වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රසිකයන්ගේ නොවෙනස් ආදරය දේශපාලන පාටවලින් වෙනස්කර ගන්න කැමති නැහැ

රසිකයන්ගේ නොවෙනස් ආදරය දේශපාලන පාටවලින් වෙනස්කර ගන්න කැමති නැහැ

මම සුපිරි ජීවිතයක් ගත කරන වාසනාවන්ත නිළියක්

කාන්ති ලංකා අතීතය හෙළි කරයි

අගනුවරට සමීප මහරගම අති ජනාකීර්ණ නගරයක සිරි ගනී. මෙය ජනතාව අතරේ වඩාත් ප්‍රකටව ඇත්තේ පිළිකා රෝහල පිහිටි නිසාවෙනි. එම රෝහල් පාරේ කෙටි දුරක් ගිය තැන හමුවන පටුමගේ එක්තරා දැකුම්කලු නිවෙසක පදිංචිව සිටින්නේ වෛද්‍යවරයෙකි. ප්‍රදේශවාසීන්ගෙන් නොමඳ ගරුසරු ලබන රොහාන් පෙරේරා නම් නිහතමානී එම වෛද්‍යවරයා වත්මන බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමිල සේවයක් ඉටු කරයි.

අප ඔහුගේ නිවෙසට ගොඩ වැදුණේ කුමකටදැයි ඔබ දැන් සිතනු ඇත. ඒ වෙනකක් නිසා නොව ඔහුගේ සෙනෙහෙබර බිරිඳ මුණ ගැසීම පිණිසය. ඇය කාන්ති ලංකාය. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කාන්තිමත් කළ, දැනුදු අප මතකයෙන් මිලින නොවූ රංගන ශිල්පිනියකි. ඇය සරසවිය පුවත්පත ගැන කෘතවේදීව කතා කරන තවත් කෙනෙකි.

* ඔබ ඉපදුනේ කවදාද?

දෙසැම්බර් 27 වෙනිදා. හරි සුන්දර මාසයක්. මේ මාසයට ශිත මාසය, ශුද්ධ මාසය, ක්‍රිස්තු මාසය කියලත් කියනවා.

* ඔබේ සම්පූර්ණ නම මොකක්ද?

ඉරිප්පුගේ කාන්ති ලංකා ප්‍රනාන්දු. නමුත් දැන් භාවිත කරන්නේ කාන්ති ලංකා පෙරේරා කියා.

* ඔබ ඉපදුණේ කොහෙද?

වැල්ලවත්තට නුදුරු පාමන්කඩ. මෙහි රජ කාලේ නිරන්තරයෙන්ම සිංහල හේවායන් පා ගමනින් යෑම සංකේතවත් කරමින් පා මංකඩ පාමන්කඩ ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.

* ඔබේ මවුපියන් කවුරුන්ද?

පියා ලූකස් ප්‍රනාන්දු. ඔහු කාර්ගිල්ස් ආයතනයේ පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කළා. මව ගුරුවරියක්. නමින් තිලකා පීරිස්.

* ඔබ අධ්‍යාපනය හැදෑරූ පාසල කුමක්ද?

මහරගම විද්‍යාකර විද්‍යාලය. ඒක මිශ්‍ර පාසැලක්.

* ඔබේ පවුලේ සාමාජික පිරිස කීයද?

පිරිමි පහයි. එකම ගැහැනු දරුවා මම. ඒ නිසා සුරතලේට හැදුණා.

* ඔබේ පවුලෙත් කලාවට සම්බන්ධ අය සිටියාද?

මගේ පුංචි අම්මා වේදිකා නාට්‍ය ශිල්පිනියක්. නම ලලනි ජයසිංහ. ඇය දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යවල රඟපෑවා.

* ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

අපේ නිවෙස අසලමයි ජී. ඩී. එල්. පෙරේරා පදිංචිව සිටියේ. ඔහු රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ආරාධනා කෙරුවා. නමුත් රඟපෑම ගැන මගේ කිසිම ප්‍රබෝධයක් තිබුණේ නැහැ. කෙසේ හෝ පුංචි අම්මාගේ උනන්දුව මත එම චිත්‍රපටයේ ජුලිියට්ගේ යෙහෙළියක ලෙස රඟපාන්න සිදු වුණා. මුලින්ම රූපගත කළ දර්ශනයේ පෙනී සිටියේ මායි ජෝ අබේවික්‍රමයි. රෝමියෝ ජූලියට් කතාවක් තිරගත කළේ 1969.

* ඉන් ඉක්බිති ඔබ කතා නායිකාව ලෙස ඉදිරියට පැමිණියා නේද?

ප්‍රියංකා චිත්‍රපටයේ ප්‍රධාන දඟකාර චරිතයට මාව තෝරා ගත්තේ කතා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න. විජය කුමාරණතුංග මුල් වරට ප්‍රධාන චරිතය රඟපෑවේ මේ චිත්‍රපටයේ. අධ්‍යක්ෂවරයා අමරනාත් ජයතිලක. සිලෝන් තියටර්ස් නිෂ්පාදනයක්. සිතිජය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයත්, සුජීීවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් රඟපෑවා. මගේ නිගමනය පරිදි මගේ නම රැන්ඳූ චිත්‍රපටය ජෝ දේව් ආනන්ද් ගේ සුජීවා. ඔය චිත්‍රපටයේම රඟපෑ ෆෙ‍්‍රඩී සිල්වා තමන් ඉදි කළ නිවෙස නම් කළේත් එනමින්. එක හිත චිත්‍රපටයේ සැලකිය යුතුª චරිතයක් රඟපෑවා. කෝකිලයෝ චිත්‍රපටයේ මම භාරගත් භූමිකාවෙන් ඉවත් වුණා. පසුව ඊට ශිරාණි කුරුකුලසූරිය තෝරා ගත්තා.

* එබඳු තීරණයක් ගන්න කිසියම් හේතුවක් බලපෑවද?

පෞද්ගලික හේතු නිසා ගන්නා ලද තීරණයක්. මේ නිසා අහස් ගව්ව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය අත හැරියා. බම්බලපිටිය තට්ටු නිවාස සංකීණයකදී රූපගත කළ මෙහි දර්ශන කිහිපයක රඟපා සිටියදීයි එහෙම කළේ. ජෝ දේව් ආනන්ද් ගේ චිත්‍රපට දෙකක් සඳහා කළ ආරාධනා පිළිගත්තේ නැහැ. දරා ගන්න බැරි කනගාටුව හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑමට ලැබුණු අවස්ථාව පැහැර හැරීම. සුරේඛා මම ප්‍රතික්ෂේප කළ තවත් චිත්‍රපටයක්.

* එතකොට ඔබ යළිත් සිනමාවෙන් දකින්න පුළුවන් වුණේ කෙසේද?

මම සීමා මායිම් සියල්ලම කඩා බිඳ දැමුවා. නැවත මගේ දෙවන සිනමා සම්ප්‍රාප්තිය ඇති කළේ දයාබර නිලූ චිත්‍රපටයෙන් 1991. එතැන් සිට අරාධනා ලැබුණු පිළිවෙළට රංගන දායකත්වය ලබා දුන්නා.

* ඔබ රඟපෑ ඉතිරි චිත්‍රපට මොනවාද?

ආරාධනා, හලෝ ශ්‍යාමා, මැණික් මාළිගා, වැල්ලේ තැනූ මාළිගා, ආදර හසුන, ප්‍රාර්ථනා, සඳකඩ පහන, පෙම් රජදහන, බඹසර බිසව්, නෙළුම් සහ සමන්මලී, නින්ජා ශ්‍රී ලංකා, චක්‍රායුධ යන චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑවා. ජය අපටයි, හිත හොඳ නම් වරදින්නේ නැහැ ප්‍රධාන චරිත නිරූපණය කළ මම එදත් චණ්ඩියා අදත් චණ්ඩියා සමඟ එක්වුණේ දුෂ්ට චරිතයකින්. මවක ලෙස රඟපෑ සතුටයි කිරුළ අපේ 1998 ප්‍රදර්ශනය කෙරුවා. විජය නන්දසිරි සමඟ ප්‍රධාන කාන්තා චරිතය පණ පෙවූ රන්දේදුන්න පසුව තිරයට පැමිණියේ ජය කොතැනද නමින්.

* ඔබේ අවසන් රංගනය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?

මම සිනමා රංගනයට සමුදීලා නැහැ. දැනට මම රඟපෑ අලුත්ම චිත්‍රපටය සෙනසුරු මාරුව නමින් පසුගිය වසරේ ප්‍රදර්ශනය කළා. එය ආරාධිත රංගනයක්. මුදල් ගෙවීමට අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කෙරුවත් මුදල් භාර ගත්තේ නැහැ.

ඔබ ඉදිරියටත් චිත්‍රපටවල රඟපාන බව සත්‍යයක්ද?

ඔව්. සැමියාගෙන් පූර්ණ නිදහස ඊට ලැබී තිබෙනවා. එහෙත් ගෘහනියක වශයෙන් කාර්ය බහුලත්වයක් තිබෙන හෙයින් වයසට ඔබින සැලකිය යුතු චරිත පමණක් තෝරා ගැනීම සිදු විය හැකියි. කොහෙත්ම අතිශය වැඩිහිටි චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ නැහැ. සහතිකයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ සිහිනයක් ද තිබෙනවා. හොඳ වානිජ නිර්මාණයක් මිසක තුට්ටු දෙකේ කසිකබල් චිත්‍රපටයක් නෙවෙයි.

* ඔබ වේදිකා හෝ ටෙලි නාට්‍යවල රඟපා තිබෙනවාද?

වේදිකාව ආගන්තුකයි. ජොසපිනාගේ පින, සමන්ති, සතුටු කඳුළු කියන ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑවත් එම ක්ෂේත්‍රයට මගේ එතරම් ළබැදියාවක් නැහැ. බොහෝ ටෙලි නාට්‍ය චරිත බොළඳයි. සරලයි.

* ඔබ ගෘහනියක් හා මවක් හැටියට දරු මල්ලන් ගැන සඳහන් කරන්න සතුටුද?

මගේ එක දියණියක් ගණකාධිකාරිනියක්. ඇය විවාහකයි. සැමියා විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ. අනික් දියණිය ගාෂිනී ඉංජිනේරුවරියක්. පදිංචිය ඇමෙරිකාවේ. පොඩි දුව විණාවි වෛද්‍ය ශිෂ්‍යාවක්. දියණියන් ගැන සිතන කොට මහත් ආඩම්බරයක් දැනෙනවා සිතට.

* ඔබේ වත්මන් ජීවිතය කෙබඳුද?

අති සාර්ථකයි. වසන් නොකොට කියනවා නම් සුපිරි ජීවිතයක් ගත කරන වාසනාවන්ත නිළියක්. මට පසුතැවෙන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. මම රොහාන්ටත්, ඔහු මටත් පුදුම ළෙන්ගතුකමක් හා බැඳීමක් පවතින්නේ. දරුවනුත් අපිට එහෙමයි.

* ඔබට තිබෙන ජනප්‍රියත්වය හේතුවක් කොට ගෙන දේශපාලනයට පිවිසෙන්න බලාපොෙරොත්තුවක් නැද්ද?

අපිට රසිකයින් එදත් ආදරෙයි. අදත් ආදරය කරනවා. ඔය නෙවෙනස් වන ආදරය පාටවලින් බෙදා වෙන් කර ගන්න මම අසතුටුයි.

* ඔබ රඟපෑ චිත්‍රපට පුංචි තිරෙන් දකින විට හිතෙන්නේ මොනවාද?

නොදැනුවත්ම අතීතයට පියඹා යනවා. රඟපෑ චරිතවලට මගෙන් සාධාරණයක් ඉටු වුණාද කියලා හිතනවා. මගේ වාසනාවට චිත්‍රපට දෙක තුනක් හැරුණු විට අනිත් ඒවා සංරක්ෂණය වෙන බව අහන්නත් සතුටුයි. ප්‍රියංගා චිත්‍රපටයේ පිටපතක් සොයා ගන්න තිබෙනවා නම් එය මම මිලදී ගන්න සූදානම්. එපමණට ඒ චිත්‍රපටය මගේ හදවතට බැඳිලා.

* ඔබ සරසවිය පුවත්පත තවමත් කියවනවාද?

සිනමාවට මම හරිම ආදරෙයි. එහෙම නම් සරසවිය පුවත්පතින් තොර කලා ජිවිතයක් ගෙන යන්න අසීරුයි. සරසවිය මම කියවන්න පටන්ගෙන අවුරුදු 40 ක් පමණ වෙනවා. අදටත් අපි බලන ජාතික පුවත්පත්වලට අතිරේකව සරසවිය නිවෙසට ගෙන්වා ගන්නවා.

* ඔබව අමතක කරන්න බැරි අපේ සරසවිය පාඨකයින්ට ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරන්න කැමතිද?

කිසිම අකමැත්තක් නැහැ. ලිපිනය අංක 14/5 ඒ, පළමුවෙනි පටුමග, පිළිකා රෝහල පාර, මහරගම. දුරකථන අංකය 011-2840234. කාර්යබහුල අවස්ථාවලදී දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොලැබෙන්න පුළුවන්.