වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය 09 වැනිදා

සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය 09 වැනිදා

කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී

සරසවි නිර්මාණ රංග පීඨය වාර්ෂිකව පවත්වනු ලබන 29 වැනි සමස්ත ලංකා කෙටි නාට්‍ය හා සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය මාර්තු 09 වැනිදා කොළඹ පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී අවසන් වටය සඳහා තෝරාගත් නාට්‍ය නිර්මාණ අටක් වේදිකා ගතවීමට නියමිත අතර සම්මාන ප්‍රදානයේදී කලා මාධ්‍යයෙන් දැයට මෙහෙවරක් කළ කලාකරුවන්ට සිය කලා මෙහෙවර උදෙසා සම්මාන පිරිනැමීමට ද නියමිතය. දිවයින පුරා විසිරී සිටින නාට්‍යකරුවන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් සරසවි නිර්මාණ රංග පීඨය ඔස්සේ වේදිකාව තනා දුන් කලා භූෂණ සම්මානලාභී ලීල් ආනන්ද ගජනායක මේ වෙනුවෙන් කැප වී ක්‍රියා කරයි. වසර විසි නවයක් පුරා කිසිදු අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරෙන මෙම නාට්‍ය උළෙල හා සම්මාන උළෙල ගැන ඔහුගෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට සරසවිය ඔහු හමුවුණා.

* මුලින්ම මෙවර උළෙලේ විශේෂත්වය ගැන සඳහන් කළොත්?

මෙවර නාට්‍ය උළෙල හා සම්මාන උළෙලට අමතරව කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන්ට සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන පිරිනැමීමට කටයුතු යොදලා තියෙනවා. එහිදී කලා මාධ්‍යයෙන් ජාතික මෙහෙවරක් කොට දැයෙන් සමුගත් මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීණ කලාකරුවන් නමින් තමයි මෙම සම්මාන පිරිනැමෙන්නේ.

* වසර ගණනක් පුරා ඔබ කිසිදු මූල්‍ය අනුග්‍රහයක් පවා නොමැතිව නේද මෙම කාර්යය සිදු කරගෙන යන්නේ?

මේ මඟින් මම අපේක්ෂා කළේ ගමේ හැදුන දරුවන්ගේ දක්ෂතා එළි දක්වන්න අවස්ථාවක් හොඳ වේදිකාවක් තනලා දෙන්නයි. ඒ වෙනුවෙන් මම ගම්වලට ගිහින් නාට්‍ය පුහුණුවීම් කරලා ඔවුන්ගේ නිර්මාණ අගැයීම්වලට ලක් කළා. ඒ ගැන මට විශාල තෘප්තියක් දැනෙනවා. මේ කාලය පුරාවට මම මුදල් නෙවෙයි මිනිස්සු තමයි හම්බ කළේ. මම මට හැකි පමණින් තමයි මෙය සංවිධාන කරන්නේ. රට පුරා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. සම්මාන සඳහා අනුග්‍රහය වගේම මාධ්‍ය දායකත්වය ඔවුන්ගෙන් මට ලැබෙනවා.

* ඉදිරි පියවර ගැනත් සඳහන් කරමු?

මම විසින් මෙය වසර 29 ක් පුරා අඛණ්ඩව සිදු කළා. අපට හැමදාම එකම තැන රැඳිලා ඉන්න බැහැනේ. තරුණ අයට අපි අවස්ථාව ලබා දෙන්න ඕනෑ. මෙවර උළෙල සංවිධානයට සරසවි නිර්මාණ රංග පීඨයේ සභාපති රුක්ෂාන් ලමින්ද මිහිඳුකුල සහ ලේකම් චානක මදුසංක කුමාරතුංග සහයෝගය ලබා දෙනවා. 30 වැනි සම්මාන ප්‍රදානයෙන් අනතුරුව මම මෙයින් සමුගන්න තීරණය කළා. රුක්ෂාන්ට ඒ සියලු කටයුතුª ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වෙනුවෙන් මම උපදෙස් සහ උපරිම සහයෝගය දිගටම ලබා දෙනවා.