වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සාරංගගේ අලුත්ම ගීතය ගැන කතාබහක්
සාරංගගේ අලුත්ම ගීතය ගැන කතාබහක්

මා දෙනෙත් පියවීලා
මා සුසුම් හිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි
සිහිනය සදා

මා මේ සටහන් කළේ මේ දිනවල ගුවන් විදුලි නාලිකාවන්හි නිතර ප්‍රචාරය වන ගීයක මුල් පේළි කිහිපයකි. එය ගායනා කරනු ලබන්නේ නව පරපුර නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පියකු වන සාරංග දිසාසේකරයි.

සංගීතයට ලේ නෑකමක් ඇති ඔහු වරින්වර ගායකයකු ලෙස ද අප හමුවට පැමිණියා. කෙසේ නමුත් සාරංග ගැයූ ගීත අතර මෙය ප්‍රමුඛස්ථානයක් තිබෙන බව ද කිව හැකියි. ඒ අනෙක් ඒවාට වඩා මෙමඟින් ඔහුගේ ගායන හැකියාව වඩාත් ප්‍රකට වූ නිසා. අද අපේ කතානායකයා සාරංග. හැබැයි ඔහුගේ රංගනයට වඩා ගායනය ගැනයි අප වැඩිපුර අහන්න හිතුවේ. එහෙනම් දැන් අහමු ඔහු ඒ ගැන පවසන්නේ මොනවද කියලා.

සාරංග කාලයකට පසු නේද ගායනයට යොමු වූයේ?

ඒක නම් ඇත්ත. මීට ප්‍රථම මං ගීත කිහිපයක්ම ගැයුවා. සුසීමා චිත්‍රපටයට ද මගේ ගැයුම් ඇතුළත් වුණා. ගැයීම මඟ හැරුණේ රංගන ශිල්පියකු සහ නිවේදකයකු ලෙස මං ගොඩක් කාර්යබහුල වීම හින්දයි. කාලයත් සමඟම යළිත් ගීයක් එළිදක්වන්න දැඩි වුවමනාවක් මසිතෙහි තිබුණා. මං ඒ ගැන හිතවත් සංඛ දිනෙත්ට කීවා. දින කිහිපයක් ගත වූ පසු ඔහුගෙන් මට දුරකථන ඇමතුමක් ආවා ඒ ගීතය හදලා කියලා කියන්න. නලින් ද සිල්වායි එහි පද ගලපලා තිබුණේ. ගීතය හරිම ලස්සනයි. වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් මං එය පුහුණුවීම් කොට පටිගත කළා. පසුව ගුවන් විදුලි නාලිකාවන්ට බාර දුන්නා. ඔවුන් කඩිනමින් ප්‍රචාරය කළා. හිතන්නටත් මත්තෙන් ගීතය ජනප්‍රිය වෙලා. හේතුව මෙය රැල්ලෙන් මිදුනු ගීයක් නිසා.

මෙමඟින් කියවෙන්නේ පෙම්වතියකගේ වියෝවීමක්. ඇයි මෙවන් වූ මාතෘකාවක් යටතේ ගීයක් ගැයීමට ප්‍රිය කළේ?

මං ගොඩක් ආස ගීතයක් තමයි ‘ගහක මල් පිපිලා’. එහි පද මුසු කරලා තියෙන්නේ සොභාදහම උපයෝගී කරගෙන. මං හිතනවා ආයෙ සිංදුවක් කියනවා නම් එවන් වූ එකක් කියන්න. මගේ ගීතයේ තියනවා ‘ළාදලු මල් පෙති පවා, මිහිමතේ සැතපිලා’ කියලා කොටසක්. මං එතනට තමයි ගොඩක් ප්‍රිය කළේ. මට සිතට දැනුණා මෙහි සෑම වචනයක්ම. ඒකයි ඒ හැ¼ගුම සිතේ මවාගෙන ගයන්න පුළුවන් වුණේ.

ඔබේ පෙම්වතිය මේ ගීතය ඇසුවාද?

ඔව්. ඇය තමයි මගේ පෙර ගී නිර්මාණ හැම එකක්ම ඇහුවේ. ඇය එවලේම අඩුපාඩු කියනවා. අහපු දවසෙම මෙය ජනප්‍රිය වේවි යැයි ඇය අනාවැකියක් ද පළ කළා.

මෙයට රූප රචනයක් කරන්න අදහසක් නැතිද?

තියනවා. වර්තමානයේදී නම් ගීතයක් ජනප්‍රියවන්න රූප රචනාවක් අත්‍යවශ්‍යයි. එනමුත් මෙය ජනප්‍රිය වුණේ එහෙම නොවී. ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම මත රූප රචනයක් කරනවා ඉදිරියේදී.

ඇයි තාත්තාගේ ගීත ගයන්නට උනන්දු නොවන්නේ. අඩුම තරමේ උත්සව අවස්ථාවකදීවත්?

මං ක්ෂේත්‍රයට එන්නේ මගේම අනන්‍යතාවයක් හදාගෙන. ගායනයේදී වුණත් එහෙමයි. නාරද දිසාසේකරගේ පුතා කියන ලේබලය පෙන්නලා නෙවෙයි මේ තත්ත්වෙට ආවේ. එහෙව් එකේ මෙහෙම්මම ඉදිරියට යනවා. හැබැයි මොන යම් හෝ අවස්ථාවකදී තාත්තාගේ ගීත කියන්න ඉල්ලීමක් ආවොත් අනිවාර්යයෙන්ම එතෙන්දි තාත්තාගේ ගීතයක් ගයනවා.

නාරද දිසාසේකරයන්ගේ ගීත නැවත පටිගත කිරීමක් සිදු නොවෙයි ද ඔබේ අතින්?

එහෙම ආරාධනා නම් අනන්තවත් ආවා. තවම ඒ ගැන හිතලා නැහැ. ළඟදීම එවන් වූ පටිගත කිරීමක් සිදු නොවේවි. තාත්තාගේ සිංදු යම් කාලයකදී පටිගත කරන්න වුවමනාවක් තියනවා. ඒ මන්ද යත්, නව පරම්පරාවේ බොහෝ දෙනෙක් තාත්තාවවත් ඔහුගේ ගීත ගැනවත් නොදන්නා නිසා. මට තාත්තාගේ ගීත සංරක්ෂණය කරන්න දැඩි වුවමනාවක් තියනවා. ඒ හින්දයි යම් කලකදී එම ගී යළි පටිගත කරන්න හිතාගෙන ඉන්නේ.

නාරද දිසාසේකරයන්ගේ ඔබ කැමැතිම ගීය මොකක්ද?

‘ආදර නිල් දෑසේ’. එහි පද ගැළපුම, සංගීත නිර්මාණය, ගැයුම මාව මනමත් කළා. මේ වෙලාවේ එහි රචක ධර්මසිරි ගමගේ සහ සංගීතය සැපයූ ප්‍රේමසිරි කේමදාස යන උතුම් පුද්ගලයින්ව මතක් කළ යුතුයි.

ඔබේ පරම්පරාවේ බොහෝ දෙනෙක් රියැලිටි තරගවල විනිශ්ච අසුනෙහි මේ වන විටත් වාඩිගෙන?

මටත් තරඟ විනිශ්චයට කතා කළා. ඒකට මනා දැනුමක් තියෙන්න ඕනෑ. තවමත් මං ඉගෙන ගන්නවා. කෙදිනක හෝ මමත් පරිණත පුද්ගලයකු වූ දාට එවන් වූ අසුනක ඉඳගන්නට ලැබෙන ආරාධනාව බාර ගනීවි.

මේ දිනවල මොනවද ඔබේ වෙනත් කලා කටයුතු?

පුරුදු පරිදි රංගනයේ යෙදෙනවා. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ නිවේදනය කරනවා. මේ ගීතයට වගේම සිද්ධාර්ථ චිත්‍රපටයේ ඡන්න ඇමති චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ගැන සතුටුයි.