වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තර් ජාලයේ නැටුම් පංති

අන්තර් ජාලයේ නැටුම් පංති

ඇද පොළොවක වුවත් මධුරි ඩික්සිත් නම් ඇසිපිය හෙළන්නටවත් අවසර නොදෙන අන්දමේ මනහර නර්තනයක යෙදෙන්නීය. නර්තනය ඇයගේ මනාප ලැයිස්තුවේ අංක එකයි. නැටුමට උපන් හපන් ඇය නව වසරේදී අන්තර් ජාලයෙන් නැටුම් පන්තියක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන්නීය. මේ නැටුම් පන්තිය ලෝකයේම සිටින රසික රසිකාවන් වෙනුවෙන් විවෘතයි.

මධුරි ඩික්සිත් නේනේ, සැමියා, වෛද්‍ය ශ්‍රීරාම් නේනේ සමඟ ඉන්දියාවේ පදිංචියට පැමිණියේ 2011 වසරේදීය. එතැන් සිට ඔවුහු ව්‍යාපාරික කටයුතු සමඟ අධික ලෙස කාර්යබහුල වූහ. දෙදෙනා එක් වීඅදර් චලන චිත්‍ර සමාගමක් පිහිටුවා ගත්හ. දැන් ඔවුන් අන්තර් ජාලයෙන් විශාල කාර්යය භාරයක් ඉටු කිරීමට සැලැසුම් කරගෙන යයි. රසික ජනතාවට විනෝදය, ක්‍රීඩාව, ජීවන රටාව, සෞඛ්‍ය ආදී බොහෝ අංශවලින් අධ්‍යාපනයක්, සතුටක් ලබාදීම ඔවුන්ගේ අරමුණයි. ළඟදීම මධුරි අන්තර් ජාල නර්තන ඇකඩමිය ඇරැඹීමට බලාපොරොත්තු වන්නීය. මේ ඇකඩමිය එදා මෙදාතුර තමන් සමඟ සිටින රසික ජනතාවට දෙන තිළිණයක් බව මධුරි පවසන්නීය. නර්තන ඇකඩමිය පැවැත්වෙන්නේ නොමිලයේ නිසා සැබැවින්ම මෙය අමිල තිළිණයක් වනු නිසැකයි.

ජීවිතයේ විශේෂ අවස්ථාවලදී නර්තනයේ යෙදීමේදී හා ආත්ම තෘප්තිය සඳහා නර්තනයේ යෙදීමේදී මධුරීගේ නර්තන ඇකඩමියෙන් බොහෝ පාඩම් වයස්, දේශ සීමා, ගැහැනු, පිරිමි භේද නැතිව බොහෝ දෙනකුට ඉගෙනීමට ලැබෙනු ඇත.

නොමිලයේ පැවැත්වෙන මුල්ම නර්තන පාඩම්වලදී තේසාබ් හී ‘ඒක් දෝ තීන්’ සහ හම් අප්කේ හේන් කොන් හී ‘මේ නි මේ’ ජනප්‍රියම ගීතමය නර්තන පියවරෙන් පියවර රසික ප්‍රජාවට ඉගැන්වීමට ඇය බලාපොරොත්තු වන්නීය. පසුව ප්‍රවීණ නර්තන ශිල්පීන් ද සහභාගි කරගෙන නර්තන පාඩම් ලබා දීම මධුරිගේ අදහසයි. ශාස්ත්‍රීය, බටහිර, බොලිවුඩ් නර්ථන රිද්මයට පා ඔසවන්න මධුරිගේ අන්තර්ජාල නැටුම් ඇකඩමිය ඔබේ නිවෙසට එන දිනය වැඩි ඈතක නැත.

 

මං විතරයි තනිවම දැන්

පල ඇති රුකට වවුලන්ගෙන් අඩුවක් නැත. එහෙත් පල නැතිදා කුරා කුහුඹුන් පවා ඒ අසලට පැමිණෙන්නේ නැත. මේ සොබා දම් නීතිය මනීෂා කොයිරාලට ද පොදු වූවකි.

මෑතකදී පිළිකා ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ පෑ මනීෂා, ජීවිතයත් මරණයත් අතර හුදකලා සටනක යෙදුණාය. තනි වූ සිතට, තමන් සිනමා ලොව දිදුලන තාරකාවක ලෙස වැජඹෙද්දී සිටි මිතුරු මිතුරියන් සිහිවීම ස්වභාවිකය. රසික රසිකාවන් දහස් ගණනින් ඇයට ඉක්මන් සුවය පතද්දී, ක්ෂේත්‍රයේ තමන් සමඟ සිටි වැඩි දෙනෙක් ළෙන්ගතු පුංචි ඇමතුමකින් හෝ සිතට අස්වැසිල්ලක් ලබා නොදීම මනීෂාගේ සිත පාරන කරුණක් වී තිබේ.

‘බොලිවුඩයේ සහෝදර තරු සමඟ පැවැති මිතුදම හරියට සැබෑ කරගත නොහැකි සිහිනයක් වගේ’ ඇය ෆේස්බුක් බ්ලොග් අඩවියේ සඳහන්කර ඇත.

දෙසැම්බර් මාසයේදී ඇයගේ ඩිම්බ කෝෂ පිළිකාව ඉවත් කෙරුණු අතර සුව දුක් විමසා ක්ෂේත්‍රයේ සමීප හිතවතුන් පවා අමතා නැත. සැත්කමින් පසු ඇය සමඟ දුක සැප බෙදාගෙන ඇත්තේ නිළියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වූ දීප්ති නවාල්ය.

මිතුරන් පිටුපෑවත් සුව වූ පසු මූම්බායි පැමිණ යළි රංගන ජීවිතය ඇරැඹීමට මනීෂාගේ අරමුණයි. දැන් ඇය තනිකම දුරුකර ගන්නේ චිත්‍ර ඇඳීමෙන් සහ ප්‍රංශ භාෂාව ඉගෙනීමෙන්ය.
 

අම්මෙ පෙම්බරා තොස කොට දෙන්ට අවසරා

ජෝන් ඒබ්‍රහම්ට ‘අයි මේ ඕර් මේන්’ සිනමාපටය නම් කිසි දිනක මතකයෙන් බැහැර නොයනු ඇත. ඒ මවගේ කඳුළින්ම ආශිර්වාදය හිමි වුණු වෙනත් සිනමාපටයක් ඔහුගේ මතකයේ නැති නිසයි.

මාර්තු පළමුවැනිදා සිට සිනමාපටය තිරගත කෙරුණු අතර ඊට පෙර විශේෂ දර්ශනයක් පවත්වන ලදී. ජෝන්ගේ මෑණියන් ද ඊට සහභාගි වූවාය. සිනමාපටය නරඹා නිම වෙනවාත් සමඟ මව, කඳුළු ගඟක් සමඟ ජෝන් සමීපයට පැමිණ ඔහුට ආදරයෙන් තට්ටුවක් දැම්මාය. ඇයගේ දෑස්වල කඳුළු අතරින් ඇති අභිමානය දුටු සම නිෂ්පාදක ගෝල්ඩී ඛේල් පැවසුවේ සිනමාපටයේ සාර්ථක බවට ඊට වැඩි සාක්ෂියක් අවශ්‍ය නැති බවයි.

ජෝන් වඩාත් රසිකයන්ට හුරු පුරුදු ක්‍රියාදාම වීරයකු ලෙසයි. එහෙත් සොඳුරු ප්‍රේමවන්තයකු ලෙස ඔහුගේ ප්‍රතිරූපය මුළුමනින්ම වෙනස් කිරීමට ‘අයි මේ ඕර් මේන්’ සිනමාපටය සමත් වනු ඇති බව ජෝන්ගේ ද අදහසයි. මෙහි ජෝන් සමඟ රඟන තාරකාවන් වන්නේ ප්‍රචී දේසායි සහ චිත්‍රන්ගදා සිංය.
 

කරීනාගේ කඳුළු පිසලූ හැටි

අමිතාබ් බච්චන් යනු බොලිවුඩයට රංගන පාසලකි. භාරත දේශයට සැබෑ සාඩම්බරයකි. එහෙත් ඔහු කෙතරම් හැඟීම්බර ආත්මයක් ද?

අමිතාබ් දැන් රූගත කිරීම්වල යෙදී සිටින්නේ ප්‍රකාශ් ජාගේ ‘සත්‍යග්‍රහ’ සිනමාපටයේයි. එහි ඔහු සමඟ රඟන්නේ අජේ දේව්ගන් සහ කරීනා කපූර්ය. බෝපාල් හි කෙරෙන රූගත කිරීමේදී අමිතාබ් දෙනෙතෙහි කඳුළු පුරවාගෙන කිසිවක් සටහන් කළේය. මේ සටහන් කිරීම මුළු දර්ශන තලයේම කුතුහලය ඇවිස්සූ කරුණක් විය. අමිතාබ් සියලු දෙනාගේම කුතුහලය බිඳ හෙළමින් ඒ අපූරු අතීත කතාව සිය පුද්ගලික වෙබ් අඩවියේ සඳහන් කළේය.

‘1983 වසරේදී මං කරීනාගේ තාත්තා, රන්ධීර් සමඟ ගෝවේ නගරයේදී පුකාර් රූගත කිරීම්වල යෙදී සිටියා. පුංචි කරීනාත් පියා සමඟ පැමිණ හිටියේ බෝනික්කියක් වගේ. රෝස මල් පිරුණු ලස්සන තොප්පියක් ඇය පැලඳ සිටියා අද වගේ මතකයි.

චිත්‍රපටයේ මං එයාගේ පියාට පහර දෙන දර්ශනයක් තිබුණා. පොඩි කරීනා ඒ දර්ශනේදී හරි කලබලයක් කළා. එයා මගෙන් පියාව බේරා ගන්න අතේ එල්ලිලා අඬන්න ගත්තා. අන්තිමට වතුර ගෙනත් ඇයගේ පුංචි දෙපා සෝදලා හිත සන්සුන් කළා. ඉන් පසුව මං යකකු නොවන බව ළපටි හිතට තේරුම් ගියා.

දැන් සෙලියුලොයිඩ් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි වෙනස කරීනා හොඳින් හඳුනනවා. ඇය දැන් උස් මහත් වෙලා.’ බච්චන් සංවේදී ලෙස වෙබ් අඩවියට ලියා තිබේ. පුදුමය නම් ඒ වන විට තුන් හැවිරිදි දැරියක වූ කරීනාට ද සිද්ධිය මතක තිබීමයි.