වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




Black and White Pavement

Black and White Pavement

මහේෂ් හේවාවසම්

මහේෂ් හේවාවසම් නම් වූ තරුණ නිර්මාණකරුවා දක්ෂතා බොහොමයකින් පිරි පුද්ගලයෙකි. ඔහු වඩාත් ආශා කරනුයේ නව නිර්මාණයක් බිහි කිරීමටය. තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාවක් හදාරමින් තම හැකියා ඔප් නැංවීමට අඩිතාලම එක්කර ගත් මහේෂ් 99’ දී සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධ වනුයේ හඬ ශිල්පියෙක් ලෙසිනි. ඉගෙන ගත් දෑ පරිශීලනය කිරීම ඔහු අරඹනුයේ එහිදීය. ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදන ක්‍රියාවලියට පවා දායක වෙමින් තම දැනුම කුසලතාව ඔප් නංවා ගන්නා මහේෂ් 2010 වසර වනතුරු එහි කටයුතු කරනු ලැබේ. ඒ අතරේ ඔහු අලුත් ඉසව්වක් සොයා පිය මනිනුයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මෙහෙය වූ චිත්‍රපට වැඩමුළු කිහිපයක සාරය සොයාය. එයින් හොඳ හැටි සාරය උරා බී පෝෂණය වන මහේෂ් තමන්ගේම නිර්මාණ කාර්යයකට අත පොවනුයේ ඉන් අනතුරුවය.

සම්මානනීය අගැයුමට ලක් වූ නිර්මාණකරුවකු වන මහේෂ් හේවාවසම් හා කෙරෙන කතාබහකි මේ.

මේ වන කොට ඔබ නිර්මාණ කාර්යයේ කී වෙනි සලකුණට ද පැමිණ තිබෙන්නේ?

මගේ කූටප්ප්‍රාප්තිය සිද්ධ වන්නේ Black & White  කෙටි චිත්‍රපටය සමඟ. ඉන් අනතුරුව රා. සේ. පි.Tearsof the Life, The Scent of the Lotus, Pavement කෙටි චිත්‍රපට හතරක් කළා. ඔක්කොම කෙටි චිත්‍රපට පහයි.

ටෙලි නාට්‍ය නිර්මාණයටත් ඔබ පිවිසුණා නේද?

සියපතක සුවඳ, ජීවන කඳුළු නමින් මා ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කළා. ඒ දෙකම 2011 වසරේ ජනවාරි හා අප්‍රේල් මාසවලදී ජාතික රූපවාහිනියෙන් විකාශය වුණා.

ඔබ කෙටි චිත්‍රපටකරුවෙක් ලෙස දිගටම රැෙඳන්නද බලාපොරොත්තුව?

එහෙම කියලා නෑ. මගේ ආරම්භය කෙටි චිත්‍රපට. මේ තුළින් මා ප්‍රකාශන මාධ්‍යයේ බොහෝ දෙයක් කියන්නට උත්සාහ ගත්තා. දෙබස්වලින් තොරව මේ රාමුවෙන් පිට යන්නත් මම ලෑස්තියි. චිත්‍රපටකරුවෙක් වීමේ ආශාව මගේ සිත තුළ නැතුවාම නොවෙයි.

ඒ සඳහා මේ වන විටත් සූදානම්ද?

ඔව්. මා ළඟ හොඳ චිත්‍රපට කතාවක් තියෙනවා. හොඳ නිෂ්පාදකයෙක් හම්බ වුණොත් ඒ කාර්යයට මම හෙට වුණත් අත ගහන්න ලෑස්තියි.

චිත්‍රපට උළෙල ඉලක්ක කරගෙන ද ඔබ නිර්මාණ කාර්යයේ නියැළෙන්නේ?

කොහෙත්ම නෑ. මම නිර්මාණයක් කරනවා. ඒක චිත්‍රපට උළෙලකට කියල ඉලක්ක කරලා නෑ. එවැනි උළෙලක් තිබුණොත් මම නිර්මාණය ඒ සඳහා ඉදිරිපත් කරනවා.

ඔබේ නිර්මාණ කීපයක්ම චිත්‍රපට උළෙල කීපයකදීම අගැයුමට ලක්වුණා නේද?

Black & White චිත්‍රපටය සඳහා 2008 වසරේ මුලින්ම සම්මානයක් ලැබුණේ එහි හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන්. ඒ උළෙල සංවිධානය කර තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාව. ලෝක තැපැල් දින සැමරුම නිමිති කොට 2009 වසරේ තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙල සඳහා මා ඉදිරිපත් කළ රා. සේ. පි. කෙටි චිත්‍රපටය හොඳම කෙටි චිත්‍රපටය ලෙස දෙවන ස්ථානය වෙනුවෙන් සම්මානයක් ලැබුණා. 2011 වසරේ ආසියා ලෝක පදනම, ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙල සඳහා මා නිර්මාණය කළ Tears of the Life හා The Scent of the Loths කෙටි චිත්‍රපට දෙක සඳහා ළමා අංශයේ හොඳම කෙටි චිත්‍රපට දෙක ලෙසින් සහතිකපතක් හිමි වුණා.

Pavement කෙටි චිත්‍රපටය වෙනුවෙන් 2011 අලුත් පියාපත් කලා උළෙලේ ජූරියේ විශේෂ සම්මානය, 2012 වසරේ වෙනස සිනමා සංසදයේ සලරූ කෙටි චිත්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානය හා 2012 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ කෙටි චිත්‍රපට වෙනුවෙන් ලෝකඩ සම්මානය ද හිමි විය.

ඔබේ කෙටි චිත්‍රපට විදෙස් චිත්‍රපට උළෙල පවා නියෝජනය කළා නේද?

Pavement  චිත්‍රපටය 2011 වසරේ ජායිපූර් (ඉන්දියානු) අන්තර් ජාතික කෙටි චිත්‍රපට උළෙල අවසාන වටයට තේරී පත්වුණා. 2011 වසරේ කොසොවො හි Shqip කෙටි චිත්‍රපට උළෙලේ අවසාන කෙටි චිත්‍රපට 35 අතරට ද මේ චිත්‍රපටය තේරී තිබුණා.

ඔබේ මේ චිත්‍රපටවල විශේෂත්වය මොන වගේද?

එක කැමරා කෝණයක්, විනාඩි පහක ප්‍රේම් එකක්. දෙබස් නෑ. විෂුවල් එක පමණයි තියෙන්නේ. ජායිපූර්වල සංස්කරණයක් නැතුව විනාඩි පහක චිත්‍රපටයක් තිබුණේ නෑ. චිත්‍රපට එකසිය පනහක් විතර මේ සඳහා ඉදිරිපත් කර තිබුණා. තනි ප්‍රේම් එකක චිත්‍රපටයක් තිබුණේ මගේ එක විතරයි. කොසොවො ඉඩඳඪන කෙටි චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට අටසීයක් ඉදිරිපත් වී තිබුණා. ඒ අතරින් තෝරා ගත් තිස්පහ අතරට මගේ නිර්මාණයත් තිබුණා. යම් හෙයකින් ඒ උළෙලට මම සහභාගි වුණා නම් මට සම්මානයකට හිමිකම් කියන්න තිබූ ඉඩකඩ වැඩියි. මගේ නිර්මාණය විතරයි ආසියාවෙන්ම තේරී තිබුණේ.

ඔබ කෙටි චිත්‍රපටයක් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ?

ලෝකයේ වැඩි වශයෙන් බිහි වෙලා තියෙන්නේ කෙටි චිත්‍රපට. ලෝක ප්‍රකට සිනමාකරුවන් පවා ඔවුන්ගේ මුල් කෘති කෙටි චිත්‍රපට. මම කෙටි චිත්‍රපටයක් කරන්නේ ප්‍රබල අදහසක් ප්‍රබල රූප රචනයක් සමඟ ඉතා කෙටි කාලයක් තුළ අපූර්වත්වයෙන් නිර්මාණයක් කිරීම. මේ රාමුව තුළ ඉඳගෙන මම කරන නිර්මාණ සාර්ථක ද කියල බලන එක පේ‍්‍රක්ෂකයාට බාරයි.

ඔබත් වට්ටෝරුගත සිනමාවේ අංකුරයක්ද?

නෑ. මම වට්ටෝරු කරන්නේ නෑ. දෙබස් නැතුව තමයි මම චිත්‍රපට කරන්නේ. චිත්‍රපටයේ තියෙන රූපයට මම 80% දෙන අතරේ 20% ක් ශබ්දයට දෙනවා. ඒක මගේ සිනමා සම්ප්‍රදායේ එක්තරා ලක්ෂණයක්. අද වෙන කොට මගෙන් බිහිවෙලා තියෙන්නේ නළු නිළියෝ දාපු ටෙලි නාට්‍ය විතරයි. චිත්‍රපට බිහිවෙලා තියෙන්නේ නළු නිළියෝ නොමැතිව.

කෙටි චිත්‍රපට තැනීමත් එක්තරා කලාවක් කියා කියන ඔබට චිත්‍රපට සංස්ථාවෙන්වත් ඒ සඳහා උපකාරයක් නැද්ද?

අපි කෙටි චිත්‍රපට හදන්නේ අපිට වුවමනාවට මිස සංස්ථාවට ඕනේ නිසා නොවෙයි. අහඹු ලෙස කෙටි චිත්‍රපට උළෙලක් තියලා අපේ නිර්මාණයක් අගැයුමට ලක් කළාට සංස්ථාවෙන් අපිට පිහිටක් නෑ. අඩුම තරමින් කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් එකතුª වී තමන්ගේ නිර්මාණ පෙන්න ගන්න චිත්‍රපට සංස්ථාවේ තරංගනී හෝල් එක ඉල්ලුවාම අනේ ඕවට කවුද හෝල් එක දෙන්නේ කියන ලොකු ලොක්කෝ තමයි සංස්ථාවේ ඉන්නේ. ඕකයි ඇත්ත තත්ත්වය.

අංකුර නිර්මාණකරුවන්ට චිත්‍රපට සංස්ථාවෙන්වත් හව්හරණයක් නැද්ද?

සංස්ථාව අපි වගේ අංකුරවලට අත දෙන්න කැමති නෑ. එයාලට ඕනේ තෝරු මෝරුවලට පහසුකම් දෙන්න. හැබැයි එයාල දන්නේ නෑ කවද හරි තෝරු මෝරු වෙන්නෙත් මේ අංකුර කියලා. අංකුර හොඳට පෝෂණය කළොත් හොඳ තෝරු මෝරු හැදෙනවා කියලා එයාලගේ ඔළු ගෙඩි තේරුම් ගන්නැති එක තමයි අපේ ඔළුගෙඩිවලට තියෙන ප්‍රශ්නය.

කෙටි චිත්‍රපට නිර්මාණයෙන් සම්මානයට පාත්‍රව සිටින ඔබට දැවැන්ත සිනමාවක් සොයා යාමට අද කාලය නොවෙයිද?

ඒ සඳහා මම දැන් පෙර සූදානමක ඉන්නවා. එකම අඩුව නිෂ්පාදකයා පමණයි. නිෂ්පාදකයා කවුරුන් හෝ මට 0717085540 ට කතා කරනකම් මහේෂ් හේවාවසම් මඟ බලා ඉන්නවා.

456/77, බාදුරාගොඩ පාර, වීර මාවත, වේයන්ගොඩ මහේෂ්ගේ ලිපිනයයි.