වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීතවේදී, සුනිල් ධර්මසේන ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

සංගීතවේදී, සුනිල් ධර්මසේන ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

වයස අවුරුදු අනූඅටේ දීත් කීබෝඩ්, සර්පිනා වයලා...

ප්‍රවීණ සංගීතවේදී සුනිල් ධර්මසේන ගේ මෑණියන් වූ විමලා ධර්මසේන මහත්මිය අවුරුදු සියය (100)ක් ආයු විඳ මෙම 27 වැනි බදාදා අභාවප්‍රාප්ත වූවාය.

නිහඬ කල්පනා, මේ මල් යායේ, සාගර තරංගා, මල් මන්දහාසේ, ඉස්සර දවසේ, කස පුපුරණ හඬ, ආරොන්ගෙ මල්ලි බාරොන්, අමිල පුතේ, මිතුරී මගේ සදා කල්, පුංචි කුරුලු කූඩුවේ, පිනිබර සීතයාමේ මේ උදෑසනේ, පින් මාළු වලේ කුසල්හාමි, වැනි ඉතාම ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්‍ෂේත්‍රයට තිළිණ කළ සංගීතවේදී සුනිල් ධර්මසේනයන් සහ හිටපු නාගරික මන්ත්‍රී (මහරගම නගර සභාව) ලකී ධර්මසේන, පද්මිණී හරිශ්චන්ද්‍ර ධර්මසේන යන දරුවන් තිදෙනකුගේ දයාබර මෑණියන් වූ ඇය දරු මුනුපුරන් විසිපස් දෙනකුගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූ මිත්තණියක වූවාය.

අවුරුදු සියය පසු කළත් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකළ විමලා මහත්මිය මේ කාලය ඇතුළත කිසිදු අසනීපයකට රෝහලකට හෝ නොයාමට තරම් වාසනාවන්තියක වූවාය. ‘සර්පිනාව සහ කීබෝඩ්’ වාදනයට විශේෂ හැකියාවක් දැක්වූ ඇය වයස අවුරුදු අනූඅට, අනූනවය කාලයේදීත් ඉතා හොඳින් මෙම වාදන භාණ්ඩ හසුරුවමින් වාදනය කිරීම ඇයගේ ජීවිතයේ සුවිශේෂත්වයකි. යම් වෙලාවක සුනිල් ගෙන් පවා වාදනයේද,ී කිසියම් අතපසු වීමක් වැරදීමක් සිදුවූවොත් වහාම එය නිවැරදි කිරීමට, පෙන්නා දීමට තරම් සංගීත ඥානයක් ඇය සතුව තිබිණි. ‘සංගීතයේ ආභාසය’ තම පවුලට ලැබුණේ විමලා මහත්මිය සතුව තිබුණු එම මහඟු හැකියාවන් නිසාවෙන් බවයි සුනිල් ධර්මසේනයන් සලකනුයේ.

අංක 13, බුවනෙකබා මාවත, රජමහා විහාර පාර, මිරිහාන, කෝට්ටේ නිවෙසේ ඇයගේ දේහය තැන්පත් කර තිබූ අතර මේ අවස්ථාවට කලාකරුවන්, මැති ඇමැතිවරුන්, පක්‍ෂ නායකයන්, ඇතුළු පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූහ. අවසන් කටයුතු 02 වැනි දා (සෙනසුරාදා) සවස විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මිරිහාන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

අමරණීය ගී පැදුර නරඹා යන්න ගුවනින් වරම් ලැබුවා

මධුමාධව අරවින්දගේ අභිනව සභාපතිත්වයෙන් යුතු ගායක ගායිකා සංගමය ඉදිරිපත් කළ පළමු ප්‍රසංගය අමරණීය ගී පැදුර පසුගියදා කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. අති විශාල ජනකායක් මධ්‍යයෙහි දිග හැරුණු එය සංගීතවත් කරන ලද්දේ රෝහණ බෝගොඩ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

මෙම අවස්ථාව අතරතුරදී නරඹන්නන් අතරින් තිදෙනෙකුට දිනුම් ඇදීමකින් අනතුරුව ඩුබායි බලා පිටත්වීමට ගුවන් ටිකට් පතක් සහ පියෝ ටී. වී. සබඳතා දෙකක් ප්‍රදානය කරන ලදී. ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රාහකයා ගුවන් ටිකට් පත ලබාගත් අයුරු.

‘ඕල් රයිට් ප්‍රසන්න ගී මියැසිය’ 10 දා නිට්ටඹුව මහජන ක්‍රීඩාංගනයේදී

ජනප්‍රිය ගායක, ගායිකාවන් ගී ගයන ‘ඕල් රයිට් ප්‍රසන්න ගී මියැසිය’ මාර්තු 10 සවස 3.00 සිට නිට්ටඹුව මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මහාචාර්ය සනත් නන්දසිරි, ආත්මා ලියනගේ, අජිත් මුතුකුමාරණ, අසංක දේවමිත්‍ර, ජින්ජර්, අනුර පළිහවඩන මෙහි ගී ගායනා කරති.

කථනය සුදත් ලක්ෂ්මන් රත්නායක සහ උපුල් ජයකොඩිගෙනි. ප්‍රසන්න ගුණරත්න ප්‍රසංගය සංවිධානය කරයි. ‘ඕල් රයිට්’ සංගීත කණ්ඩායම නිට්ටඹුව ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

උපන් දිනය දා ඉරාජ් රසිකයන් පිරිවරා

හිපොප් සංගීත ශෛලිය ලංකාවේ ප්‍රචලිත කළ තරු අතර ජනප්‍රිය නාමයක් හිමි ඉරාජ් වීරරත්න පසුගියදා උපන් දිනය සැමරුවා. ඉරාජ්ගේ උපන්දින සාදය රසිකයන්ට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන්නක් වුණා.

කොළඹ හිල්ටන් හෝටලයේ බැරිස්ටා අවන්හලේදී පැවැති මෙම සාදයේදී ඉරාජ් සහ ඔහුගේ රසිකයන් අතර උණුසුම් හමුවක් පැවැත් වුණා.

‘ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස්’ සුපිරි තරුවක් වන ඉරාජ්ගේ ‘බෙස්ට් ඔෆ් ඉරාජ්’ ගීත තැටිය ද ඉරාජ්ගේ රසිකයන් වෙත මෙහිදී ලබා දුන්නා.

ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස් තරුවක් වූ ඉරාජ්ගේ රසික රසිකාවන්ට ඉහළින් සංග්‍රහ කළ ඉරාජ් ඔවුන් සමඟ ගී රස විඳින්නට ද අමතක කළේ නැහැ.

මෙහි පූර්ණ අනුග්‍රහය ‘ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස්’ වෙතින් සිදු කෙරුණා.

සෝමලතා සුබසිංහ උපහාර නාට්‍ය උළෙල 12 සිට 14 දක්වා

වැලිගම ළමා රසිකත්ව වර්ධන කමිටුව විසින් සෝමලතා සුබසිංහ උපහාර නාට්‍ය උළෙල මාර්තු 12, 13, 14 යන තෙදින තුළ තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදී සෝමලතා සුබසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘පුංචි අපට දැන් තේරෙයි’ සමඟ ‘තොප්පි වෙළෙන්දා’, ‘හිම කුමරිය’ සහ ‘විකෘති’ නාට්‍ය මෙහිදී වේදිකා ගතවීමට නියමිතව ඇත. කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්නජිත් අබේසූරිය, වික්‍රම සෙනෙවිරත්න, දිලුම් බුද්ධික, සුලෝචනා වීරසිංහ, ගීතා අලහකෝන්, චාමර ගමඇතිගේ, මයුර පෙරේරා, මිහිරි ප්‍රියදර්ශනී, සංජය හෙට්ටිආරච්චි, රුමලි චමත්කා ඇතුළු කෝට්ටේ රංගපීඨයේ පුහුණුව ලත් නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

දිගැසිය 9 දා

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් ලංකා ප්‍රභා ලේඛිකා සංසදය ඉදිරිපත් කරන ‘දිගැසි නෙත රැඳි රූ’ ඡායාරූප ප්‍රදර්ශනය මෙම මස 09 – 10 දෙදින තුළ කොළඹ 07 සෞන්දර්ය දෘශ්‍ය කලා පීඨයේ ජේ. ඩී. ඒ. පෙරේරා ශාලාවේදී පැවැත්වෙයි.

ගු: ලි: සැමරේ

විශිෂ්ට පුවත්පත් සඟරා කතුවරයකු, ගත්කතුවරයකු, ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍යවේදියකුª සහ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ද වූ කලාසූරි ගුණදාස ලියනගේ දැයෙන් සමුගෙන මෙම මස 12 වැනිදාට පහළොස් වසරක් සපිරේ. ඒ හේතුවෙන් එළඹෙන 10 වැනිදා එනම් එන ඉරිදා නුගේගොඩ, මිරිහානේ ලියනගෙදරදී සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙයි.

එමෙන්ම 12 වැනිදා සවස 4.00 ට ඔහු වෙනුවෙන් ගුණ සමරු උළෙලක් ‘ගුලි ගුණ සුවඳ’ කොළඹ නිදහස් චතුරස්‍රයේ පුස්ථකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි සහ ගුණදාස අමරසේකර, ලීල් ගුණසේකර යන මහත්වරුන් එදින දෙසුම් පැවැත්වීමට නියමිතය. ගුණදාස ලියනගේ ශූරීන් ලියූ මකර රජුගේ දුව කෘතියෙහි අභිනව නව මුද්‍රණය ද එහිදී එළිදක්වනු ඇත.

රාජ්‍ය නර්තන සම්මාන උළෙල අද

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2012 රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 07 එනම් අද සවස 5.00 ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වෙයි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වේ.

ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් මෙවර ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මෙනවිය සහ ශාන්තිනී සිිවනේෂන් මහත්මිය මෙහිදී නර්තන තිලක සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

ප්‍රසාද්