වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

නැවතත් කලින් පරිදි හින්දි චිත්‍රපටවලට සිංහලෙන් දෙබස් කවා ප්‍රදර්ශනය කිරීමට නොහැකිද?

සරත් රණසිංහ – මාළිඳ

සරත් උන්නැහේ, සිංහලෙන් උප සිරසි ගැන්වීමට තාක්ෂණය දියුණු වෙලා තියෙන යුගයක සිංහල දෙබස් කවා එහි රස මරන්න ඕනෑද?

තැපැල්පත් හිඟයට පිළිතුරක් ලෙස කිරිපිටි පැකට් එකකට මුද්දරයක් ගසා එව්වොත් පිළිතුරු දෙනවාද?

සුජාතා ගුණවර්ධන – කඩවත

කිරිපිටිත් එක්ක ද සුජාතා?

මියගිය ස්මිතා පටෙල් ගැන කෙටි හැඳීන්වීමක් කරනවද?

කැමිලස් ප්‍රනාන්දු - හලාවත

ඉන්දියානු සිනමාවේ අසූව දශකයේ බිහි වූ විශිෂ්ට චරිතාංග නිළියක් වූ ඈ සිනමාවට අමතරව ඉන්දියානු ටෙලිවිෂනයේ සහ වේදිකාවේත් ජනප්‍රිය නිළියක්. ඊට අමතරව ඉන්දියානු ජාතික සිනමා උළෙලත්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙත් හොඳම නිළිය ලෙස ඕ සම්මානයට පාත්‍ර වී තිබෙනවා. පුනාවේ චිත්‍රපට සහ ටෙලිවිෂන් අභ්‍යාස ආයතනයේ රංගනය පිළිබඳ උපාධිධාරිණියක වන ස්මිතා ශ්‍යාම් බෙනගල්ගේ ‘චරන්දාස් වේර්’ නැමැති චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය නිළියක වූවා.

ශ්‍යාම් බෙනගල්, මිර්නාල් සෙන් වැනි විශිෂ්ට සිනමාකරුවන්ගේ චිත්‍රපටවල රංගනයේ යෙදුන ඇය, නිශාන්ත්, මන්නන්, භූමිකා, භවානි භවයි, ආක්‍රොස්, නැක්සලයිට්, චක්‍ර වැනි චිත්‍රපටවල සේම ජනප්‍රිය රැල්ලේ ආ ශක්ති, නමක් හලාල් වැනි චිත්‍රපටවලද ප්‍රධාන චරිතය නිරූපණය කළා. අවාසනාවකට ස්මිතා ජීවත් වූයේ අවුරුදු 31 තරම් කෙටි කාලයක්.

බෝධිසත්ව චරිතය මීටත් පෙර සිනමාවට නැගී තිබෙනවාද? එම චරිතයට පණ පෙවූ නළුවන් අකාලයේ මිය ගියාද?

නිමංකා සූරියබණ්ඩාර – ගම්පොළ

පළමු බෝධිසත්ත්ව චරිතය සිනමාවට නිරූපණය කළේ ‘හිමන්සු රායි’. ඒ ‘ලයිට් ඔෆ් ඒෂියා’ චිත්‍රපටයටයි. ඔහු මිය ගියේ වයස අවුරුදු 48 දී. එම මිය යෑම චිත්‍රපටයේ රඟපෑම නිසාද, වෙනයම් හේතුවක් නිසාද කියා මා නම් දන්නේ නැහැ.

පසු කලෙකදී බෝධිසත්ත්ව චරිතය ඇතුළත් ‘ලිට්ල් බුද්ධ’ චිත්‍රපටයේ බෝධිසත්ත්ව චරිතය සුප්‍රකට හොලිවුඩ් නළු කීනු රියුස් විසින් නිරූපණය කළත් ඔහු තවමත් ජීවත් වෙනවා. අනික අපේ ජීවිතය තණ අග පිණි බිඳු වගේනෙ. එය වියැකෙන්න කාලේ ද අකාලෙද කියලා බලපාන්නේ නැහැ. ඒක ඉතින් කොයි කාටත් පොදු ධර්මතාවක්.

දිනේෂ් ප්‍රියසාද්ගේ යකඩ යකාට මොකද වුණේ?

එච්. වී. කේ. පියදාස - මාබෝල

ඒක යකාට ගියා.

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ගැන ඔබතුමා කුමන අදහසක් දරන්නේද?

මැණිකේ විල්වල , තිලකරත්න විල්වල – කෑගල්ල

මා හිට්ලර්ට කැමැති නැහැ. හැබැයි ‘ඩවුන්ෆෝල්’ චිත්‍රපටය නරඹද්දී හිට්ලර් පිළිබඳ අලුතින් හිතන්නට මා තුළ පෙළඹවීමක් ඇති වුණා. ඒ වගේම ‘මෝටර් සයිකල් ඩයරීස්’ නරඹද්දී ‘චේගුවේරා’ ගැන අලුතින් හිතන්න මට ආසාවක් ඇති වුණා. එසේම ලංකවේ සිද්ධාර්ථ ගෞතම නරඹද්දී මගේ දහම් පාසලේ හෝඩියේ පන්තිය මට මතක් වුණා.

සිසිර කුමාරතුංග ප්‍රථමයෙන් සටන් ජවනිකාවක රඟපෑ චිත්‍රපටය කුමක්ද?

වික්ටර් පල්ලිමුල්ල - හැඳල

චණ්ඩි පුතා චිත්‍රපටය.

මෑතකදී රූපවාහිනියෙන් ‘පරසතු මල්’ චිත්‍රපටය නැරැඹුවෙමි. එය වෙනත් චිත්‍රපටයක් මෙන් සාමාන්‍ය ලෙස මට දැනුන ද විචාරකයින් එය විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නේ එහි ඇති කිනම් ලක්ෂණ නිසා ද?

සුරවීර නාකන්දල – ධර්ගා නගරය

හරියට විස්සයි විස්ස තරගයක් වගේ විනාඩි විස්සෙන් විස්සට වෙළෙද දැන්වීම් ප්‍රචාරය කරමින් ටෙලිවිෂනයේ පෙන්වන චිත්‍රපටයකින් හොඳ නරක පවසන්න තරම් රස වින්දනයක් ඔබ ලැබෙනවා නම් එයත් විශේෂ සුදුසුකමක්. චිත්‍රපටයක් බුද්ධිමත්ව රස විදින්න නම් එක්කෝ සිනමාහලකින් නරඹන්න, නැතිනම් ඩී. වී. ඩී. එකකින් නරඹන්න.

අපේ වත්මන් කලාකරුවන්ට උසාවි යන්න තරම් ප්‍රශ්න ඇතිවන්නේ ඇයි?

චන්ද්‍රසිරි මානවඩු - අම්බලංගොඩ

කලාකරුවන් ඉස්සරත් උසාවි ගියා. හැබැයි එකල අද තරම් මාධ්‍ය දියුණු වී තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගැන අහන්න දැනගන්න විදියක් නැහැ.

සිංහල හා හින්දු අළුත් අවුරුද්දට අපේ ගෙදර සංග්‍රහයට එනවද අර්ජුන්?

සගායම් - ශ්‍රාවස්තිපුර

ආරාධනාවට ස්තුතියි. එන අවුරුද්දේ කලින් ආරාධනා කරන්නකෝ.

සරසවිය පත්තරේ හැම කලාකරුවෙකුගේම උපන්දින සඳහන් කරනවා. ඇයි සරසවියේ කර්තෘතුමාගේ හා කර්තෘ මණ්ඩලයේ උපන් දින පළ නොකරන්නේ?

සරත් සේනාධීර - කලඑලිය

තමන්ගේ නලා තමන්ම ගහන්න සුදුසු නැති නිසා.

‘සැමීගේ කතාව’ වැඩ අවසන්කර තවම ප්‍රදර්ශනය නොවුණේ ඇයි?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

ප්‍රදර්ශන වාරය ලැබෙන තුරු බලා සිටිනවා.