වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එළුවෙක් වූ නළුවෙක්

එළුවෙක් වූ නළුවෙක්

ෂාරුක් ඛාන්ගේ ජීවිත කතාවේ ‘බැහැ’ යන වචනයට ඇත්තේ අඩු ඉඩකි. සාමාන්‍ය පවුලක ඉපදී දිල්ලි නුවරින් මූම්බායි පැමිණ ඔහු සුපිරි තරුවක වූයේ පවුල් උරුමයකින් නොවේ. එය එසේ නම් මේ දිරිය පුතු නිතරම ‘බැහැ’ කියන එළුවකුට සමාන කරන්නේ කෙසේ ද?

ජාතික සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන ජානකී විශ්වනාදන් ෂාරුක් ඛාන් නම් එළුවකු වටා ගෙතුණු කතාවක් සිනමාපටයකට නැඟීමට සූදානමින් සිටින්නීය.

‘මේ එළුවකු හා කුඩා ළමයකු වටා ගෙතුණු හාස්‍ය රසය ගෙන දෙන සිනමාපටයක්. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සුපිරි තරු නමින් නම් කළ සුරතල් සතුන් ඕනෑ තරම්.

එළුවන් විශාල වශයෙන් ඝාතනය කෙරෙන ගම්මානයක මරන්නට ගෙන ආ එළුවකු ෂාරුක් ලෙස නම්කර ඇති අතර කතාව ගෙතෙන්නේ ළමයා සහ ඒ එළුවා වටායි.

සල්මන් ඛාන් නමින් එළුවකුත් එහි සිටිනවා. එහෙත් වඩාත් සුවිශේෂී එළුවා වන්නේ ෂාරුක්’ අධ්‍යක්ෂිකාව සිනමාපටය ගැන එසේ විස්තර කළාය.

එහෙත් බොලිවුඩයේ ගෞරවනීයම චරිතයක් වන ෂාරුක්, මේ චරිතය කෙසේ භාර ගනීවිදැයි කියා දැන්ම කිව නොහැකිය. ‘ඕම් ෂාන්ති ඕම්’ සිනමාපටයේ ෂාරුක් ඛාන්ට චෝදනාවක් එල්ල වූයේ ප්‍රවීණ නළු මනෝජ් කුමාර්ට අපහාස කළා කියායි. මේ කළකම් පලදීමක් වැනි යැයි සමහරු කියති.


පණ පිටින් මරා දමයි

අන්තර්ජාලය, ජංජාලයක් ඇති කරන්නේ අදක ඊයෙක නොවෙයි. මිනිසා හෘදයාබාධයකට ක්ෂණිකව ගොදුරු කිරීමට තරම් බියජනක පුවත් මේ මායා ජාලය ගෙන එයි. මෝඩයාගේ මාසය බොලිවුඩය නොබෝදා කම්පනයට පත් කළේ එවන් වූ හද ගැස්ම වේගවත් කරන පුවතකිනි. හිම ක්‍රීඩාවේ යෙදී සිිටියදී ආයුෂ්මාන් කුර්නා මිය ගියා.

පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් සමඟ ස්විස්ටර්ලන්තයේ නිවාඩු සමය ගත කරද්දී සීමට්වල ඔහු හිම ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ආයුෂ්මාන්ට හිම පුවරුව පාලනය කළ නොහැකි වී ඉතා වේගයෙන් ගසක වැදීමෙන් ක්ෂණිකවම මිය ගොසින්. වහාම ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් ඒ වන විට ඔහු මිය ගොස් අවසානයි.

ආයුෂ්මාන් හිස් ආවරණයක් පැලඳ සිටියත් අනතුරට ගොදුරු වෙලා. ක්‍රීඩා කරන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයකර තිබුණු බවට සාක්ෂි ලැබී නැහැ.’ මේ පුවත සමාජ වෙබ් අඩවි ගණනාවකම ප්‍රධාන පුවත බවට පත් වී තිබුණි.

ප්‍රවෘත්තිය රසික කැල කම්පනයට පත් කරද්දී ආයුෂ්මාන් සිය නවතම සිනමාපටය ‘නෞතන්කි සාලා’ ලෝක පූර්ව දර්ශනයට සහභාගිවීම සඳහා ඩුබායි ගොස් සිටියේය. පුවත කන වැකුණු සැනින් ඔහු ට්වීටර් වෙබ් අඩවියට තමන් හොඳින් සිටින බව දැන්නුවේය.

ඔහුගේ ඒ පණිවුඩය දුටු සියල්ලෝම දෙවියන්ට ස්තුති කළහ.

ආයුෂ්මාන් කුර්නා යනු බොලිවුඩයේ හද දිනූ සිහින කුමරෙකි. රංගනයෙන් පමණක් නොව ගායනයෙන් ද දස්කම් පාන තරුවකි.

පසුගිය වසරේදී ‘විකී ඩෝනර්’ සිනමාපටයේ රංගනයට හා ගායනයට හොඳම නළුවා හා හොඳම ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ඔහුයි.

විසි අට හැවිරිදි ආයුෂ්මාන් කුර්නාට මරණය යන අකුරු හතර මේ වසරේ මුල සිටම වධ දෙයි. දිල්ලි නුවර රූගත කිරීමක යෙදී සිටියදී කුර්නාට නිවෙසේ අත් උදව්කරු විසි හය හැවිරිදි ශිව් ප්‍රසාද් හදිසියේම මිය ගිය බව ආරංචි විය. එයින් ද ඔහු කම්පාවට පත් වූ බව කියවෙයි.

හොඳින් ජීවත්වෙන තරු මරා දැමූ පළමු අවස්ථාව මෙය නොවෙයි. ඇඩම් සැන්ඩ්ලර්, ඩෙන්සල් වොෂිංටන්, ජිම් කැරේ, ආර්නෝල්ඩ් ස්වාසනගර් හිම ක්‍රීඩාවේ යෙදී සිටියදී මිය ගිය බවට පුවත් මීට පෙර පළ වී තිබුණි. ටොම් කෲස්, ජස්ටින් බීබර්, මිකී රෝක්ට ද අන්තර්ජාලය එම ඉරණමම ලබා දුන්නේය. කෙසේ වෙතත් මෙසේ ව්‍යාජ මරණයකට ගොදුරු කරවන්නේ අතිශයින් ජනපි‍්‍රය තරු නිසා ආයුෂ්මාන්ට යම් තරමකින් සිත සනසාගත හැකියි.


ජැකලින් රේස් සමඟ රේස් යයි

බොලිවුඩයේ ශ්‍රී ලාංකේය සලකුණ ජැකලින් ෆර්නැන්ඩස් ‘රේස් 2’ සාර්ථකත්වයත් සමඟ අතිශයින් කාර්යය බහුල වී තිබේ. කාර්යය බහුලත්වයේ ගිමන් නිවා ගැනීමට ඇය තෝරා ගෙන ඇත්තේ රෝමයයි. ලැබුණු සුළු විවේකයේදී ඇය රෝමයට යන්නේ පියාගේ උපන් දිනය සැමරීමටයි. රෝමය ජැකලින්ගේ පියාගේ ප්‍රියතම නගරයකි. ඔහු එහි නිතරම යන්නේය.

විමෝද ගමනින් පසු ඇය ජූනි මාසයේ තිරගතවීමට නියමිත ‘රම්‍යා වාස්තවයිවා’ විශේෂ දර්ශනයක් සඳහා පෙනී සිටීමට නියමිතයි.