වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම රඟපෑම ඉවරයි

ඇත්තටම රඟපෑම ඉවරයි

සරසවිය පුවත්පතේ පනස් වැනි අභිමානය ගෙවී ගියේ චාම් උත්සව කිහිපයකිනි. උත්සව මාලාව නිමාවට පත් වූයේ කලා සහෘදයන් පිරිවරාගත් වර්ණවත් චාම් පූර්ණවත් පැදුරු සාදයකිනි. මෙම උත්සවය සඳහා කලාකරුවන් සම්බන්ධිකරණය කරනු ලැබුවේ අප සහෘද මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර විසිනි. කවදත් එවන් වැඩ සඳහා නොපිරිහෙලා වගකීම ඉටු කරන අසංකගේ ඇරියුමින් කමල් අද්දරආරච්චි ද මෙම පැදුරු සාදයට පැමිණියේ හද පුරවා ගත් සතුටිනි.

ගීත ගයා නැවත යන්නට සැරසෙද්දී කමල් හෙළි කළ කතාන්දරය අපට ගෙන ආවේ නව ප්‍රවෘත්තියකි. කමල්, ශ්‍රියන්ත සහ සුබුද්ධි ලක්මාලි එක්ව රඟපාන ‘රඟපෑම ඉවරයි’ නොබෝ දිනකින් වේදිකා ගතවන බව ඒ ප්‍රවෘත්තියයි. ඒ සමඟම කමල් අපේ අසංකගෙන් ඉල්ලීමක් ද කර තිබුණි. ඒ ‘රඟපෑම ඉවරයි’ වේදිකා නාට්‍යය පිළිබඳ හොඳ ප්‍රචාරයක් ලබා දෙන ලෙසටය.

කවදත් කලාකරුවන්ට අත හිත දෙන සරසවිය පුවත්පතේ එම නාට්‍යය පිළිබඳ ලියන්නට පැවරුණේ මා හටය. නාට්‍යයේ ප්‍රධාන නළුවන් දෙදෙනා අත්දැකීම්වලින් පරිපූර්ණය. ඒ කමල් සහ ශ්‍රියන්තය. නිළිය ද දක්ෂ තරුණ පරපුරේ නිළියකි. මේ සියල්ල එක්කර ගනිමින් මෙම නාට්‍යයේ පෙරහුරුව නැරැඹීමට අපි තීරණය කළෙමු. ‘රඟපෑම ඉවරයි’ හා පසුකවරයක් ද ලබා දෙන්නට කර්තෘතුමා දුන් උපදෙස් ද රැගෙන අපි පෙරහුරු පැවැත්වෙන දර්ශන තලය වෙත ගොඩ වුණෙමු.

ඒ කමල්ගේ නිවෙසයි. මහල් පහකින් යුතු කමල්ගේ නිවෙසේ පස්වැනි මහල මේ දිනවල වෙන් වී ඇත්තේ නාට්‍යය පුහුණුවීම් වෙනුවෙනි. කවදත් අපට ළෙන්ගතු කමල් පස් මහලින් බැස අප හමුවීමට පැමිණියේ සුපුරුදු ළෙන්ගතුකම තවරා ගනිමිනි.

යමු උඩට . . .

කමල්ගේ ආරාධනයෙන් අපි තට්ටු නැඟීම ඇරැඹීමු.

අසංක කිව්වා එයි කියලා.

කමල් සිහි කළේ අපේ අසංකය. කතාවෙන් කතාවෙන් පඩි පෙළ නඟිමින් අපි පස්වැනි තට්ටුවට පැමිණියෙමු. එය ඉතා අලංකාර නිස්කලංක සුවදායක තැනකි. නාට්‍යය පුහුණුවිමට වඩා භාවනාවකට සුදුසු එතැන සුබුද්ධි සහ කමල් දෙදෙනා නාට්‍යය පුහුණුවීමේය.

ආගිය කතාන්දර අතරේ වෙලාව ගෙවී ගියේ නොදැනුවත්වමය. නාට්‍යයේ අධ්‍යක්ෂ උදයසිරි ද පෙනෙන්නට නැත. ශ්‍රියන්ත තවමත් පැමිණ සිටියේ නැත. මීට පැය කිහිපයකට ප්‍රථමයෙන් අසංක මා හට කීවේ ශ්‍රියන්ත අපේ ඡායාරූපය සඳහා කමල් සහ සුබුද්ධි සමඟ එක් වන බවයි. නමුත් ශ්‍රියන්ත තවම නැත.

කමල්, ශ්‍රියන්ත සහ සුබුද්ධි යන තිදෙනාම මෙම ඡායාරූපය සඳහා සිටිය යුතුමය. ඒ නිසාම අපේ ඡායාරූප ශිල්පී මාලන් ප්‍රථමයෙන්ම සාකච්ඡා කරනු ලැබූවේ කමල් සමඟය. ඉන් පසුව මාලන් ශ්‍රියන්ත ඇමතුවේය. නමුඳු ශ්‍රියන්ත එන බවක් පෙනෙන්නට නැත. මීට පැය කිහිපයකට පෙර අසංකට කී කතාව දැන් බොරුවක් වී හමාරය.

අපි තව ටිකක් බලමු. . .

කමල් අප සමඟ පැවසුවේ දුරකථනය විසන්ධි කරමිනි. මෙම කටයුත්තට මූලිකයා වූයේ කමල්ය. වේදිකා නාට්‍යයයේ අධ්‍යක්ෂවරයා ද පෙර පුහුණුවීම් සඳහා පැමිණ නැත.

කුමකින් කුමක් කරමුද? යන පැනයේ හෙම්බත් වූ අප අවසානයේ තීරණය කළේ කමල් හා සුබුද්ධි යොදා ඡායාරූපය ලබා ගැනීමටය. නමුත් ඒ ඡායාරූපය අසම්පූර්ණ එකකි. නාට්‍යයේ ප්‍රධාන චරිත තුනකි. ඉන් දෙදෙනකු සම්පූර්ණ වුව ද ඡායාරූපය අසම්පූර්ණය.

කෙසේ හෝ අවසානයේ මාලන් ඡායාරූපය ලබා ගත්තේ ශ්‍රියන්ත නොමැතිවය.

රඟපෑම ඉවරයි වෙනස්ම ආරක් ගත් වේදිකා නාට්‍යයක්. සාමාන්‍ය ජීවිතයේ සිටින පුද්ගලයකුට සබකෝලය ඇති වීම නිසා හට ගන්නා විවිධ කාරණා මෙම නාට්‍යයේ වේ. මිනිසා විසින් මිනිසා පිළිබඳ කරනු ලබන විග්‍රහයක් මෙම නාට්‍යයේ අන්තර්ගත වෙයි.

කලකට පසුව කමල් රංගනයෙන් දායක වන මෙම වේදිකා නාට්‍යය පිළිබඳ ඔහු සිටින්නේ තෘප්තියෙනි. ජනතාව වෙනුවෙන්, අපේ රසිකයන්ගේ රස වින්දනය වෙනුවෙන් යමක් කළ යුතු යයි මතයේ සිටින කමල්ට මේ අවස්ථාව ඒ සද් බලාපොරොත්තුව ඉටු කර ගැනීමට කදිම තෝතැන්නකි.

සුබුද්ධි ද රතු හැට්ටකාරිය තුළින් ලබාගත් අත්දැකීම් මේ සඳහා මනාවට යොදා ගනී.

ශ්‍රියන්ත මෙතැන සිටියා නම් අපේ බලාපොරොත්තුව යථාර්ථයක් වනවා නියතය. අධ්‍යක්ෂවරයා ද නොමැතිව කතාබහ කිරීමට ද කෙනකු නැත. එබැවින් ලියා තැබිය යුතු විශේෂ යමක් ද නැත.