වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චන්ඩි දෙදෙනෙක් සරසවියට කඩා වදී

චන්ඩි දෙදෙනෙක් සරසවියට කඩා වදී

එක්කෙනෙක් රාජා
අනෙක්කෙනා ධර්මේ

සරසවියේ දුරකතනය නාද වෙයි. මම එහි රිසීවරය සවනතෙහි තබා ගත්තෙමි.

ඔන්න ඔය පැත්තට චණ්ඩි දෙන්නෙක් එනවා.

අනිත් අන්තයේ සිටින ලේක්හවුසියේ පිළිගැනිමේ කවුන්ටරයේ සිටින හිතවතකු එසේ කීවේය.

කවුරු හමු වෙන්නද? නමක් ගමක් එහෙම කිව්වද?

ඔව්. තට්ටෙ තියන කෙනෙක් හිටියා, එයා ධර්මෙ. අනෙක් එක්කෙනා රාජා. කෝකටත් ප්‍රවේසමෙන්.

මම දුරකතන ඇමතුම විසන්ධි කොට මගේ අසුනට බර වුණෙමි.

කවුද මේ හදිස්සියේ ආපු චණ්ඩි දෙන්නා?

තැතිගත් මනසකින් යුතු මම දහසකුත් එකක් සිතුවිලි සමඟින් පොර බැදුවෙමි. ටික වේලාවකින් මේ චණ්ඩි දෙදෙනා ගැන තතු අප දෙපාර්තමේන්තුව පුරාවටම පැතිරිණ.

රාජා . . .

ධර්මෙ . . .

ධර්මෙ හිස බූ ගා ගත් කෙනෙක්.

ඒ අය ගැන යම් අවිනිශ්චිත මතකයක් සිත තුළ තිබුණ ද එය නිශ්චිත කර ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.

ගත වූයේ සුළු මොහොතකි. එකී චණ්ඩීන් දෙදෙනා රෞද්‍ර වේශයෙන් දුර තියා එනු අප දුටුවෙමු. ඔවුන්ගේ ඒ ගමන් විලාශයට අවට සිටියවුන් බෙහෙවින් බිය වූ නමුදු සරසවියේ අප ක්ෂණයකින් ඔවුන්ව හඳුනා ගත්තෙමු.

රිසෙප්ෂන් එක ළඟ ඉඳලා මෙතනට වෙනකම්ම අපි කට්ටියව බය කරගෙන ආවේ.

ධර්මෙ කතාව ඇරැඹීය.

ඔයාලත් ඇත්තටම බය වෙලා නේද හිටියේ?

රාජා ගේ සිනහ මුසු මුහුණෙහි නෙත් අප සැවොම දෙස යොමු කරලීය.

මේ ළඟ ෂූට් එකක් තිබුණා. ඉතින් අපිට හිතුණා මේ පැත්තට ඇවිත් යන්න.

ධර්මෙගේ සුපුරුදු වාග් රටාව නැවතත් පණ ගැණින.

ධර්මෙ සහ රාජා මේ දෙපොළ ජීවත්වනුයේ ස්වර්ණවාහිනී නාළිකාවේ දිග හැරෙන තරුමලී නාට්‍යයේය. ධර්මේ ලෙස රාජසිංහ ලෝලුවාගොඩ රඟනු ලබයි. නව පරපුරේ රංගන ශිල්පී උදයශාන්ත ලියනගේ රාජාට පණ පොවයි. ධර්මෙ රාජා එකමුතුව තරුමලී ටෙලි සිතුවම සඳහා අමුතුම ජීවයක් එක්වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි. දෙදෙනා අප සරසවියට ගොඩ වැදුණු නිසාම ඔවුන් සමඟ මොහොතක් කතා කළෙමි.

ලෝලු අයියේ මේ දවස්වල පාරෙ බැහැල යන්න බැරුව ඇති නේද ධර්මෙ නිසා?

මේ දැන් එද්දිත් කිහිප දෙනෙකුම ඇහැව්වා චණ්ඩි දෙන්නා කොහෙද යන්නෙ කියලා. සමහරු නම් මූණටම බනිනවා. රාජා, ධර්මේ කියන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්න තවකකුගේ උවමනා එපාකම්වලට සමාජ විරෝධී කටයුතුවල යෙදෙන දෙන්නෙක්. මේ වගේ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. මේක කාලයකට පස්සේ මට අත පය දිග හැරලා රඟපාන්න ලැබිච්ච චරිතයක්. මේ සඳහා මට ආරාධනා කළ තරුමලී හි රේඛීය නිෂ්පාදක චාමර සමරවික්‍රම, අධ්‍යක්ෂ මහේන්ද්‍ර කුලසිංහ සහ සහාය අධ්‍යක්ෂ තරංග නිරිඇල්ල, පිටපත් රචක සනත් සමරනායක යන මහත්වරුන්ව ආදරයෙන් මතක් කරනවා.

උදයශාන්තට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?

මං රඟපාන්න ඇවිත් ටිකක් කල් ගත වෙලා. ඒත් මෙතෙක් ලබා නොගත් ජනප්‍රියත්වයක් රාජා නිසා ලැබුණා කියලා මට විශ්වාසයි. කොහෙට ගියත් මට කතා කරන්නේ රාජා කියලා. මාව මේ චරිතයට යෝජනා කරලා තියෙන්නේ බුද්ධික කුලසේකර මහතා. ඔහුවත් මේ වෙලාවේ මතක් කරනවා.

මේ චරිත යුගල ඔබ දෙපොළට එක්තරා ආකාරයකට අභියෝගයක් යැයි මං පැවසුවහොත්?

ඇත්තටම ඒක මහත් වූ අභියෝගයක්.

ලෝලු එහෙම කිව්වේ ප්‍රශ්නය අහන්නටත් පෙරයි. උදයශාන්ත ඊට තව යමක් එකතු කළා.

අභියෝගයක් ්විතරක් නෙවෙයි ඒ දැඩි වගකීමක්. සමහර සටන් දර්ශන දෙපාරක් තුන් පාරක් ගන්න බැහැ. උදාහරණයක් කිව්වොත් ඇලක බැහැලා කරන ගැටුමක් තිබුණා. ඒක වන් ෂොට් ගන්න වුණා. මොකද එහිදී අපේ ඇඳුම් තෙමෙනවා. දෙපාරක් ගන්න වුණොත් ඒවා වේලෙනකම් ඉන්න එපායැ. ඒක හින්දා දැඩි වගකීමකින් යුතුව ඒ දර්ශනවලට මුහුණ දෙන්න වුණා.

ඇත්තටම ගහගත්තු අවස්ථාවලුත් ඇති? මා ලෝලු දෙසට හැරුණා.

මොකද නැත්තෙ. තරුමලී කැමරා අධ්‍යක්ෂ දිලීප පුස්සැල්ල අපට කියලා තියෙන්නේ කැමරාව තියන තැනවත් බලන්න එපා, ඇත්තටම ෆයිට් කරන්න කියලා. ඉතින් අපි එහෙම කරනවා. අතපය කැමරාවට වදියි කියලත් බයයි. කොහොම හරි එක සටනක් ඉවර වෙද්දී කට්ටියගෙම අතපයවලට හොඳ ගණං.

උදයශාන්ත, තරුමලී දර්ශන තලයේදී හොඳ හොඳ අත්දැකීම්වලට ඔබ දෙපොළ මුහුණ දුන්නාලු. ඒ ගැනත් කියමුකෝ. හැබැයි ඔය දෙන්නා නිතරම පදවාගෙන යන හරි අපූරු මෝටර් බයිසිකලය පිළිබඳ නොකියා ඉන්න එපා?

ඒ ප්‍රශ්නයට චණ්ඩියෝ දෙන්නටම හොඳටම හිනා. උදයශාන්ත ඊට පිළිතුරු දෙන්න හරිබරි ගැහුණා.

බයිසිකලයේ රස කතා පසුව කියන්නම්කෝ. හොඳම අත්දැකීම තමයි සුරාජ් මාපාට ගහලා බිම දිගේ ඇදගෙන යන එක. සුරාජ්ට නම් ඒක රසවත් නැතුව ඇති. කොහොම හරි සෑහෙන්න දුර ඔහුව ඇදගෙන ගියා. අපිට දුකයි. ඒත් මක්කරන්නද, මං පෙර කිව්වා වගේ අපි ඇත්තටම සටන් කළානේ. ඒ මොහොතකදී කාගෙදෝ අතක් මගේ කම්මුල පැත්තට බොහොම වේගයෙන් ආවා. ටක් ගාලා මං අයින් වුණා. නැතිනම් හක්කක් පිටරටින් ගේන්න තමයි වෙන්නේ.

බයිසිකලයේ විස්තර මෙන්න මෙහෙමයි.

උදයශාන්තගේ වචන ඇමිණුම අහවර වන තෙක් සිටි ලෝලු එහි ඉතිරිය කියන්න පටන් ගත්තා.

ඒක අපිට ඕන වෙලාවට ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. අපිට ඕන වන වෙලාවට නතර වෙන්නෙත් නැහැ. ඒක ස්ටාර්ට් කරන්න තියෙන්නේ වයර් දෙකක් එකට අමුණලා. ඔන්න දවසක් සීන්එකට රෙඩි වෙලා බයිසිකලය ස්ටාර්ට් කරන්න හදනවා, හදනවා බැහැ. එක පාරටම නොසිතූ මොහොතක එය පණ ගැන්වුණා. අපි දෙන්නවත් අරගෙන ඉදිරියේ තිබූ වැටකුත් පෙරළාගෙනයි ඒක නතර වුණේ. අපි බයිසිකලයෙන් යද්දී පොලිස් ජීප් එකක් අපිව ලුහුබැඳ එන සීන් එකකදී බයිසිකලය අපට නතරකර ගන්න බැරි වුණා. උදයයි මමයි කකුල් බිම ගහලා ගහලා යන්තම් නතර කර ගත්තා. ඒ දර්ශනය පාදුක්කේ බෝපෙ රූගත කළේ. ඒ හරියෙ හෙලවල් තියනවා. අපි තව මීටර් කිහිපයක් ඉදිරියට ගියා නම් දෙන්නම ලොකු හෙලක. මේක තමයි නියම කතාව. අපි දෙන්නා පල්ලමක බයිසිකලයේ එනවා. එකපාරටම ඉස්සරහින් තඩි නයෙක් යනවා. උදයටයි මටයි තරු පෙනුණා. බයිසිකලය නවත්ත ගන්නම බැහැ. කරන්න දෙයක් නැතිම තැන බයික් එක පැත්තකට කැපුවා. යන්තම් නයාගේ වලිගයේ ගෑවී නොගෑවී යන්න පුළුවන් වුණා. හත්දෙයියනේ බැරි වෙලාවත් නයාගෙ ඇඟ උඩට වැටුණා නම්?

ලෝලු කතාව අවසන් කළේ ප්‍රශ්නාර්ථයකිනි. දෙදෙනාගේම සේයාරූ කිහිපයක් තිබුණා නම් අගනේ යැයි සිතූ මා අප ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහට චණ්ඩියන් දෙපොළ බාර කළා. ඔහු ලෝලුගේ සහ උදයගේ තාත්ත්වික සේයාරූ රැසක් සිය කාචයේ සටහන් කර ගත්තා. මෙහි පළ වනුයේ ඉන් එකක්.

ඒ කටයුතු අවසන් කොට සුපුරුදු ගමන් රටාවෙන් නැවතත් තරුමලී දර්ශන තලයට මේ චණ්ඩි දෙන්නා පිටව ගියා.

රාජසිංහ ලෝලුවාගොඩ ගැන තවත් විස්තර ටිකක්

මේ වන විට දායක වී ඇති නිර්මාණ.

චිත්‍රපට – කුරුමිට්ටෙක් ඇවිල්ලා කරදිය, වස්සානයේ සෙනෙහස, පරපුර, හීරෝ නීරෝ, පාර්ලිමන්ට් ජෝක්ස්, සර් ලාස්ට් චාන්ස්, නිදි යහන කැළඹෙයි, අන්ඩර් වර්ල්ඩ්, සුපර් ස්ටාර්

ටෙලි නාට්‍ය - තරු අහසට ආදරෙයි, ඉස්සරහට යන්න, ගුරු ගීතය, සූරිය දරුවෝ, සෙනෙහස කවියක්, අහස සේ නුඹ අනන්තයි, සුදු ගින්දර, ඉසුරු සංග්‍රාමය

වේදිකා නාට්‍ය - මෘත ශරීරාගාරය

ගම – මීගමුව

පාසල - හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලය

ලෝලු මෙතෙක් තම ගමනට උදව් කළ ගෝතමී පතිරජ, ශ්‍රියානි අමරසේන, රන්ජන් රාමනායක, නාලන් මෙන්ඩිස්, බර්මින් ලයිලි ප්‍රනාන්දු, රංජිත් ජයසිංහ යන අයව ආදරයෙන් මතක් කළා.

මේ ලෝලුගේ දුරකතන අංකයයි. 0713398400

උදයශාන්ත ගැන තවත් විස්තර

මෙතෙක් දායක වී ඇති නිර්මාණ.

ටෙලි නාට්‍ය - සඳ නිදන හිමිදිරිය, අවසරයි පියාඹන්න, සඳවතියේ, ආදරියේ

ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ආදරියේ ටෙලි සිතුවමේ චූටියා හැටියට.

ගම – ගම්පොල, ගලත.

පාසල් - ගම්පොළ වික්‍රමබාහු, රන්තැටිය පිරිවෙන

බිරිය - ශීලා ප්‍රේමතිලක. ඇය දැනට ශ්‍රීී ජයවර්ධන පුර රෝහලේ සේවය කරයි. උදයශාන්ත ලෝලු මෙන්ම තම ගමනට ආශිර්වාදයක් වූ පිරිසව මෙසේ මතක් කළා. ලාල් වීරසිංහ, සමන් අල්මේදා, සුනිල් ප්‍රේම කුමාර, කඳපොළ කුමාරතුංග, තිශූල දීප තඹවිට, රිහාන් රවීන්ද්‍ර

මේ උදයශාන්තගේ දුරකතන අංකයයි 0776140147.