වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන් – රෙක්ස් - වීණා එක් වන හැම්ලට් සිංහල සිනමාවට

ජීවන් – රෙක්ස් - වීණා එක් වන හැම්ලට් සිංහල සිනමාවට

සංගීත් විජේසූරිය සිනමා රංගනයට
හැම්ලට් සහ ඔෆිලියා කවුරුන්ද?

මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ හැම්ලට් කෘතිය පාදක කර ගනිමින් තැනෙන සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු අද කොළඹ සුදර්ශි ශාලාවේදී ඇරැඹිණි.

ජීවන් කුමාරතුංග ක්ලෝඩියස් ලෙසත් රෙක්ස් කොඩිප්පිලි පිලොනියස් ලෙසත් වීණා ජයකොඩි ගර්ටිරූඩ් ලෙසත් චරිත මවන මෙහි ශ්‍රී ලංකාවේ ශේක්ෂ්පියර් කේන්ද්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට දායාද කළ සරත් දික්කුඹුර, බුද්ධික අබේරත්න, නිශාන්ත ජයතිලක, විජිත් මැදිවල, ලාලි තිලකරත්න, නයනා කුමාරි, උමයංගනා වික්‍රමසිංහ රඟපෑම සඳහා යෝජිතය.

ගායක සංගීත විජේසූරිය රඟමින් මුල්වරට සිනමාවට එක් වන්නේද මේ චිත්‍රපටයෙනි.

නිමල් නාකල්දල කැමරාව මෙහෙය වන අතර සහාය අජිත් තෙල්දෙනියගෙනි.

ප්‍රදීප් ජයතිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද ඩෙස්මන්ඩ් ද සිල්වා සහ නීලා වික්‍රමසිංහ ගායනයෙන් ද, චන්න විජේවර්ධන නැටුම් නිර්මාණයෙන් ද ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද හර්ෂනාථ පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටිති.

වසන්ත උපුල් ඇඳුම් නිර්මාණය කරයි. සෝමපාල ලීලානන්ද නිෂ්පාදන උපදේහකවරයාය.

කුමාරි පෙරේරා දව්සලා ලේකම්වසම්, කිත්සිරි හේවාගමගේ සහාය අධ්‍යක්ෂවරුන් වේ.

නිමල් චන්ද්‍රසිරි, ඔබිනාමුණි ධම්මික ද සිල්වා, රුෂාන් පුනාන්දුපුල්ලේ, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේගුණරත්න, ප්‍රදීප් ජයතිලක, කේ. ඒ. සිරිවර්ධන, රාහුල් පෙරේරා, සනත් රත්නායක, ඉන්ද්‍රජිත් සරණසේකර, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ශේක්ෂ්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා වෙනුවෙන් හැම්ලට් චිත්‍රපටය නිෂ්පාදනය කරති. රොහාන් වැලිවිට තාක්ෂණික සේවා සපයයි.

චිත්‍රපටයේ හැම්ලට් සහ ඔෆිලියා චරිත සඳහා තවමත් නළු නිළියන් තෝරා නැත.

ඒ සඳහා නවකයන් දෙදෙනකු තෝරා ගන්නා බව අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.

හැම්ලට් සිනමා කෘතිය මෙරට ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අධ්‍යක්ෂණය කරයි. හැම්ලට් නාට්‍යය ලෝකයේ විවිධ භාෂාවලින් තිරයට නැගුණ පුවතකි.