වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න රටවිරුවෝ

මෙන්න රටවිරුවෝ

කලා හැකියාවන් බොහෝ දෙනාට උරුමව තිබුණත් තරු ලෙස කලා ලොවට පායන්න වරම් ලැබෙන්නේ ඒ අතුරින් ටික දෙනකුට විතරයි. විවිධ ක්ෂේත්‍රවල රැකියාවන්හි නිරත වුවත් ඔවුන්ගේ කලා හැකියාවන් නම් යටපත් වෙන්නේ නැහැ. මෙවැනි හැකියාවන්ගෙන් යුතු වූ සැමට අද වේදිකා රැසක් විවෘත වෙලා තියෙනවා. ඒ අතර ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාවත් සුවිශේෂී වෙනවා. අපේ රටේ ආර්ථිකය තව තවත් සවිමත් කිරීමේ භාරදූර කටයුත්ත සමඟින් විදෙස් රැකියාවන්හි නියුතු සොයුරු සොයුරියන්ගේ ගායන, නර්තන හැකියා දැක්වීමට ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් විවෘත වෙලා තියෙන්නේ කටාර් හි සේවයේ නියුතු වුවන්ටයි. ඒ අනුව ලබන 28 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට පැමිණෙන්නේ මේ පිරිසයි.

2008 වසරේ සිට කටාර් හි වායුසමීකරණ කාර්මික ශිල්පියකු ලෙස සේවයේ නිරත මීගමුවේ සාගර නදීපති පෙරේරා සිය ගායන හැකියාවන් දක්වන්න නියමිතයි. කුඩා වියේ සිට ගායනයට ලැදි සාගර මීට ඉහත දී සිරස සුපර් ස්ටාර් හි දෙවන වටය දක්වා පැමිණි තරගකරුවෙක්. ගායනයට අමතරව ඔහු ඩ්‍රම්ස් වාදනයටත් දක්ෂතා දක්වන්නෙක්.

මීළඟට රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්නේ මහනුවර ක්‍රිෂාන්ත නයනජිත් වීරසිංහ. සිය ගායන හැකියාවන් එළි දැක්වීමට බලාපොරොත්තු වන ක්‍රිෂාන්ත පාසැල් කාලයේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති අතර තරඟ සඳහා සහභාගි වී ජයග්‍රහණ ද හිමි කරගෙන තිබේ. 2009 වසරේදී කටාර්හි සේවයට එක් වූ ඔහු භෝජනාගාර සේවකයෙකුª ලෙස රැකියාවේ යෙදී සිටියි.

උදිත මේනක කටාර්හි රට විරුවෝ වේදිකාවේ සිය නර්තන හැකියාවන් දක්වන්නට බලාපොරොත්තු වන තවත් තරුවක්. මර්සිඩිස් බෙන්ස් ආයතනයේ ණය පාලක ලෙස සේවය කරන උඩුගම්පළ උදිත, එහි සේවයට එක්වන්නේ 2008 වසරේදීයි. පාසල් අධ්‍යාපනය හමාරවන තෙක්ම විෂයක් ලෙස නර්තනය හදාරා ඇති ඔහු උඩරට නර්තන ශිල්පියකුª ලෙස වෙස් බැඳීම ද සිදු කර ඇත.

කටාර්හි ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස සේවය කරන සම්පත් ප්‍රියදර්ශන ජයසේකර ගායන හැකියාවන් උරුම කරගත් තරුණයෙක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු කටාර් හි මීට ඉහත දී පැවැති සුපර් ස්ටාර් ගායන තරගයකින් සත්වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. වරකාපොල පදිංචි සම්පත් විදේශ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදීය.

හසිත් චන්දීර කටාර් හි ‘රට විරුවෝ’ වේදිකාව සරසන නර්තන තරුවක්. උසස් පෙළ දක්වාම නර්තනය විෂයක් ලෙස හදාරා ඇති හසිත් උඩරට වෙස් බැඳී නර්තන ශිල්පියෙක්. පාසල් කාලයේදී නර්තන තරග සඳහා සහභාගී වී ඇති ගනේමුල්ලේ පදිංචි හසිත් ගායනයට ද දස්කම් දක්වන්නෙක්. 2011 වසරේදී විදේශ සේවයට එක් වූ ඔහු කාර්මික ශිල්පිියෙකු ලෙස සේවයේ යෙදී සිටියි.

රජීව නිර්මාල් මෙවර ‘රට විරුවෝ’ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන හැකියාවන් ඔබට පෙන්වන්නයි. මීට පෙර තානාපති කාර්යාලය විසින් පවත්වන ලද සුපර් ස්ටාර් තරගයේ දෙවන ස්ථානය දිනාගත් ගායන තරුවකි. කටාර් හි අලෙවි ප්‍රවර්ධක නිලධාරිවරයකු ලෙස සේවයේ නිරත රජීව නිර්මාල් විදේශ සේවයට එක් වී ඇත්තේ 2007 වසරේදීය.