වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මට ජීවන සහකාරිය සොයා දුන්නෙත් සරසවියයි

මට ජීවන සහකාරිය සොයා දුන්නෙත් සරසවියයි

සරසවිය මතක පිළිබඳ සිරි කහවල

කිසියම් හෝ දවසක පුවත්පත් කලාවේදියකු වීම මා තුළ කුඩා කළ පටන් තිබූ ආශාවක් විය. කඩයකින් මිලදී ගන්නා පුවත්පතක පිටු අතරේ ඇති නැවුම් සුවඳට මා වඩාත් ආශා කරනු ලැබිණි. පුවත්පතකින් හමා එන නැවුම් සුවඳ මා තුළ පැවති ආශාව දිනෙන් දින මටත් හොරා තීව්‍ර කළේ මා ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යකුව සිටිනා අවධියේ පටන්ය. විද්‍යාලයේ සිසු පෙරමුණ නමින් පත්තරයක් ද කරනු ලැබුවේ මා මිත්‍ර පාසල් මිත්‍රයකු වූ ආනන්ද ගුණතිලකත් කැටුවය. විද්‍යා විෂයන් යටතේ අධ්‍යාපනය හැදෑරුව ද මා වඩාත් ආශා කළේ කලා මාධ්‍යයටය.

හින්දි භාෂාව ඉගෙන ගැනීමට මා තුළ කුඩා කළ පටන් තිබූ ආශාව නිසාම චිත්‍රා විද්‍යාලයේ හින්දි භාෂාව තැපැල් මාර්ගික පාඨමාලාවක් ලෙසින් හැදෑරීමට පටන් ගතිමි. එබැවින් තැපැල් මාර්ගයෙන් හින්දි භාෂාව ඉගෙන ගන්නා අතරේ රාහුල විතානගේ ඇසුරේ ද හින්දි භාෂාව හැදෑරීමට මට අවකාශ උදා විය. විද්‍යා විෂයයන් සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වූ තැන මා කලා විෂයන් කොට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ හින්දි භාෂාව විෂයක් කොට ගෙනය. හින්දි භාෂාව පිළබඳ එවක නම් දරා සිටි රවිලාල් විමලධර්මයන් විශ්ව විද්‍යාලයේදී මට හමුවීමත් සමඟ මා තුළ තිබූ හින්දි දැනුම තව තවත් ඔප මට්ටම් කර ගැනීමට මහගු පිටුවහලක් විය.

කිසියම් හෝ දිනක පුවත්පත් කලාවේදියකුවීමේ සිහිනය නිසාම මා වඩාත් ආශා කළේ කලාවට නැඹුරු පුවත්පත් සඳහා ලිපි ලිවීමටය. හින්දි පිළිබඳ මා තුළ දැනුමක් තිබුණු නිසාම මා වඩාත් ආශා කළේ හින්දි නළු නිළියන් ගැන ලියන්නටය. 1963 දී මට පළමුවරට එවක තිබූ කලා සඟරාවට ලියන්නට පටන් ගත්තෙමි. මා වැඩිපුරම ලිව්වේ හින්දි ගීත, හින්දි නළු නිළියන් ගැනය. එමෙන්ම හින්දි පරිවර්තන ද කළෙමි. මේ හින්දි උමතුව නිසාම කවදා හෝ සල්ලි හොයා ගෙන ඉන්දියාවට ගොස් හින්දි නළු නිළියන් හමුවීම මගේ අභිප්‍රාය විය. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටින අවධියේ සිනමා කලාව පිළිබඳ පළ වූ සතිය, නීලා, මනහර ආදී පත්තර කීපයකට ද මා සම්බන්ධ වී ලිපි ලිව්වා මතකය.

ලේක්හවුස් ආයතනයෙන් ආරම්භ කොට තිබූ සරසවිය පත්තරයට ලිවීමේ ලොකුª ආශාවක් මා තුළ කලක පටන් තිබුණ ද ඒ සඳහා සම්බන්ධවීමේ මාර්ගයක් මට නොතිබිණි. සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලකයන්ගේ පුත් සුනිල් මාධව ප්‍රේමතිලක මගේ මිත්‍රයෙක් විය. සරසවියට ලිවීමේ ආශාව ඔහුට පැවසීමත් සමඟ සුනිල් මට ආරාධනා කළේ පියාට කියා කෙසේ හෝ මගේ ආශාව ඉටු කර දෙන බවකි. එවක සරසවිය පත්තරයේ කර්තෘවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය. සුනිල් හමු වී මාගේ ආශාව ඉෂ්ට කර ගැනීමට කිහිප වරක් ලේක්හවුස් පැමිණිය ද කිසිදු දිනක මට සුනිල්ව මුණ නොගැසුණි. අද මෙන් එදා දුරකථන පහසුකම් ද නොතිබූ නිසා ඔහු ආයතනයේ සිටින දිනක් දැන ගැනීමට ද මට නොහැකි විය.

මාස කීපයක් මේ ලෙස බලා සිටි මා මීට පෙර මා කලා පත්තරයට ලියනු ලැබූ ලිපි කීපයක් රැගෙන තනිවම පැමිණියේ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා හමුවීමටය.

මගේ උත්සාහය සාර්ථක විය. මගේ නම පැවසූ විගසම විමලසිරි පෙරේරා මහතා මගෙන් ඇසුවේ ඔබ කලා පත්තරේට ලියන තැනැත්තා ද යනුවෙනි. ඔහු අද ඉඳන් අපටත් ලියන්න යැයි පැවසුවේය.

ඒ අනුව මම 1966 දී සරසවියට ලියන්නට එක් වුණෙමි. මා මුලින්ම ලිව්වේ හින්දි ගීතවල සිංහල අර්ථයයි. ඒ සඳහා විමලසිරි මහතා කදිම නමක් දමා තිබුණේ හින්දි තිරයේ රස ඉතිරේ යනුවෙනි. විමලසිරි පෙරේරා මහතා හැරුණු විට මා සරසවියට එන විට එහි ලක්ෂ්මන් වික්‍රමසිංහ, පර්සි ජයමාන්න, සෝමවීර සේනානායක, රාජා ටී. බස්නායක, රොහාන් පෙරේරා සෙසු සාමාජිකයන් ලෙස සිටියා මතකය.

ඉඳුනිල චිත්‍රපටයේ සම නිෂ්්පාදකයකු වූ අබේසේකර මහතා මාගේ මිත්‍රයෙක් විය. ඔහු මට කදිම යෝජනාවක් ගෙන ආවේය. චිත්‍රපටයේ ෂූටින් බලන්නට එන ලෙස මට ආරාධනයක් කළේය. එහි ෂූටින් තිබුණේ දෙනියායේය. මා ඒ අදහසට අනුව ඔහුත් සමඟ දෙනියායට ගොස් සතියක් එහි නැවතී සිට විත් ඉඳුනිල චිත්‍රපටයේ ෂූටින් අතරේ සිදු වූ රසවත් සිද්ධි සරසවියට ලිව්වෙමි. එය විමලසිරි මහතා සරසවියේ පළ කළේ මට ප්‍රශංසා කරමිනි. ඉන් පසු ගොලු හදවත චිත්‍රපටයේ රූපගත කිරීම් වගයක් කරනු ලැබූවේ තුරග තරග පිටියේ එහි තිබූ විශාඛා විද්‍යාල සැණකෙළියේදීය. එහි එක් රැයක් ගත කොට මම සරසවියට ලිපියක් ලිව්වේ දම්මි - සුගත් මැරිගෝ රවුම් ගිය හැටිය. මේ ආකාරයට මම හන්තානේ කතාව, බක්මහ දීගේ, නිධානය, පාරාවළලු, සහනය, අභිරහස, නාරිලතා ඉහත ආත්මය, ලන්ඩන් හාමු, හතර දෙනාම සූරයෝ ආදී චිත්‍රපට රාශියක රූපගත කිරීම් සඳහා ගොස් සති ගණන් නැවතී සිට විත් එහි රසබර ලිපි සරසවියට ලිව්වෙමි.

චිත්‍රපට නළු සුදේශ් ගුණරත්න මාර්ගයෙන් චිත්‍රපට නිෂ්පාදක ජේ. සෙල්වරත්නම් හඳුනාගත් මට ඔහුගේ හතර ග්‍රහයෝ චිත්‍රපටයේ පිටපත ලිවීමට භාර කෙරිණි. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී අත්තිකාරම් වශයෙන් රුපියල් හත්සිය පනහක මුදලක් ලැබිණි.

කිසියම් හෝ දිනක මුදල් ටිකක් සොයාගෙන ඉන්දියාවට ගොස් හින්දි නළු නිළියන් හමුවීමේ ආශාවෙන් සිටි මම මෙම චිත්‍රපටයෙන් ලැබුණු රුපියල් හත්සිය පනහක මුදල යොදා ඒ ගමන යාමට අදහස් කළෙමි. කිසියම් හෝ දවසක ඉන්දියාවට ගොස් නළු නිළියන් හමුවීමට උදවු කිරීමට පොරොන්දු වී සිටි හින්දි චිත්‍රපට ගෙන්වන සිංහල ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම මට ඒ සඳහා උදව් කිරීමට කලින් පොරොන්දු වී සිටිය ද ගමන යාමට ලක ලෑස්තිවීමේදී ඔවුන් හෙමිහිට මඟ හැරියේය.

එවක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි අංශය භාරව සිටි ඉන්දියන් ජාතික හිමි නමක වූ හින්දි භාෂා මහාචාර්ය භදන්ත ආනන්ද කෞෂල්‍යායන හිමියන් මගේ අදහසට උදවු කිරීමට පොරොන්දු විය.

උන්වහන්සේ එවක ඉන්දියාවේ හින්දි සඟරාවක් වූ ‘ධර්ම යුග්’ සඟරාවේ කර්තෘවරයා වූ ධර්ම වීරභාරතීට හා චිත්‍රපට ගීත රචක භරත් ව්‍යාස් නම් වූ හිතවතුන් දෙපළට මා ගැන කියා උදවු කරන ලෙස දන්වා උන්වහන්සේ ලියුම් දෙකක් ද දුන්හ. රත්මලාන ගුවන් තොටුපළින් මා කැටුව මදුරාසියට ගිය උන්වහන්සේ එතනින් මට බොම්බායට යන්නට කියා දුන්නේය. බොම්බායට ගිය මා භරත් ව්‍යාස් හමු වී ස්වාමීන් වහන්සේ දුන් ලිපිය දුන් අතර ඔහු ඒ වෙනුවෙන් මා යොමු කරනු ලැබවේ ශ්‍රී රාමචන්ද්‍ර සංගීතඥයා හමුවීමටය. ධර්මවීර භාරතිට දුන් ලිපිය අනුව ඔහු මා යොමු කරනු ලැබුවේ ධර්ම යුග් සඟරාවේ පුවත්පත් කලාවේදියකු වූ ජෛයිනේද්‍ර ගේන් නැමැත්තා වෙතටය. ඔමු මා හට නළු නිළියන්ගේ ලිපිනයන් හා දුරකථන අංකයන් ලබාදී ඔහු පිළිබඳ කාඩ්පතක් ද දී මෙය නළු නිළියන් හමුවේදී ඉදිරිපත් කොට මගේ අවශ්‍යතාව ඉටුකර ගන්නා ලෙස දන්වා සිටියේය. මා ඒ ගිය ගමනේදී ප්‍රධාන පෙළේ හින්දි නළු නිළියන් මට හමුවන්නට බැරි වූයේ ඔවුන් බොහොමයක් රූ ගැන්වීම් සඳහා ගොස් තිබූ නිසාය. ශ්‍රී රාමචන්ද්‍රන්, වසන් දේසායි, මදන් මෝහන්, කල්‍යාණ්ජි ආනන්ජි, ගීතාදත්, මහේන්ද්‍ර කපූර්, ජෝයි මුකර්ජි ආදීන් හමුවන්නට මට හැකි විය. ආශා බෝස්ලේ, ලතා මංගේෂ්කාර් පවා හමුවීමට ගිය ද මා ගිය දින ඔවුන් එවැනි හමුවකට නොපැමිණෙන දිනයන් වූ හෙයින් ඒ අවස්ථාව ද මට මඟහැරිණි.

ලංකාවට පැමිණි මා බොහෝ හින්දි ගායක ගායිකාවන් පිළිබඳ සරසවියට ලිව්වෙමි. එවක සරසවියට ලියන ලිපියක් වෙනුවෙන් රුපියල් පහළොවක මුදලක් ලැබිණි. ඒ අවධියේ වැඩිපුර නළු නිළියන් පදිංචිව සිටියේ නුගේගොඩ අවටය. මා ඔවුන් නිතර හමුවීමට ගොස් ඔවුන් පිළිබඳ තොරතුරු සරසවියට ලිව්වෙමි. නළු නිළි පුරේ සවාරියක් නමින් ඒ ලිපි සරසවියේ පළ විය.

1970 වේදී මට පොහොර සංස්ථාවේ රැකියාවක් ලැබුණේ මේ අතරය. මම එය සතුටින් භාර ගත්ත ද සරසවියට ලිවීම නතර නොකළෙමි. කවි, කෙටි කතා, නළු නිළි විනෝදාංශ, හින්දි තිරයේ පුංචි කතා, හින්දි නළු නිළියන් පිළිබඳ විස්තර, චිත්‍රපට රූපගත කිරීම් ආදී බොහොමයක් දෑ පිළිබඳව ද මගේ රැකියාව අතරතුර මම සරසවියට ලිව්වෙමි. 1977 දී මට පොහොර සංස්ථාවේ රැකියාවෙන් අනුරාධපුරයට මාරුවක් ලැබුණ ද මම සරසවිය අමතක නොකළෙමි. වසර තුනක් නිවාඩුවක් ලැබූ මා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට පැමිණියේ හින්දි කථිකාචාර්ය තනතුරකටය. චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සිරි කුලරත්න, දයා ආනන්ද රණසිංහ සරසවියට හඳුන්වා දුන්නේ මාය. එවක සරසවියේ දෙවැනියා වශයෙන් කටයුතුª කළ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් වෙත මා මොවුන්ව කැඳවාගෙන විත් හඳුන්වා දුන්නේ ඔවුන් තුළ ලිවීමේ හොඳ හැකියාවක් තිබුණ නිසාය.

විචාර කලාවේ නමක් දිනූ ජයවිලාල් විලේගොඩ මගේ මිත්‍රයෙක් විය. ජයවිලාල් මා ලියන හින්දි ලිපි කියවා මට ප්‍රශංසා කළ අවස්ථාද තිබිණි. මේ මිත්‍රකම නිසාම ඔහු මට ලේක්හවුස් ආයතනයට ස්ථිර සේවයට පැමිණෙන ලෙස ආරාධනයක් ද කෙරිණි. මා තුළ ද සරසවියේ ස්ථිර සේවකයෙක් වීමට දැඩි ආශාවක් ද තිබිණි. ඒ සඳහා මාර්ගයක් නොමැති තැන ජයවිලාල් මට කිව්වේ අයදුම්පතක් සභාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලෙසය. මා ඒ අනුව එවක ලේක්හවුස් සභාපතිතුමන් වූ රංජිත් විජයවර්ධන මහතා වෙත අයදුම්පතක් ඉදිරිපත් කළේ මා එතෙක් ලියා තිබූ ලිපි පිළිබඳ සඳහන් කරමිනි.

මාගේ අයදුම්පත පිළිබඳ සභාපතිතුමන් එවක සරසවිය කර්තෘතුමන්ගෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් මා මේ අයුරින් අයදුම්පතක් ඉදිරිපත් කළ බවක් නොදැන සිටීම නිසා මා බලාපොරොත්තු වූ දෙය මට නොලැබී ගොස් තිබිණි. 1971 දී මා මිත්‍ර ජයවිලාල් විලේගොඩ දැයෙන් සමු ගත්තේ හදිසියේමය. මා ඔහුගේ අවමඟුලට සහභාගි වූයේ මහත් වූ දුකකින් යුතුවය.

එදා මට ඔහුගේ අවම¼ගුලට සහභාගි වීම තුළ කලාකරුවන් පිළිබඳ මහා කලකිරීමක් ඇති විය. අතේ ඇඟිලි ගණනටත් අඩු කලාකරුවන් කිහිප දෙනෙක් ජයවිලාල් ගේ අවමඟුලට එදා පැමිණ තිබිණි. ජයවිලාල්ගෙන් මඟ පෙන්වීමක් ලැබූ කිසිදු කලාකාරයෙක් ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණ නොතිබිණි. මේ සිද්ධිය මගේ සිතට ගෙන ආවේ පුදුම කලකිරීමකි. මෙවැනි ගුණමකු මිනිසුන් පිළිබඳ කලකිරීමක් ඇති වූ නිසාම මම අපේ නළු නිළියන් ගැන ලියන එක නතර කොට දිගටම හින්දි නළු නිළියන් ගැන ලියන්නට පටන් ගත්තෙමි.

සරසවියට ලිපි ලිව්ව ද සරසවිය සම්මාන උළෙලක් නැරැඹීමට ආරාධනා පත්‍රයක් ලබා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවිණි. මුල් වරට මා සරසවිය සම්මාන උළෙලක් නැරැඹුවේ 1968 දීය.

හන්තානේ කතාව චිත්‍රපටයෙන් හඳුනා ගත් විජය කුමාරණතුංග මැරෙන තුරුම මා හා දැඩි මිත්‍රත්වයකින් පසු විය. පසු කලෙක මා හින්දි නළු නිළියන් ගැන පමණක් ලියන නිසාද කොහෙදෝ ඔහු නිතර හමු වූ විට කිව්වේ සිරි දැන්වත් සරසවියට අපි ගැන ලියන්නකෝ කියාය. ශෛලේන්ද්‍ර සිං, මොහොමඩ් රාෆි, මහේන්ද්‍ර කපූර් ආදීන් ලංකාවට පැමිණි අවස්ථාවේදී මා ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පවත්වා පත්තරයට ලිව්වෙමි.

සුරතුර, මනහර, සරසි, පියකරු, දීපශිකා ආදී පත්තර සඟරා ආදියට ද මා ලිපි ලියනු ලැබුවේ සරසවියට ලියන අතරවාරයේය. රැකියාව නිසාම මා හට හම්බන්තොටට මාරුවක් ලැබීමත් සමඟ සති අන්තයේ කොළඹට පැමිණ කලා තොරතුරු ලියන්නට මා පෙලඹුණ ද එය ක්‍රමයෙන් අතපසු වන්නට විය.

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් නැවත සරසවියේ මුල් පුටුවට පැමිණීමත් සමඟ මට නැවත සරසවියට ලියන්නට ආරාධනා කළ ද මා යළිත් ලියන්නට පටන් ගත්තේ සුසිල් ගුණරත්න සරසවියේ මුල් පුටුවට පැමිණිමත් සමඟය. උපන්දින හා මතක සුවඳ විශේෂාංගයන් සමඟින් මම යළිත් සරසවියේ පාඨකයන් අතරට පැමිණියෙමි. 77’ සිට 82’ වනතුරු මා නැවතී සිටියේ සනත් නන්දසිරිගේ නිවසේය. මෙහිදී මා හට බොහෝ කලාකරුවන්ගේ උපන්දින හා තොරතුරු සොයා ගැනීමට උදවු කරනු ලැබුවේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි. උපන්දින සුබපැතුම් තීරයක් පිළිබඳ මට අදහසක් ඇති වූයේ හින්දි සඟරාවක් වූ මාදුරී හි තිබූ තුම් ජියෝ හසාරෝ සාර් (ඔබ අවුරුදු දහසක් ජීවත්වේවා) විශේෂාංගය දැකීමෙනි. මෙහි මුලින්ම පටන් ගනු ලැබුවේ ආතර් යූ. අමරසේන මහතා ඔහුගේ සුරතුර පත්තරයේය. අද වන විට සරසවියේ යන උපන්දින තීරය මහත් ජනප්‍රියත්වයක් ලැබ ඇත්තේ රටේ ජනාධිපතිතුමන් පවා කලාකරුවන්ට උපන් දිනයට සුබ පැතීමට පුරුදුව සිටීම නිසාය. කලාකරුවන්ගේ උපන්දින, ලිපිනයන්, දුරකථන අංකයන්, ඔවුන්ගේ විවාහ වූ දිනයන්, කලාකරුවන් මියගිය දිනයන් ආදි විශාල තොරතුරු ප්‍රමාණයක් මා සතුව ඇත. තම උපන් දිනය සරසවියේ පළ වීම කලාකරුවන්ට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් වී ඇත. සමහරුන් උපන් දින සුබපැතුම් එන තෙක් බලා සිටිනුයේ උපන් දිනයට කලින් දා පටන්ය.

සරසවිය නිසාම මම කලාකරුවන් හඳුනා ගතිමි. කලාකරුවන් මගේ මිත්‍රයන් වූයේ ද සරසවිය නිසාමය. මට බිරිය හමුවූයේ ද සරසවිය නිසාමය. සරසවිය පාඨකයෙක් වූ මගේ බිරිය මට හඳුනා ගන්නට ලැබුණේ සරසවියට මා ලියනු ලැබූ හින්දි විශේෂාංග නිසාය. මගෙන් හින්දි ඉගෙන ගැනීම ඇය මුලින් ඇරැඹුවේ තැපැල් මාර්ගයෙනි. එය දුර දිගයත්ම අවසානයේ ඈ මගේ බිරිය බවට පත් විය. මල්ලිකා නම් වූ ඇය සරසවිය පාඨකයෙක් ලෙසින් මා හඳුනා ගනු ලැබීමෙන් පසු සරසවිය නිසාම මට ඇයව සරණ පවා ගන්නට ද සිදු විය.

මගේ ජීවිතයට සරසවියක් වී කලා කෙතේ ඇසූපිරූ තැන් සොයා යන්නට මට සරසවියක් වී මට ජීවන ගමනේ සහකාරිය සොයා දුන් සරසවිය පුවත්පත චිරාත් කාලයක් අන් අයටත් සරසවියක් වේවා.