වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




වසර 50 යි, නිහාල් ඇවිත්

මෙන්න පිළිගන්න

වසර 50 යි, නිහාල් ඇවිත්

ගී ප්‍රසංගය 15 සවස 6.00 ට මියුසියස් රංග ශාලාවේදී

නිහාල් නෙල්සන් කියූ පමණින් ඔහු කවුදැයි රටම හඳුනයි. ඒ ඔහු නිහාල් නෙල්සන් නිසාය. ‘ප්‍රසංග වේදිකාවේ අපරාජිතයා’ ලෙස ඔහු හඳුන්වන්නට මම කැමැත්තෙමි. ඊට හේතුව පනස් වසරක් පුරාවට අපේ ප්‍රසංග වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටිනා එකම ගායන ශිල්පියා නිහාල් වන බැවිනි.

ප්‍රසංග වේදිකාව යනු කිසියම් ගායන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ සැබෑ ජනප්‍රියත්වය උරගා බැලිය හැකි කදිම තෝතැන්නකැයි මට සිතේ. කලින් කල ප්‍රසංග වේදිකාවේ පෑයූ තරු එකිනෙක මිලිනව යද්දී ඔහු තවමත් සිය සමකාලීනයන්ගේ දරු, මුනුපුරන් සමඟින් එකම වේදිකාවේ ගී ගයයි.

‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ප්‍රසංගය සමඟින් මෙම 15 වැනි දින ඔහු, ඔබ මා හමු වන්නේ ඒ ඓතිහාසික ගමන් මගට අභිමානයක් එක්කරලමිනි. මේ එයට කිසියම් අන්දමක පූර්විකාවකි. නැතහොත් පෙරවදනකි.

* ගායන දිවියේ මුල්ම අවධිය පිළිබඳ සිහිපත් කළොත්?

පාසල් කාලයේ තමයි ඒ පෙරහුරුව ලැබුණේ. සාහිත්‍ය සංගම්වල, විවිධ ප්‍රසංගවල ගී ගායනා කළා.

* කොහේද පාසල් ගියේ?

මුලින්ම ගියේ නිර්දෝෂ මරියා පාඨශාලාවට. පසුකාලීනව ඒ ස්කෝලෙට නම වැටුණා ‘රාවතාවත්ත රෝමානු කතෝලික පර්ෂද’ පාසල කියලා. ඊට පස්සේ මොරටු මහා විද්‍යාලයට ගියා උසස් අධ්‍යාපනයට. එහෙදි තමයි සංගීතය පැත්තට හුඟක් යොමුවෙන්න ලැබුණේ.

* එහිදී ඔබ ගායකයකු හැටියට ප්‍රසිද්ධ වුණා?

ඔව්. ඒක ළමයි තුන්හාර දාහක් හිටපු ලොකු පාසලක්. හැම සිකුරාදාම තියෙන සාහිත්‍ය සංගමයේ මම සිංදුවක් කියන්නම ඕනෑ. පන්තියේ ළමයි මාව එතනට තල්ලු කරාම ටිකෙන් ටික මම පාසලේ ගායකයා වුණා.

* මොනවද ඒ දිනවල ගයපු ගීත?

මමම හදා ගන්නවා. මොනවා හරි ලියාගෙන තනුවක් දාගෙන ඔහේ කියනවා. ඒ ආභාසයෙන් තමයි තනු නිර්මාණය කරන්න ඔක්කොම ඉගෙන ගත්තේ. ඒ අත්දැකිම්වලින් තමයි මේ තැනට ආවේ.

* එදත් සූරයා, අදත් සූරයා . . .?

පාසලෙන් මට ලැබුණු දිරිය තමයි ගායකයකු වෙන්න මුල් නිමිත්ත වුණේ. මෙහෙමයි ගෙදරින් පාසලට. පාසලෙන් පාසලට. පාසලෙන් ගමට. ඊට පස්සේ ගමෙන් රටට. රටෙන් ලෝකයට, එහෙම තමයි ගමන.

* කලාවට යොමු වෙන්න පවුල් පසුබිමක් තිබුණාද?

එහෙම පසුබිමක් නැහැ. නමුත් සිංදු කියනවා කිව්වම මවුපියෝ, නෑදෑයෝ හරි ආසයි. ඉඩ දුන්නා.

* කලා පුරයකනේ අනෙක ඔබ ඉපදුණේ?

ඔව් . . . මොරටුවේ.

* ඔබේ මුල්ම ගීතය ගුවන් විදුලියෙන්ප්‍රචාරය වුණේ හරියටම මෙයින් වසර 50 කට පෙර?

ඔව්. 1963 මාර්තු මාසේ 31 වැනිදා හරියටම දවල් 11.20 ට. කරුණාරත්න අබේසේකර ශූරීන් මාව හඳුන්වලා දුන්නේ ‘මෙන්න අලුත් ගීයක්, අලුත් ගායකයෙක්. මේ ගීතය සහ ගායකයා සදාකාලික වෙයි’ කියලා. ‘ලස්සනට පිපුුණු වන මල්’ තමයි ඒ ගීතය.

* මොකක්ද ඒ වැඩ සටහන?

හරියට මතක නෑ. ඒ කාලේ එව්වට එච්චර එළවන්නේ නැහැ. පරිණත වෙනකොටනේ තේරෙන්නේ අපරාදේ මම අරක මතක තියාගත්ත නම් හරි කියලා.

* ගීිතයේ පද රචනය, සංගීතය කාගේද?

තනුව මගේ. වචන සරත් මුණසිංහගේ. දැන් මීගහවෙල සුමනශාන්ත නමින් පැවිදි වෙලා ඉන්නේ ඔහු. සංගීතවත් කළේ ලංකාවේ විශිෂ්ටතම සංගීතඥයෙක්. ඔහු ආර්. ඒ. චන්ද්‍රසේනයන්. ඔහුගේ වාදක මණ්ඩලය තමයි මේ ගීතයට සංගීතය සැපයුවේ.

* කවුද ඒ වාදක මණ්ඩලයේ හිටපු අය?

වික්ටර් රත්නායක තමයි වයලීන් ගැහුවේ. එතකොට ඒ. ජේ. කරීම්. මාව මුලින්ම කැඳවන් ගියේ චන්ද්‍රසේන මාස්ටර් ගාවට කරීම් තමයි. එතකාට මගේ ගායන දිවියට අත දුන් මුල්ම පුද්ගලයා තමයි ඒ. ජේ. කරීම් කියන විශිෂ්ට සංගීත ශිල්පියා. ඔහුත්, චන්ද්‍රසේන මාස්ටරුත්, ගුවන් විදුලියත් තමයි මගේ වෘත්තීය ගායන දිවියට පදනම දමා දුන්නේ.

* එතකොට ඔබත් අපේ බොහෝ ප්‍රවීණ ශිල්පීන් වගේ ගුවන් විදුලියේ නිෂ්පාදනයක්?

අපොයි ඔව්. ගුවන් විදුලිය මගේ දෙවැනි මව. අර කතාවකුත් තියෙනවනේ ගුවන් විදුලියෙන් ආපු අය කොතනින්වත් එළියට යන්නේ නෑ කියලා.

* ඔබේ ඊළඟ පියවර වුණේ?

ගායකයෙක්, ගායිකාවක් ජනප්‍රිය වෙන්න නම් ඒ කාලේ කැන්ඩි ලේක් ක්ලබ් එකේ සිංදු කියන්නම ඕනෑ. චන්ද්‍රසේන මාස්ටර් 1963 වසරේ අග භාගේ විතර වෙනකොට මාව ලේක් ක්ලබ් එකේ සිංදු කියන්න දැම්මා. එතකොට අර ගීතය ගුවන් විදුලිියේ ජනප්‍රිය වෙලා තිබුණේ.

* කොහොමද ලැබුණ ප්‍රතිචාර?

හැකියාවට ද, වාසනාවට ද මන්දා මට හොඳ පිළිගැනීමක් තිබුණා. දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඒක අදටත් එහෙමයි.

* තවම ගඟ ගළාගෙන යනවා?

ඔව්. මට හිතෙනවා එහෙම.

* ඔබ ක්ෂේත්‍රයට එන කාලයේ හිටපු ජනප්‍රිය ගායන තරු කවුද?

මුලින්ම මා එක්ක එකම වේදිකාවේ ගීී ගැයූ ඉහළම ශිල්පීන් තමයි එඩී ජයමාන්න, රුක්මණී දේවි, මොහිදින් බෙග්. ඒගොල්ල එක්ක තමයි මම පුංචි කොල්ලෙක් විදිහට ගී ගයන්න පටන් ගත්තේ. එඩී අයියා, ඩේසි අක්කලා ඒ කාලේ මට හරි ආදරෙයි.

* එතකොට නිහාල් අයියට වයස කීයක් විතරද?

අවුරුදු දාසයයි.

* දැන් වයස කියන්න අකැමැතිද?

එතන දාසයයි කියලා, මෙතැනට ඇවිත් අවුරුදු පනහයි කිව්වම එතනම හැට හයයිනේ. දැන් හැට හතයි.

* ඒ කාලේ ප්‍රසංග වේදිකාවට ඔබ හඳුන්වා දුන්නේ කවුද?

කරුණාරත්න අබේසේකර, සිරිල් රාජපක්ෂ. මේ අය තමයි ලේක් ක්ලබ් එකේ නිවේදකයෝ. ඉඳලා හිටලා ලලිත් එස්. මෛත්‍රීපාල වගේ අය ගෙන්වනවා. වෙස්ටන් සයිඩ් එකේ එනවුන්ස් කළේ විජය කොරයා.

* ඔබ අලුත් ගී ආරක් අපේ රටේ බිහි කරනවා. ඒ වගේම නැවුම් ගායන ශෛලියක්. මේ ආභාසය ලැබෙන්නේ කොහෙන්ද?

ගීත ලියන්න, තනු නිර්මාණය කරන්න තිබෙන හැකියාව උද්දීපනය වෙලා, පරිණත වෙනකොට ඒ කරගෙන යන දේවල් සමාජය පිළිගන්නවා. එතකොට එතන රැඳී ඉන්නවා ටිත කාලයක්. තව මොනවා හරි දෙයක් කරලා ඒක පිළිගත්තොත් එතනටත් යනවා. එතකොට තමයි ‘ඕල් රවුන්ඩර්’ වෙන්නේ. එහෙම යනකොට ජනතාවගේ කැමැත්ත ඔවුන් බලාපොරොත්තු වෙන දේ අපට වැටහෙනවා.

* ඒක තමයි ඊට පස්සේ තමන්ගේ ශෛලිය බවට පත්වෙන්නේ?

හරියට හරි. සමාජයට ඒවා රස විඳින්න පුළුවන් නම්, සමාජය ඒවා පිළිගන්නවා නම් අර ශිල්පියාට ස්ථාවරයක් ඇති වෙනවා.

* ඔබ ගායනයේදී අපූර්ව නර්තනයකුත් ඉදිරිපත් කරනවා. එය ඔබටම ආවේණික වූවක්. ඇත්තෙන්ම කොහොමද ඔබ ඒවා නිර්මාණය කර ගන්නේ?

ඒක ඉතින් මම හිතන්නේ සහජයෙන් මට ලැබිච්ච දායාදයක් කියලා. ගීතයක් ගයද්දී ඒ අංග චලනය වුවමනාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ. ඒක නිරායාසයෙන් සිදු විය යුතු දෙයක්. කොල කෑල්ලක ලියා තිබූ සින්දුවක් ගැයූ පමණින් ගායකයකු බිහි වෙන්නේ නෑ. එහි අර්ථය තේරුම් ගත යුතුයි. එහෙම පරිණත වෙනකොට මට පුළුවන් බර විතරයි මම ඔසවන්නේ.

* විෂයයක් හැටියට ඔබ සංගීතය හදාරලා තියෙනවද?

නෑ. නමුත් මම චන්ද්‍රසේන මාස්ටර් ළඟ ඉන්න කොට ඔහු ළමයින්ට උගන්වන දේවල්, කියන දේවල් මගේ කනේ වැටුණා. ඒ ආභාසය තමයි මට ලැබුණේ. ඔබ ඇහුවේ හරියට කොම්පඤ්ඤවීදියේ ඉන්න සිංහල මනුෂ්‍යයකුගෙන් දෙමළ දන්නවාද කියලා ඇහුවා වගේ කතාවක්.

* අනිවාර්යයෙන් දන්නවනේ?

එක ගොඩේ හිටියම එහෙම තමයි. සංගීතයත් ඒ වගේ.

* ඔබ ක්ෂේත්‍රයට එක් වුණ කාලයේ කවුරුන් අභියෝගයක් වුණේ නැතිද?

නෑ. අදටත් එහෙම නෑ. මොකද මම අභියෝග කරන්නේ නෑනේ කාටවත්. මම මගේ රාජකාරිය විතරයි කරන්නේ. ඒක මම අවංකව, මට හරිය කියන විශ්වාසය උඩ, උපරිමයෙන් කරනවා. ඊට පස්සේ තමයි එළියට දාන්නේ.

* ගීයක් ගායනා කරලා මුලින්ම ගත්ත මුදල මතකද?

ඉස්සර වෙලාම ලැබුණ මුදල රුපියල් පහයි. නුවර ගිහින් ලේක් ක්ලබ් එකේ සිංදු කිව්වම හම්බ වුණේ රුපියල් පහක මුදලක්. ඒ බොහොම ටික කාලයයි. ඊට පස්සේ මට රුපියල් විස්සක් ගෙවන්න පටන් ගත්තා.

* ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක් වෙන්නැති?

ඔව්. නුවර යන්නේ එන්නේ පාරේ බස් එකේ. ඒ කාලේ හමින්දාගොඩ කියලා රෙස්ටුරන්ට් එකක් තිබුණා කඩුගන්නාවේ. වික්ටර් රත්නායකලගෙ ගෙවල් ළඟ. ඕකේ තමයි අපි අඳින්නේ, පලඳින්නේ නුවර යනකොට. එතකොට ආයේ එතැනම නවත්තනවා ඇඳුම් මාරු කරගන්න සහ කෑම කන්න. එතනින් ටොෆි පැකට් එකක්, චොක්ලට්, නෙල්ලි ක්‍රෂ් බෝතලයක් එහෙම ගන්නවා ගෙදර ගේන්න. ඒ ගත්තත් රුපියල් දහයක් ඉතිරි වෙනවා. ඇයි ඉතිං පිටකොටුවේ ඉඳන් ශත හතළිහයි ගෙදරට. ෂෝක් එකට රුපියල් අටක් නම් ඉතිරි කර ගන්න පුළුවන්.

* මාසෙකට කී සැරයක් ලේක් ක්ලබ් යනවද?

මාසෙට දෙපාරක් විතර.

* කවුද වෙන ඒ කාලේ ලේක් ක්ලබ් එකේ සිංදු කිව්වේ?

මගේ සමකාලීනයන් වූ වික්ටර් රත්නායක, ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, සිසිර – ඉන්ද්‍රාණි, ලතා වල්පොල, එඩී, රුක්මණී, ෆෙ‍්‍රඩී සිල්වා ඔය හැමෝම වගේ. ජයතිස්ස හෙට්ටිආරච්චි තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රසංග සම්බන්ධීකරණය කළේ. එතකොට මැල්කම් හෙන්ඩ්‍රික් වගේ අය.

* අද ඔබ ප්‍රසංගයකට අය කරන මුදල මම අහන්නේ නැහැ . . .?

නෑ, ඒකත් කියන්න පුළුවන්. අද අපි ගාණක් කියපුවාම ඒක ලොකු මුදලක් කියලා හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මොකද අවුරුදු පනහක් මම සිංදු කිව්වා. මේ රටේ දෙකෝටියකට ආසන්න ජනතාවක් තමයි අද ඉන්නේ. ඒ අතරින් සංගීත සංදර්ශන බලන්න, සී. ඩී. එකක් මිලයට ගන්න, වැඩිම වුණොත් ඉන්නේ ලක්ෂ පහක වගේ ප්‍රමාණයක්. රට කජු වෙළෙන්දාගේ ඉඳන් ප්‍රසංග සංවිධායකයාත් ඊට ඇතුළත්.

* රසිකයෝ වගේම ප්‍රසංග සංවිධායකයනුත් වටිනවා?

අද සාමාන්‍ය සංගීත ප්‍රසංගයක් කරන්නත් ලක්ෂ පහක විතර මුදලක් වැය වෙනවා අවම වශයෙන්. සංගීත කණ්ඩායමට, ගායක, ගායිකාවන්ට, ස්ටේජ් එකට, ලයිට්ස්වලට මේ මුදල වැය වෙනවා. අපිව ජනප්‍රිය කරන්න මේ මිනිස්සු අව්වේ වේලෙනවා, වැස්සේ තෙමෙනවා, ගුටිකනවා, බැණුම් අහනවා. අන්තිමට වේදිකාව ඉදිරියට ඇවිත් අප්පුඩි ගහලා අපට ප්‍රතිචාර දක්වනවා.

* මේ කිසිවක් නොතකා අද සමහරු අනුන්ගේ ගීත ගයන්න විශාල මුදලක් අය කරනවා?

එහෙම කරන්න නරකයි. අපි අධි තක්සේරුවකට ගියොත් අපිමයි විනාශ වෙන්නේ. කැමැත්ත හින්දා මුල් වතාවේ ගනියි. ඊළඟ පාර සල්ලි එකතුª කරලා හරි ගනියි. නමුත් හැමදාම ඒක කරන්න බැහැනේ. එතකොට අර ශිල්පියාගේ ගමනට වැටකඩුළු බැඳෙනවා. ඊට පස්සේ අර ජනප්‍රියත්වයත් නැති වෙලා යනවා ඉබේටම.

* එක් දිනයකදී ඔබ සහභාගි වූ වැඩිම ප්‍රසංග ගණන කීයද?

මම SHOW දහතුනකට ගිහින් තියෙනවා, එකම දවසේ. වැඩිම ගණන ඒක තමයි.

* ඔබේ ගීත අපේ සදාචාරයට, සංස්කෘතියට නොගැළපෙන බවට චෝදනා කළ විචාරකයන් එදා හිටියා?

විවේචන සාධාරණ වෙන්න ඕනෑ. අනෙක මෙහෙමයි. අසාධාරණ විවේචනයකදී වුණත් කේන්ති ගන්න එක නෙවේ, පරිණත ශිල්පියාගේ ක්‍රියා කලාපය විය යුත්තේ. ඇයි මාව විවේචනය කළේ කියලා හේතුව සොයන එක. නැතිනම් අපි පරාදයි.

* එහෙම අත්දැකීම් ඔබට තියෙනවාද?

ගොඩක් තියනවා. ඒත් මම කා එක්කවත් තරහ වුණේ නෑ. කවුරු හරි මාව විවේචනය කළොත් මම ගිහින් ඔහුගෙන් අහනවා, ඇයි මෙහෙම කළේ කියලා. ඒ දෙන උත්තරය නිකම්ම පිළිගන්නේ නෑ.

* එහෙනම්?

පොඩි තර්කයක් කරලා තමයි ඒක විසඳා ගන්නේ. ඔබ කියනවා මගේ ගීතවලින් සමාජය විකෘති වෙනවා කියලා හිතමු. මම කියනවා නෑ ප්‍රකෘති වෙනවා කියලා. කොහොම හරි අන්තිමට තර්කයෙන් ජය ගන්න කෙනාට අනෙක් කෙනා උදවු කරන්න ඕනෑ. ඒක තමයි මනුෂ්‍යත්වය.

* ‘ගුණෙ අයියගේ කාමරේ’ එහෙම දරුණු විදිහේ විවේචනයට ලක් වූ ඔබේ එක් ගීතයක්?

ඔව්, මට මතකයි වරක් ‘සිළුමිණ’ පුවත්පතේ මට පිටු ගණන් ඒ ගීතය ගැන විවේචන එල්ල වුණා. ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ගීතය එන්නම දුන්නේ නෑනේ. ඒත් එදා ඒ ගීතය විවේචනය කළ අය අද මාව අගය කරන්නේ ඒ සිංදුව උදාහරණයට අරගෙන.

* ඇත්තටම ගුණේ අයියා කෙනෙක් හිටියද?

නෑ. චරිතෙ මනඞකල්පිතයි. ඒත් ඒ වගේ මිනිස්සු මේ සමාජේ හිටියා. අදත් ඉන්නවා. ගුණපාලලා, ගුණදාසලා, ගුණසිරිලා, ගුණරත්නලා, ගුණවර්ධනලා සේරම ඒ කාලේ කිව්වේ මේ සිංදුව ඔවුන්ට කියපු එකක් කියලා.

* ඇතැමුන් ඔබ ‘බයිලා’ ගායකයෙක් විදියට හඳුන්වනවා?

නෑ - අසංක, බයිලා කියන වචනය හුඟක් පටලවාගෙන තියෙන්නේ. බයිලා කියලා සංගීත කලාවක් නැහැනේ. පෘතුගීසි භාෂාවෙන් ‘බයිලා’ කියන්නේ නැටුමට. ඉංග්‍රිසියෙන් ඩාන්ස්. දෙමළෙන් නඩනම්. ඒක වචනයක් පමණයි. බයිලා කිව්වම පොඩි බැස්මක් වගේ තියෙනවනේ. ඒ නිසා මුන්ට හොඳයි මේ ලේබල් එක කියලා ඒක අපට ඇලෙව්වා. මම බයිලා ගායකයෙක් විදිහට නම් කරනවා නම් මම ආසයි අහන්න බයිලා එකක් නොගැයූ අපේ ගායකයෙක් ඉන්නවද කියලා.

* එතකොට හැමෝම බයිලා කාරයොද?

නෑ, මම කියන්නේ 6/8 ශෛලියටනේ බයිලා කියන්නේ. අන්තිම විශාරදලා ගම්මු. අමරදේව ලොකුª මහත්තයා මගේ හොඳ මිත්‍රයා. ඔහු කියනවා ‘බඹර පැටික්කී’ මගේ ‘ලස්සනට පිපුණු වන මල්’ ගීතයටත් වඩා වේගවත්ව කියන්නේ. ‘ගමේ කෝපි කඩේ’ ඒක අරටත් වඩා වේගවත්. එතකොට වික්ටර් ගේ ‘බිංදුමතී’ ගීතය. නන්දා මාලිනි ගත්තත් කියලා තියනවා ‘ස්ටැන්ලි එන්න බයිලා කියන්න’ කියලා. හැමෝම කියලා තියනවා.

* ඔබ ඇත්තටම කියන්නේ මේ බයිලා කියලා ගීත කලාවක් නෑ කියලද?

නෑ. එහෙම එකක් නෑ.

* එතකොට ‘ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්’ වගේ ගීත නිර්මාණය වුයේ ඇයි?

ඒ නමක් හැදිලා තියෙනවනේ බයිලාකාරයා කියලා. ඒකම ඒ විදිහට කියන්න ඇති. වොලී බැස්ටියන් කවදාවත් කියලා නෑනේ බයිලා ගෙනාවේ මම කියලා. පිට කට්ටියනේ කියන්නේ. වොලී බැස්ටියන් ගේ ගීතවලට මිනිස්සු නැටුවා. එතකොට ඒවා නිකම්ම බයිලා වුණා. එතකොට මම ගැයූ ‘කරුණා සුවඳ තවරාලූ’ වගේ ගීතයක් කොතනකද තියෙන්නේ. ඒ ගැන මොනවද කියන්නේ.

* සමාජයේ එක්තරා පිරිසක් තමයි නිහාල් නෙල්සන්ගේ ගීත අහන්නේ කියලා මම කිව්වොත්?

ඒක මෙහෙමනේ අසංක, ලෝකය විවිධයි. එහි වෙසෙන මිනිස්සුත් විවිධ, විවිධාකාරයි. එච්චරයි.

* ප්‍රබුද්ධ රසිකයෝ කියලා පිරිසක් ඉන්නවා කියලා ඔබ සිතනවාද?

ඒවා ඉතින් හදපු වචනනේ. ඔක්කොම ප්‍රබුද්ධයි. මුළු ලෝකෙම ප්‍රබුද්ධයි. තමන්ගේ කර්තව්‍යයට තමුන් ප්‍රබුද්ධයි. දැන් ඔයා පත්තරේට කාට හරි ඇටෑක් කරලා ලිපියක් ලියනවා. ඉතින් ඔයා අප්‍රබුද්ධද? මාර කෙළියක්නේ.

* එහෙම නෙවෙයි මම අහන්නේ?

නෑ මම කියන්නේ එහෙනම් ඉතින් සීගිරි ළඳුන්ගේ කැටයම් කඩලා බිඳලා දාන්න එපායැ. ඕනෑම කලාගාරයකට, සංස්කෘතික මධ්‍යස්ථානයකට යන්නකෝ. ඒ ගියාම නිරුවත් කාන්තා රූපනේ තියෙන්නේ. එහෙම නැත්නම් වහන්න ඕනෑ තැන් විතරක් චූටි රෙදි කෑල්ලකින් වහගෙන. ඒවා අප්‍රබුද්ධද?

* ඔබ ඒ කාලේ බොහොම දැකුම්කලු, කඩවසම් තරුණයෙක්. තරුණියන්ගේ ආකර්ෂණය එහෙමත් නොඅඩුව ලැබෙන්න ඇති?

තරුණියෝ වේදිකාව උඩ මාව ඉඹලත් තියෙනවා. ඒ අයමද කියන්න දන්නේ නෑ වයසක කාන්තාවෝ ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’ ගීතය කිව්වම අදටත් බදාගෙන ඉඹිනවා.

* තාරුණ්‍යයේ ආකර්ෂණය ගැනනේ ඇහුවේ?

ඔව්. ඉතින් ඒක මට විතරක් උරුම දෙයක් නෙවේ. තාරුණ්‍යයට නිර්මාණයක් දැනුණම ඒ යුගයට අයිති තරුණ, තරුණියෝ ඒවා ආදරයෙන් වැලඳ ගන්නවා. එතනදී තමා ශිල්පියා දැනගන්න ඕනෑ නිර්මාණයට ආදරේ නිසා තමයි මේ මාව බදාගෙන ඉඹින්නේ, නැතුව මට ආයේ බදාගෙන ඉඹින්න නෙවෙයි කියන එක.

* ඔබ එහෙම කරලා නෑ කවදාවත්?

කවදාවත් නෑ.

* නිහාල් අයියා ඒ කාලේ යාළුවන්ට හරියට ලණු දෙනවලු නේද?

එහෙම තමයි, ඒ කාලේ ඉඳලම අපි ජොලියේ හිටියානේ. එතකොට ලේ පිරිසුදු වෙනවා ඉබේටම. අදත් මම ඉන්නේ හිනාවෙන්නේ. දැන් මම අවුරුදු පනහක ඉඳලා සිංදු කියනවා. වයස අවුරුදු 67 ක්. අදත් ඔයාලා එක්ක වැටුණාම ඒ මට්ටමේනේ මම ඉන්නේ.

* වේදිකාවේ එදා තිබූ ජවය අදටත් ඔබේ තියෙනවා. මොකක්ද මේකේ රහස?

ඒක තමයි හැදියාව. සුරාව, සූදුව, ස්ත්‍රී ඇසුර ඒ වගේ දේවලට යන්න නරකයි. තමන්ගේ සෞඛ්‍ය පිරිහෙන වැඩ, මනස අවුල් වෙන වැඩ නොකර හිටියොත් ඒ ජවය නොනැසී තියාගන්න පුළුවන්.

* ඒ විතරමද?

නැහැ. අපි පොත පත පරිශීලනය කරන්න ඕනෑ. ආගමානුකූල දිවි පෙවෙතක් ගත කරන්න ඕනෑ. දැන් සමහරු ඉන්නවා ගාථා ටික ඔක්කොම පාඩම්. ඒත් තේරුම දන්නේ නැහැ. එහෙම නෙවෙයි දැනුමෙන් පෝෂණය වෙන්න අවශ්‍යයි.

* ඔබ විවාහ වුණේ මම හිතන්නේ රසිකාවියක් සමඟ?

නෑ, මාලි මගේ රසිකාවක් නෙවේ. එයා ජෝතිපාලගේ රසිකාවක්. මාර රසිකාවියක් ජෝතිපාලගේ. අදත් එහෙමයි. අදත් මගේ ගීතවලට වඩා ජෝතිගේ ගී වලට එයා ආසයි.

* ජෝතිපාලයන් ඔබේ පවුලේ හිතවතෙක්ද?

නැතුව. අපි හුඟක් සමීපව ඇසුරු කළානේ. ජෝති මෙහේ ආවාම ‘අනේ නංගි උණුවෙන් බත් ටිකක් උයලා දෙන්නකෝ හොඳ සම්බෝලයක් හදලා’ කියලා මෙයාට කියනවා. ජෝති ලොකු ආදරයක්, හිතවත්කමක් දැක්වූවේ මට වගේම මාලිටත්.

* ඔබ විවාහ වුණේ?

1974 මැයි මාසේ 16 වැනිදා. පුතා හම්බවුණේ 1978 ජනවාරි 18 වැනිදා. එයා කාංචන තරංග නෙල්සන්.

* පුතා සංගීතයට සම්බන්ධ ද ?

ගයන්න, වයන්න පුළුවන්. එයා ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකයෙක් විදිහට සේවය කරනවා.

* ඔබේ ප්‍රියතම ගායකයා කවුද?

මගේ ප්‍රියතම ගායකයා මමමයි. ඒ හැරුණාම මම ජෝතිපාලට ආසයි. වික්ටර්ට ආසයි. අමරදේවට ආසයි. ඒවත් ඇරුණාම මම හොඳට සිංදු කියන්නේ කවුද අලුත්, පරණ කියලා නෑ ඒ අයට කැමැතියි. ලස්සනට කලාව කරගෙන සමාජය හසුරවන පුද්ගලයකු නම් මම පණ ඇරලා එයාට ආදරෙයි.

* ගායිකාවෝ?

කාටත් එහෙමයි.

* මම හිතන්නේ ඔබ යුග ගී ගැයුවේ අඩුවෙන්?

හුඟක් අඩුයි. ඇන්ජිත් එක්ක කිව්වා. මරියසෙල්, ඉන්ද්‍රාණි පෙරේරා, ත්‍යාගා එන්. එඩ්වඩ් වගේ ගායිකාවෝ එක්ක එක ගීතය බැගින් වගේ ගායනා කර තිබෙනවා.

* යුග ගීත වැඩිපුර ගායනා නොකළේ ඇයි?

මම වේදිකාවට යන්නේ තනියෙන්නේ. එතකොට යුග ගීතවලින් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නෑනේ මට. මොකද මම වේදිකාව හසුරවන්නේ තනියෙන්. තව කෙනෙක් ඔළුව උඩ තියාගෙන දුවනවට වඩා හොඳනේ තනියම දුවන එක.

* මේ ක්ෂේත්‍රයේ ඔබ වඩාත් ගරු කරන්නේ?

සමාජයේ හැමෝටම මම ගරු කරනවා. මටත් සමාජයේ හැමෝම ගරු කරනවා. යුතුකමක් හැටයට මාව මේ ක්ෂේත්‍රයට ගෙනාපු මිය ගියත් ආර්. ඒ. චන්ද්‍රසේනට හා ඒ. ජේ. කරීම්ට මම බොහොම ගරු කරනවා. තව හුඟ දෙනෙක් ඉන්නවා. ඒ නම් කියන්න ගියොත් පත්තරේ ඉඩ මදි වෙයි.

* ඔබ චිත්‍රපට පසුබිම් ගායනයටත් පිවිසුණා. ඒ ගැනත් යමක් කතා කරමු?

‘පෙම් කුරුල්ලෝ’ චිත්‍රපටයේ මම මුලින්ම වොයිස් කළේ විජය කුමාරණතුංගට. අර ‘කෂිලි බිෂිලි නෑ’ කියන ගීතය. ඒක ලිව්වේ චන්ද්‍රදාස ප්‍රනාන්දු, සංගීතය ටෝනි වීරතුංග. ඊට පස්සේ තවත් චිත්‍රපට ගණනාවක ගී ගායනා කළා.

* ඒ මොනවාද?

‘සක්විති සුවය’ චිත්‍රපටයේ මම ගාමිණී ෆොන්සේකාට බැක් ග්‍රවුන්ඩ් සිංදුවක් කළා. ‘ලෝක හොරු’, ‘රෝදය’, ‘හරි යනකොට ඔහොම තමයි’, ‘සඳ වට රන්තරු’, ‘ලොකු තාත්තා’, ‘මල් වරුසා’, ‘වාලම්පූරි’, ‘දියමන්ති’ ඔය වගේ චිත්‍රපට විසි පහකට විතර ගී ගැයුවා.

* ප්‍රවීණතම සංගීතවේදීන්ගේ සංගීත නිර්මාණයන්ට ඔබ දායක වුණේ මම හිතන්නේ සිනමාවේදී?

අමරදේව, සරත් දසනායක, ඩී. ආර්. පීරිස්, පැට්‍රික් දෙනිපිටිය වගේ ප්‍රභූ පැළැන්තියේ අයගේ සංගීතයට මම ගීත ගැයුවා. එහෙම නැති අයගේත් කියලා තියෙනවා. එතකොට විජය, ගාමිණී, ජෝ අබේවික්‍රම, විමල් කුමාර් ද කොස්තා, අමරසිරි කලංසූරිය ආදී නළුවන්ට මම පසුබිම් ගීත ගයා තිබෙනවා.

* ගාමිණී ෆොන්සේකා නමින් ඔබ ගීතයක් පවා ගයා තිබෙනවා?

ගාමිණී ෆොන්සේකා කිව්වම එතැනින් එහාට නළුවෙක් නෑනෙ මේ රටේ. එතකොට ඔහු ගැන, ඔහු රඟපෑ චිත්‍රපටවල නම්වලින් මම ගීතයක් ගායනා කළා ‘හිත හොඳ මිනිහාගේ සංදේශය ලියලා’ කියලා.

* ගාමිණී ජීවතුන් අතර සිටියදීම?

ඔව් . . . ඔව්. ඔහු බොහොම පැහැදුණා ඒ ගීතය ගැන. ඒක ඔහුගේ ඉල්ලීමක්වත් මොකක්වත් නෙවේ. මට හිතුණා මෙයා තමයි ලංකාවේ සුපිරි නළුවා, මෙයා ගැන පවතින්න ගීතයක් ගයන්න ඕනෑය කියලා.

* ඔබේ ගීතවලින් සමාජයට යම් මෙහෙවරක් සිදු වුණා කියා ඔබ හිතනවාද?

මම හිතනවා එහෙම. හොඳම උදාහරණය කියන්නම්. කාලෝ ෆොන්සේකා දොස්තර මහත්මයා විවෘතව කියනවා ‘මගේ හරක් මස් කෑම මම නැවැත්තුවේ නිහාල් නෙල්සන්ගේ සිංදුව නිසා’ කියලා. එතනින් එහාට මොනවද කතා කරන්නේ. තව ඒ වගේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා.

* නිහාල් නෙල්සන් පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක්. අවාසියක් වෙලා නැතිද?

මෙච්චර කල් ඇත්ත කිව්වා. හැබැයි පැත්ත ගිහින් නෑ.

* අවසන් වශයෙන් ඔබේ ප්‍රසංගය ගැන යමක්?

ඔව්. ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ප්‍රසංගය මාර්තු 15 වැනිදා මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මගේ රසික රසිකාවන්ට මම ආරාධනා කරනවා ප්‍රසංගයට පැමිණිලා මාත් එක්ක එකතුª වෙන්න කියලා. ප්‍රසංග අධීක්ෂණය සරත් කොතලාවල. ප්‍රසංග අධ්‍යක්ෂණය රෝහණ හෙට්ටිආරච්චි. පිටපත ආනන්ද පද්මසිරි. නර්තනයෙන් චන්දන වික්‍රමසිංහත් කථනයෙන් තිලක් කුමාර රත්නායකත් දායක වෙනවා. නීල් වර්ණකුල ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීතයට මගේ ජනපි‍්‍රය ගීත විස්සක් පමණ එදාට ගායනා කරනවා. ප්‍රවේශ පතක් රැගෙන ප්‍රසංගය නරඹන්න එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.