය සේවයෙන් විශ්‍රාම යනතුරුම ඒ සම්බන්ධතාවය පවත්වා ගෙන යෑමට සමත් විය.ඔහු සිනමාවට සම්බන්ධ වන විට නැවතත් ඉහළ ගනයේ හොලිවුඩ් චිත්‍රපට මෙරටට පැමිණෙමින් තිබුණ යුගය විය.

ඒ චිත්‍රපට සම්බන්ධව ඔහුගේ දැනුම බොහෝ පුවත්පත් කලාවේදිනට උපකාරයක් විය. එමෙන්ම ඇතැම් සිනමා ශාලවක ඇති අවම පහසුකම් පිළිබද අප මැසිවිලි නගමින් ලිපියක් ලියන විට ඒ පිළිබද උරණ නොවන ඔහු අදාළ ලිපිය සිනමා බලධාරින් වෙත යොමු කරවන්නට වග බල ගනියි.

අනතුරුව එහි යහපත දැක "අන්න මචං උඹලගේ ලිපියට අපි ඇක්ෂන් ගත්තා " යනුවෙන් දැනුවත් කරන්නට වග බලා ගත්තේය.තිර ගත වන සිංහල චිත්‍රපට පිළිබද ඇත්ත තත්වය අප දැන ගන්නේ ද තුසිතගෙනි. චිත්‍රපට කර්මාන්තයේ අර්බුද පිළිබද අපට කාටත් කලින් තොරතුරු පවසන්නේ තුසිතය.

මෙරට සිනමාහල් ඇත්තේ කොතැනදැයි කට පාඩමින් පවසන ඔහු එහි සිනමාහලේ වත්මන් තත්වය ගැන ද වහා තොරතුරු සපයන්නේ මතකයෙනි.

සමහරවිට ඇතැම් බලධාරින් අහවල් තැන්වල චිත්‍රපට ශාලා පවතින බවට කැට තබා කියද්දී එහි සිනමාහලක් තවමත් පවත් වන්නේ ද නැත්ද පිළිබඳ අප ඉඳුරාම පවසන්නේ තුසිතගේ දැනුමට පින්සිදුවන්නටය.එමෙන්ම විදේශිය චිත්‍රපට වලට අමතරව ඔහු කුලගෙය,ප්‍රතිඥා,ස්ත්‍රී, සක්මන් මළුව,දිය යට ගින්දර චිත්‍රපටයන් හි ප්‍රචාරක කටයුතු බාරව උන්නේය.

පසුගිය වකවානුවේ බොහෝ සිනමා හල් ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මාධ්‍යවේදින්ට නිකුත් කළ අවසර පත්‍රය ගණනකට නොගත්තේය.එහෙත් තුසිත සෑම අවස්ථාවකම මාධ්‍ය හිතවතුන් වෙනුවෙන් පෙනී සිටියේය. එබැවින්ම ඒ සිනමාහල්වල මාධ්‍ය හිතවතුන් ට කිසිදු බලපෑමක් නොවීය.

පසුගිය වකවානුවේ සරසවිය පාඨකයන් වෙනුවෙන් මැජස්ටික් සිනමාහලේ ප්‍රවේශපත්‍ර සදහා තරගයක් ඇරඹිණ.එය තුසිත ගේ ඉල්ලිමක් පරිදි ඇති කළ තරගයක් විය. එපමණක් නොව එහි දිනුම් ඇඳීම සිදුවන දාට පසු දිනම එහි ප්‍රවේශ පත්‍ර අදාල ජයග්‍රාහකයන්ට යැවීමට ද ඔහු පියවර ගෙන තිබිණි.

තුසිත සිය කාර්ය බහුල වෘත්තිය ජීවිතය අතර සිය පාසලේ ආදි ක්‍රිඩකයන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් ඒ සදහා අනගි මෙහයක් කළ බැව් අප දනිමු.පසුගිය වකවානුවේ සිනමා කර්මාන්තයේ චිත්‍රපට ප්‍රදර්ශණයේ දි මැදිහත්විම් ආදියේ දි තුසිත සිය ආයතනය වෙනුවෙන් වෙහෙස විය.

ඔහු හැමවිටම තම ආයතනය වෙනුවෙන් පෙනී සිටීමේ දුර්ලභ ගුණාංගයෙන් යුක්ත විය.වෘත්තියෙන් විශ්‍රාම ගිය ද සිනමාවෙන් විශ්‍රාම යන්නට බොහෝ දෙනෙකුට නොහැකිය.සරසවිය හා හිතවත් තුසිත ට ඒපිළිබඳ අපමතක් කර දීමට කැමැත්තෙමු.