වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මානවසිංහ ජන්ම ශත වර්ෂය ජූනි මාසයේ

මානවසිංහ ජන්ම ශත වර්ෂය ජූනි මාසයේ

අග්‍රගණ්‍ය ගී පද රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර (1913 – 2013) සැමරුම එළඹෙන ජූනි මාසයේදී කොළඹ ශ්‍රීී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මූලාසනයෙන් පැවැත්වෙන මෙම සමරු උත්සවයේදී කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන විද්වත්හු මානවසිංහ සේවාවේ විවිධ අංශ පිළිබඳ දේශන පවත්වති. මෙම දේශන අතර මානවසිංහ ගීත නිර්මාණ කිහිපයක්ද ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කෙරේ.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පදනමේ සංවිධානයක් වන මෙම සැමරුමේදී මානවසිංහ නව ග්‍රන්ථ කිහිපයක් ද මුල් ග්‍රන්ථ කිහිපයක අලුත් මුද්‍රණ ද නිකුත් කිරීමට නියමිතය.

තිස්ස අබේසේකර අභිනන්දන කෙටි චිත්‍රපට තරගයට ඇයැදුම්පත් කැඳවයි

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් පවත්වනු ලබන ආචාර්ය තිස්ස අබේසේකර අභිනන්දන උළෙලට සමගාමීව කෙටි චිත්‍රපට තරගයක් නව නිර්මාණකරුවන් සඳහා පැවැත්වීමට එම සංසදය තීරණය කොට ඇත. මේ සඳහා මානව හිතවාදී තේමාවක් යටතේ නව නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර මීට පෙර කිසිදු චිත්‍රපට උළෙලකට තරගයකට ඉදිරිපත් නොකළ නවතම කෙටි චිත්‍රපට පමණක් තරගයට වලංගු වනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වෙබ් අඩවියෙන් මෙන්ම අංක 21/2, එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයෙහි ඇති එහි ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය.

අයැදුම් පත්‍ර සම්පූර්ණ කොට ඉහත ලිපිනය ඉදිරියෙන් ආචාර්ය තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට උළෙල සභාපති, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය යන්න ඇතුළත් කොට මැයි මස 15 වැනිදාට ප්‍රථම එවිය යුතුය.

මෙහි ජයග්‍රාහකයින්ගේ සම්මාන මුදල් සහ සහතිත පත් තිස්ස අබේසේකර සමීප රූප අභිනන්දන උළෙල පවත්වන අගොස්තුවේදී පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංකයන්ගෙන් විමසන්න.

0714004404 - සුරේෂ් අබේසේකර

0777425078 - සුදත් රෝහණ

0773580451 - අනුරුද්ධ ජයසිංහ

සිනමා ශිල්පී සන්ධානයේ රැස්වීම සහ නිලවරණය 26 දා සුදර්ශියේ

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ පළමු මහ සභා රැස්වීම සහ නිලවරණය මෙම මස 26 එනම් හෙට සවස 2.30 ට බොරැල්ල සුදර්ශී ආයතනයේදී හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ සඳහා සහභාගී වන ලෙස සිනමා ක්ෂේත්‍රයේ දැනට සක්‍රියව සිටින නළු නිළියන් සහ කාර්මික ශිල්පින්ට එම සන්ධානයේ කැඳවුම්කරු එරංග සේනාරත්න ඇරැයුම් කර සිටී.