වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




INSIDE - OUT SIDE ඇතුළත – පිටත

INSIDE - OUT SIDE ඇතුළත – පිටත

අනෝමා රාජකරුණා

අනෝමා රාජකරුණා අපේ රටේ ප්‍රවීණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්. වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. ඡායාරූප ශිල්පිනියක්, ලේඛිකාවක් ලෙස ද නව දැනුම තාක්ෂණය සමඟින් නව මානයක් ඔස්සේ ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වෙමින් කලා මාධ්‍යයෙන් සමාජය ආමන්ත්‍රණය කරන කලාකාරියක්. සම්ප්‍රදායෙන් බැහැරව ක්ෂේත්‍රයේ විවිධාකාර වූ පැතිකඩ ඔස්සේ විවිධ නිර්මාණ ගෙන එන අනෝමා රාජකරුණා නම් ඇය තවත් සුවිශේෂි කටයුත්තක් ඔබ වෙත ගෙන ඒමට සූදානම් බව සරසවියට දැනගන්න ලැබුණා. ඒ ගැන වැඩි විස්තර ඔබට ගෙන එන්න අප ඇයව හමුවුණා.

* මුලින්ම දැනගන්න කැමැතියි මේ සුවිශේෂී කටයුත්ත මොකක්ද කියලා?

ලබන මාර්තු 9 වැනිදා කොළඹ 07 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ‘ඉන්සයිඩ් අවුට් සයිඩ්’ නමින් කෙටි හා වාර්තා චිත්‍රපට උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. එදින පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා වාර්තා චිත්‍රපට පහක්, කෙටි චිත්‍රපටයක්, ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් සහ ටෙලි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට කටයුතු යොදලා තියෙනවා.එහිදී පස්වරු 4.30 සිට 5.30 දක්වා ‘කාන්තාව සහ ජනප්‍රිය මාධ්‍ය’ යන මැයෙන් පැවැත්වෙන සංවාදයේ ආරාධිත දේශනය වෙනුවෙන් සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගි වීමට නියමිතයි.

* ඔබ මෙවැනි කටයුත්තකට මුල පුරන්න හේතු වුණේ?

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් තමයි මෙය සංවිධානය කෙරෙන්නේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගිය අවස්ථාවක ඒ පිළිබඳ අවධානය යෙමු කිරීම තමයි මෙහි අරමුණ. ඇත්තෙනන්ම මෙය චිත්‍රපට ප්‍රදර්ශනයකට වඩා කාන්තාවන්ට සමාජය තුළ ඇතිවන අපහසුතා පිළිබඳ සාකච්ඡාවට මූලාරම්භයක් ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

* ඔබ සිතනවාද ලංකාවේ කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා කියලා?

ඇත්තටම ලංකාවේ කාන්තාවන්ට අසාධාරණකම් සිදු වෙනවා. පවුල ඇතුළේ විතරක් නෙවෙයි පිටතත් ඒ දේ සිදුවන අවස්ථා අද සමාජය තුළ බහුලයි. ඒවා එක් එක් පුද්ගලයාගේ නැණ පමණින් වටහා ගැනීම තමයි වැදගත්. අද ලංකාවේ කාන්තාව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වෙලා තියෙනවා. විදේශ විනිමයෙන් විශාල කොටසක් රැඳිලා තියෙන්නේ ඔවුන් අතේ. නමුත් බොහෝ වෙලාවට ඔවුන්ට විවිධාකාර කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉස්සර වගේ නෙවෙයි අද මෙරට සමාජයේ කාන්තාවන් පිරිමින් සමඟ හරි හරියට වැඩ කරනවා. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. නමුත් බොහෝ අවස්ථාවලදී ප්‍රාදේශීය මට්ටමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන අවස්ථා තියෙනවා. මේවා ගැන අපි කතා කළ යුතුයි. ඒ වගේ ග්‍රාමීය සමාජයේ නිිවසේ බොහෝ කාර්යයන් කරට ගෙන සිදු කරන්නේ කාන්තාව. ඇය උයනවා පිහනවා, දරුවන් හදා වඩා ගන්නවා වගේම, වගා කටයුතු, දර, වතුර ගෙන ඒම වැනි සියලු දේ සිදු කරනවා. සමහර ගම්වල වතුර ගෙන එන්නට ඇයට සැතපුම් ගණන් දුර යන්න සිදු වෙනවා. ඒ වගේමයි සමහර ප්‍රදේශවල ගර්භණී මාතාවන්ට නිසි පහසුකම් නොලැබෙන අවස්ථා තියෙනවා. බස් එකක වුණත් කාන්තාවකට නිදහසේ යන්න බැරිවන සිදුවීම් නම් කොතෙකුත් සිදුවන අවස්ථා තියෙනවා. සුදුසුකම් හා හැකියාව මත කාන්තාව සමාජයේ ඉදිරියට ආවත් ගැටලුවල නම් අඩුවක් නැහැ.

* ඔබ විසින් මේ සඳහා සංවිධානය කළ චිත්‍රපට උළෙලට අන්තර්ගත වන නිර්මාණ ගැනත් සඳහන් කළොත්?

ගැහැනු දරුවන් පසුබිම් කරගත් නිර්මාණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, විවාහය, දේපළ සහ දෑවැදි පිළිබඳ ප්‍රශ්න, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවගේ ගැටලු, ලිංගික අධ්‍යාපනය, වැනි විවිධ මාතෘකා ගැන කතා කරන නිර්මාණ දහයක් තමයි මෙහි ඇතුළත්කර තිබෙන්නේ. ඒ සඳහා දශක දෙකක් පුරා වරින්වර මම නිර්මාණය කළ වෘත්තාන්ත හා වර්තා චිත්‍රපට අතුරෙන් දහයක් තමයි මම තෝරා ගත්තේ. කාන්තාවන් හා කාන්තාවන් මුහුණ දෙන විවිධ ගැටළු තේමා කරගත් නිර්මාණ තමයි මා අතින් වැඩි වශයෙන් නිර්මාණය වුණේ. පේ‍්‍රක්ෂක ඔබට මෙහි කැමැති නිර්මාණ තෝරා ගෙන නැරැඹීමට අවස්ථාව තියෙනවා.

* අපි දැන් මේ මාතෘකාවෙන් බැහැරව කෙටි චිත්‍රපට දෙසට හැරෙමු. ඔබ හිතන පරිදි ලංකාවේ කෙටි චිත්‍රපට සඳහා තැනක් තියෙනවාද?

පසුගිය අවුරුදු 10 තුළ කාලය ගත්තොත් 2000 වසරේ සිට මේ දක්වා කෙටි චිත්‍රපට පිළිබඳ නැති වෙලා තිබූ උනන්දුව ඇති වූ කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතෙක් කල් ලංකාවේ අහෝසි වෙමින් පැවැති මාධ්‍යයක් බවට කෙටි චිත්‍රපට පත්ව තිබූ කාලයකුත් තිබුණා. නමුත් දැන් මිල අඩු, සැහැල්ලු කැමරා උපකරණ, ඉලෙක්ට්‍රොනික් හා ඩිජිටල් උපකරණ බහුල වීම නිසා නැති වෙලා තිබූ උනන්දුව දැන් ඇති වෙලා තියෙනවා. එයට උදාහරණයක් ලෙස කියන්න පුළුවන්, මම කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කරන අවස්ථාවලදී ඒ සඳහා චිත්‍රපට සියයක් විතර ලැබෙනවා. මෙසේ ලැබෙන්නේ වසරක් පාසා නිර්මාණය කෙරෙන අලුත් නිර්මාණ. නමුත් මාධ්‍යයක් ලෙස කෙටි චිත්‍රපට සඳහා තියෙන ඉඩකඩ නම් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී අඩුයි. තවත් හේතුවක් තියෙනවා. අද වන විට ලංකාවේ මෙගා, රියැලටි වැඩසටහන් තමයි කාලය අල්ලාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ කෙටි චිත්‍රපට සමාජගත කරන්න අවස්ථා ලැබෙනවා අඩුයි. නමුත් බොහෝ තරුණ පිරිස් තම නිර්මාණ අන්තර් ජාලය හරහා එම උත්සාහය ගනිමින් සිටිනවා දකින්න පුළුවන්.

* ක්ෂේත්‍රයේ කැප වෙලා කටයුතු කරන කෙනෙක් ලෙස ඔබ මෙහි ඉදිරිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මේ වන විටත් තරුණ තරුණියන් වෙනුවෙන් වැඩමුළු කීපයක්ම සංවිධානය කළා. විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ එක්ක අපි එකතු වෙලා මේ වැඩමුළු දියත් කළා. මීළඟ වැඩසටහන එම්. ඩී. මහින්දපාල සමඟ අප්‍රේල් 07 වැනිදා පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. බොන්ෂූවා සිනමා උළෙලට සමගාමීව තමයි එය සිදු කෙරෙන්නේ. ඊට අමතරව තරුණ ප්‍රජාව චිත්‍රපට විචාරයට උනන්දු කරවන්න වැඩ පිළිවෙළක් යොදන්න බලාපොරොත්තුª වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ ජාත්‍යන්තර විචාරකයන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් තරුණ අයට වැඩමුළුවක් කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා.

* ඔබ මෙරට සිනමා උළෙලවල විනිශ්චය නියෝජනය කළ විනිශ්චයකාරියක්. අපේ රටේ වර්තමාන සිනමා කර්මාන්තය ගැන ඔබට මොන වගේ දෙයක් ද දැනේනේ?

මම හිතන්නේ කර්මාන්තයක් විදියට දැන් ලෝකයේ දියුණු තාක්ෂණය ටික ටික අපේ රටටත් පැමිණෙමින් තියෙන කාලයක්. එහි නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තොත් දැන් අපේ නිර්මාණවලටත් ලෝකයේ දියුණු තාක්ෂණය, නවීන උපකරණ උපයෝගිකර ගැනෙනවා දකින්නට තියෙනවා. ඒ වුණත් අපි තවමත් නවීන තාක්ෂණය සමඟ උපකරණ, නව දැනුම සොයමින් අතපතගාමින් තමයි ඉන්නේ. ඒ වගේම පසු නිෂ්පාදන යටතේ සංස්කරණය, ශබ්ද පරිපාලනය, සජීවිකරණය වැනි දේ සමඟින් පුහුණු ශිල්පින් දෙස බැලීමේදී අපි තවමත් පසුපසින් ඉන්නේ. අපට නව දැනුම ගලාගෙන එනවා. ලංකාවට සුදුසු ඡ් සිනමාවද ච් සිනමාවද කියල තවමත් කතා කරමින් ඉන්නේ. සිනමා ශාලා කීපයක් හැරුණාම අදටත් මෙරට සිනමා ශාලාවල මිලි මීටර් 35 පදනම් කරගත් ප්‍රදර්ශන අවකාශයක් තමයි අපට තිබෙන්නේ. හෙට දවසේදී අපට උචිත බෙදා හැරීමක් සහ ප්‍රක්ෂේපණය කිරීමක් අවශ්‍ය වෙනවා.

* අනෝමා ඔබ වෙනස් ස්වරූපයක නිර්මාණ කරන කෙනෙක් විදියට ප්‍රසිද්ධයි. ඔබ තරුණ පරපුර සමඟ එකතු වෙලා ඒ ස්වරූපයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවාද?

මම අධ්‍යක්ෂවරියක්, ඡායාරූප ශිල්පිනියක්, ලේඛිකාවක් විදියට මම මගේ නිර්මාණවලින් එළි දක්වන්නේ මගේ හදවතට දැනෙන දේ තමයි. මගේ බොහොමයක් නිර්මාණවලට පාදක වුණේ කාන්තාවන්. ඒ අනුව බිහි වූ නිර්මාණ කෙටි හා වාර්තා චිත්‍රපට මාධ්‍යය ඔස්සේ එළි දැක්වූවා. ඒ ඔස්සේ යම් විදියක සාකච්ඡාවක් ගොඩ නඟා ගැනීම තමයි මට අවශ්‍ය. දැනටත් මම ’14 සඟරාව’ සංස්කරණය කරනවා. ඒ වගේම යුරෝපා සිනමා ඇකඩමිය සමඟත් කටයුතු කරනවා. එය අපට ඉතාම වැදගත්. යුරෝපා සිනමා ඇකඩමිය කියන්නේ ලෝකයේ හොඳම නිර්මාණ එක්රැස් වන තැනක්. ඒ වගේම මෙරට බිහිවෙන නිර්මාණ අන්තර් ජාතික උළෙල සඳහා ඉදිරිපත් කරන්නත් කටයුතු කරනවා. නමුත් අද ලංකාවේ වෘත්තාන්ත කෙටි චිත්‍රපට හා කෙටි චිත්‍රපට සැසැඳීමේදී වෘත්තාන්ත සිනමාකරුවන් සමකාලීන සමාජ යථාර්ථය මඟ හරිමින් සිටිනවා. නමුත් කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් එය එක මිටට ගොනුකර ගන්න උත්සාහ ගන්නවා. මගේ අරමුණ ඒ නිර්මාණකරුවන්ට උපරිමයෙන් සහයෝගය ලබාදීම තමයි. මේ වසරේදී මෙරට තෝරාගත් කෙටි චිත්‍රපටවලින් යුතු කෙටි චිත්‍රපට උළෙලක් ප්‍රංශයේදී පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියනවා.

* මෙරට බොහෝ අය වාණිජ සිනමාව සමඟ ගනුදෙනු කරන බවක් පැහැදිලියි. ඔබ එය දකින්නේ කොහොමද?

සිනමාව කර්මාන්තයක්. මුලින්ම එයට පැවැත්මක් තියෙන්න ඕනෑ. ජනතාව සිනමා ශාලාවලට පැමිණියොත් තමයි එයට පැවැත්මක් තියෙන්නේ. කර්මාන්තයක පැවැත්මට වාණිජ පැත්තක් තිබිය යුතුයි. සිනමාව වාණිජ වීම වැරැද්දක් නොවෙයි. එහෙම නොවුණහොත් එය සුබසාධන සිනමා කර්මාන්තයක් බවට පත්වේවි. එවිට නිර්මාණකරුවන්ට ණය ගෙවාගන්න බැරුව සිනමාව නිසා තම දේපළ පවා අහිමි වන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. චිත්‍රපටයක් හැදුවාම ජනතාව එය නරඹන්න පැමිණීමයි සිදු විය යුත්තේ. නමුත් අද එය ලාබ ලබන මොඩලයක් බවට පත්වෙලා තියෙනවා. සමහර සිනමා කෘති අද සාර්ථකවීම හරහා මෙවැනි මොඩලයක් බවට පත්වීම සිදු වෙලා. ඒ විදියේ රැල්ලක් තමයි අද තියෙන්නේ. මේ හරහා ඉබේම ජනප්‍රිය සිනමාවට යම් මොඩලයක් ඇති වෙනවා. අද දවසේ අපිට එය දකින්න පුළුවන්. නමුත් සමහර ජනප්‍රිය චිත්‍රපට සෝඩා බෝතලය කැඩුවා වගේ. අදටත් අපි කතා කරන්නේ එදා ශ්‍රේෂ්ඨ සිනමාකරුවන්ගේ නිර්මාණ ගැන විතරයි.

* ඔබේ ඉදිරි කටයුතු ගැනත් සඳහන් කරමු?

අලුත් නිර්මාණයක සංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. එය පසුගිය වසර දහය තුළදී අපේ රටේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාකරුවන්ගේ නිර්මාණ කෙරෙහි ඇති වූ විවිධ බලපෑම් ගැන කතා කෙරෙන කෙටි චිත්‍රපටයක්. යුද්ධය පැවැති සමය වගේම පශ්චාත් යුධ සමයේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ සිදුවීම් කලාකරුවන් විදියට ඔවුන් ඒ කෙරෙහි දැක් වූ ප්‍රතිචාර වැනි දේ ගැන ඒ තුළින් පිළිබිඹු කෙරෙනවා.