වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිද්ධාර්ථ සොයාගත්තේ 400 ක් අතුරින්...

සිද්ධාර්ථ සොයාගත්තේ 400 ක් අතුරින්...

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නළු නිළියන් තේරූ හැටි කෞෂල්‍යා වික්‍රමසිංහ කියයි

බුද්ධ චරිතය තේමා කොට ගනිමින් තැනුණු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නිපදවෙන්නේ බොහෝ පිරිසකගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. චිත්‍රපටයක සාර්ථකත්වයට වෙහෙසෙන බොහෝ දෙනා කරළියට එන්මෝ නොවෙති. ඔවුන් නිහඬ චරිත පමණි.

චිත්‍රපටයේ ඔබ දුටු ඉන්දීය නළු නිළියන් මේ චිත්‍රපටයට සම්බන්ධ වූයේ අහම්බයෙන් නම් නොවේ.

කලා ක්ෂේත්‍රයේ නොයෙක් ඉසව් සොයා යන දිගු ගමනේදී සරසවිය අද මේ ඉඩ වෙන්කරන්නේ මෙතෙක් රහසක්ව තිබූ මේ කරුණ හෙළි කරන්නටයි.

ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයේ ඉන්දීය නළු නිළියන් සම්බන්ධීකරණයෙන් සහාය වූ කෙෂල්‍යා වික්‍රමසිංහ නොබෝදා සරසවියට ගොඩ වැදුණේ මේ පිළිබඳ කරුණු හෙළි කරන්නටයි.

කෞෂල්‍යා ඔබ ඉන්දියාවට යන්නේ සංගීත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන්නටයි. එහෙත් ඔබ කොහොමද ඉන්දීය නළු නිළියන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සඳහා සම්බන්ධීකරණයෙන් සහාය වූයේ?

මගේ උපන් ගම ගාල්ලේ. මම පාසල් ගියේ ගාල්ලේ සවුත්ලන්ඩ් විදුහලට. කලා අංශයෙන් උසස් පෙළ කිරීමෙන් පසු බී. වික්ටර් පෙරේරා ගුරුතුමා යටතේ වයලීනය හැදෑරුවා. ඊට පසු සංගීතවේදී උපාධිය සඳහා 1998 දී ඉන්දිරා කලා සංගීත් විද්‍යාලයට ඇතුළු වුණා. ඉන් පසුව තබ්ලා වාදනය හැදෑරීම සඳහා ප්‍රයාග් සංගීත් ඇකඩමියට මාව යොමු කළේ අලහබාද් විශ්ව විද්‍යාලයේ ලක්නව් ගරානා සංගීත පරම්පරාවේ නායකයා වන උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් සංගීත ගුරුවරයායි. මෙතුමාව මට හඳුන්වා දුන්නේ තබ්ලා වාදක පේෂල මනෝජ් මහතායි. උසස් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් කිරීම සඳහා බැංග්ලෝර්වල පිහිටි ගී‍්‍රන් වුඩ් හයි විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 2 ක කාලයක් කටයුතු කළා. මෙහිදී තමයි මම බොලිවුඩ් සිනමාව පැත්තට යොමු වුණේ. හින්දි චිත්‍රපට නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ ආයතන බොහොමයක් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. මේ අයගේ සහයෝගය අනුව තමයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට නළු නිළියන් සම්බන්ධීකරණය කළේ.

ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයට නළු නිළියන් සම්බන්ධීකරණය කිරීමේ අවස්ථාව උදා වුණේ කොහොමද?

මට මේ අනගි අවස්ථාව උදා කර දුන්නේ චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී සමන් වීරමන් මහතායි.

චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝර ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව පැහැදිලි කළොත්?

අපි මෙහි වැඩ ආරම්භ කළේ 2010 වසරේදී. නළු නිළියන් තෝරා ගැනීමේදී අපි අනුගමනය කළ යුතුª නිර්නායකයන් හඳුනාගෙන තිබුණා. ඒ අනුව තමයි සම්මුඛ සාකච්ඡා පැවැත්වූයේ. එහිදී සිද්ධාර්ථ චරිතය සඳහා 400 දෙනකු පමණ සහභාගි වුණා. යශෝධරා දේවිය සඳහා 350 ක් පමණ. මහා මායා දේවිය සඳහා 300 ක් පමණ. දේවදත්ත කුමරු සඳහා 200 ක් පමණ සහභාගි වුණා. මේ අතරින් තමයි අපි ගගන් මලික්, අන්චල් සිං, අංශු මලික්, ගෞතම් ගුලාටි යන අය තෝරා ගත්තේ. මේ අයගේ පළමු චිත්‍රපටය වීමත් විශේෂත්වයක්. මේ පිරිස් මීට පෙර ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්විම්වලට සීමා වී සිටි අයයි. මේ අය අපට ලබා ගැනීම සඳහා සහයෝගය දුන්නේ ෂහීද් හසන් මගේ මිත්‍රයායි. ඔහු පවත්වාගෙන යනවා නළු නිළි පුස්තකාලයක් (කාස්ටින් බෑන්ක්). මේ චිත්‍රපටයේ රඟපෑමට වරම් ලැබූ ගගන් මලික්ට අද ඉන්දියාවේ අලුතින් ආරම්භ කළ රාමායනය දීර්ඝ ටෙලි නාට්‍යයේ රාම කුමාරයාගේ චරිතය ලැබී තිබෙනවා. ඒ පිළිබඳ මලික් අපට ස්තුතිය පවා පුද කළා.

කෞෂල්‍යා ඔබ හින්දි චිත්‍රපට මෙරටට ගෙන ඒමේ ව්‍යාපාරයක නියැළී සිටියා නේද?

ඔව්. දෝනා, ගජනී, ෆා, ලව් ආජ්කල්, ස්ලම් ඩෝග් මිලියනය, නිව්යෝක් වැනි චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා ගෙන ආවා. මම චිත්‍රපට මෙරටට ගෙන ඒමේ ස්වාධීන ආනයනකරුවකු ලෙස කටයුතුª කරනවා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට දායක වූ නිසාත්, අද වෙළෙඳ පොළේ ඇති තරගකාරීත්වය නිසා චිත්‍රපටයක් ගෙන ඒමේදී ලොකු පිරිවැයක් දැරීමට සිදුවන නිසාත් තාවකාලිකව චිත්‍රපට ගෙන ඒමේ කටයුතු නවතා දමා තිබෙනවා.

ඔබ තවමත් යෞවනයේ පසුවන්නියක්. හදාරන්නේ ශාස්ත්‍රිය සංගීතය, කරන්නේ චිත්‍රපට මෙරටට ගෙන ඒම. ගායක ගායිකාවන් සහ නළු නිළියන් සම්බන්ධීකරණය විදේශ රටවල් සමඟ ඔබ තනියෙන් කටයුතු කිරීමේදී ඇතිවන බාධක බොහෝ ඇති?

ඔව්. අපේ පවුලේ බොහෝ අය මේ සඳහා වැඩි කැමැත්තක් නැහැ. ඔවුන් කියන්නේ ශාස්ත්‍රීය සංගීතය පැත්තෙන් යමක් කරන්නයි. නමුත් මගේ මව මගේ මේ ගමනට ආශිර්වාදයක් මෙන්ම ලොකු ශක්තියක් වීම නිසා එන බාධක ජයගෙන ක්ෂේත්‍රයේ නියැළී සිටිනවා.

පාසල් අවධිය මෙන්ම ඔබේ පවුලේ විස්තර ටිකක් කියමු?

මගේ මව රෝහිණී ගුණවර්ධන, පියා නාගානන්ද වික්‍රමසිංහ, එකම සහෝදරයා නුවන් වික්‍රමසිංහ. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා සිංගප්පූරු බලා යනවා. මම සංගීතයට අත් පොත් තබන්නේ පාසලේ 6 වසරේදී. වයලීනයට පෙම් කළ මගේ පළමු වයලීනය මට ලබා දුන්නේ මගේ මවයි. ඇය පුවත්පත්වලට කවි ලිව්වා. කලාවට බොහෝම ලැදියි. පාසල් අවධියේදී සංගීත අංශයේ සමස්ත ලංකා තරග බොහොමයක පළමු ස්ථානය මගේ පාසලට හිමිකර දෙන්නට හැකි වුණා. එය මට ලොකුª සතුටක්.

කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉසව් ස්පර්ශ කරමින් යන මේ ගමනේදී ඔබට ස්තුති කරන්නට බොහෝ අය ඇති?

පළමුව මගේ අම්මා ඇතුළු මගේ පවුලේ සැම, ග්‍රීන් ලංකා සමාගමේ තුෂානි නානායක්කාර මහත්මිය, ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරයේ අසංක එදිරිසිංහ, ලයිට් ඔෆ් ඒෂියා ආයතනයේ අධිපති නවීන් ගුණරත්න, රංජනී, චන්ද්‍රදාස දහනායක, සීතා සෝමපාල යන මගේ පාසල් ගුරු භවතුන්ට, රිලයැන්ස් මල්ටි මීඩියා ආයතනයේ ගයත්ත්‍රී බන්ත්‍රා, මෝෂන් ෆිල්ම්ස් ආයතනයේ ශරන්පාල්, අමෙරිකාවේ පදිංචි මගේ නැන්දණිය චන්ද්‍රානි අල්විස්, සමන් වීරමන්, නවීන් ගුණරත්න, ජෝර්ජ් කල්දාන, චන්ද්‍රන් රත්නම්, කේ. ඩී. දයානන්ද, ජෙෆ් ගුණවර්ධන යන මහත්වරුන් ඉතාමත් ගෞරවයෙන් මා සිහිකරනුයේ මට ලබා දුන් සහායට ස්තුති කරන්නටයි.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන යමක් කියමු?

තවත් චිත්‍රපටයක් සඳහා නළු නිළියන් සම්බන්ධීකරණයට අවස්ථාවක් උදා වී තිබෙනවා. මෙම චිත්‍රපටය රූගත කිරීම් ලංකාවේ සිදුවන්නේ. මේ සඳහා ඉන්දියානු නළු නිළියන් සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙය ආදර කතාවක්. ඉන්දියාව, ඉතාලිය, ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන් එක්ව පවත්වන සංගීත වැඩ සටහනක් සඳහාත් සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව හා අමෙරිකාව ඒකාබද්ධ කරමින් ශාස්ත්‍රීය සංගීත ඇකඩමියක් පවත්වාගෙන යාමට අදහස් කර සිටිනවා.

දෝනා, ගජනී, ෆා, ලව් ආජ්කල්, ස්ලම් ඩෝග් මිලියනය, නිව්යෝක් වැනි චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා ගෙන ආවා. මම චිත්‍රපට මෙරටට ගෙන ඒමේ ස්වාධීන ආනයනකරුවකු ලෙස කටයුතු කරනවා.