වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සැඩ සුළං පටන් ගන්නේ අපි දෙන්නාගේ නර්තනයෙන්

සැඩ සුළං පටන් ගන්නේ අපි දෙන්නාගේ නර්තනයෙන්

පද්මිණී දහනායකගේ අපූරු අතීත ආවර්ජණය

සුබ උපන් දිනයක් වේවා!

තාලයට පාද තබනා ඇය ඇත්තටම දෙව් දුවක් මෙනි. මේ සුන්දර නර්තන ශිල්පිනිය වේදිකාව වර්ණවත් කරන්නේ තමා තුළ නිසඟයෙන් පිහිටියා වූ නර්තන ප්‍රතිභාවකිනි. වසර ගණනාවක් පුරා තමා සතු වූ ඒ දැනුම, හැකියාව අදටත් දරු දැරියන්ට ලබා දෙන්නේ අපිරිමිත වූ සෙනෙහසකිනි. ඇය නර්තන ශිල්පිනී පද්මිණී මානෙල් දහනායක ආරියදාසයි. එදා මෙදාතුර ඇය සිය කලා ජීවිතයේ නර්තන ශිල්පිනියක ලෙස පැමිණි ඒ ගමන් මග ගැන සරසවිය සමඟ කළ පිළිසදරයි මේ.

‘පුංචි කාලයේ මට මතක ඇති කලෙක පටන් පවුලේ අය සමඟ සහභාගි වූ ප්‍රිය සම්භාෂණ, උත්සව අවස්ථාවලදී මම නර්තන ඉදිරිපත් කළා. ඒ කිසිම පුහුණුවකින් නම් නෙවෙයි. නර්තනය මට සංසාරගත පුරුද්දට ලැබුණ එකක්. නර්තනය දේව වරමින් පිහිටන උතුම් ශාස්ත්‍රයක්. කොහොම හරි මගේ නර්තන හැකියාව ගැන විමසිලිමත් වූ නෑදෑ හිතවතුන් තමයි මුලින්ම මගේ අම්මටයි තාත්තටයි නර්තනය හදාරන්න යොමු කරන්න කියන යෝජනාව ගෙන ආවේ. ඒ අනුව ඒ කාලයේ කොල්ලුපිටියේ පිහිටි චිත්‍රසේන නර්තන කලායතනයට මාව යොමු කළා. වජිරා චිත්‍රසේන ගුරුතුමිය යටතේ උඩරට නැටුම් හදාරන්න මට හැකි වුණා. එහි පළමු පියවර වුණේ දණ්ඩියමේ සරධ. කුඩා දැරියක වුණත් නර්තනයට ඇති ලැදිකම නිසාම දැඩි ආයාසයකින් කළ යුතුª වූ එහි වෙහෙස මට දැනුණේ නැහැ. මට අද වගේ මතකයි.

එතකොට ඔබ ඉන්දියාවට යන්නේ?

පුංචි කාලයේ පටන්ම ඉන්දීය නර්තන ශිල්පය ගැන මම හීන මවමින් හිටියේ. මේ අතර ඉන්දීය ජාතික කීර්තිමත් ආචාර්යවරයකු වූ රාම් ගෝපාල් මහතා නර්තන පංති පවත්වන්න මෙරටට පැමිණෙන බව දැනගන්න ලැබුණා. ඒ පුවත මගේ බලාපොරොත්තුවට සතුටුදායක ආරංචියක් වුණත් මොන යම් හෝ හේතුවකින් එතුමාගේ ඒ ගමන වැළකුණා. එය දැනගත් අවස්ථාවේ මම බොහෝ සෙයින් කනගාටුවට පත්වුණා. සිංහල සිනමාවේ ජනකාන්ත වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යුවළ අපේ පවුලේ සමීප හිතවතුන්. ඉන්දීය නැටුම් හැදෑරීම ගැන වූ මගේ උනන්දුව, ආසාව දැනගත් ඒ දෙපළ මා ඉන්දියාවට යැවිය යුතු බවට මගේ මවුපියන්ට කරුණු පහදලා දුන්නා.

ඇත්තටම ඒ වෙලාවෙදි මගේ දයාබර සොහොයුරන් තිදෙනා සහ සොහොයුරිය එයට දුන් දිරිය මගේ මේ ගමනේ ශක්තිය වුණා. ඒ අනුව අම්මයි තාත්තායි මා ඉන්දියාවේ ‘විශ්ව භාරතී ශාන්ති නිකේතනයට’ ඇතුළත් කරන්න කටයුතුª සූදානම් කළා. ඒ අතරතුරේදී දන්ත ශල්‍ය වෛද්‍ය කලා මණ්ඩල සභික බාලේන්ද්‍ර මහතා අපේ තාත්තා හමු වූ අවස්ථාවක මගේ ඉන්දියානු ගමන ගැන දැනගත් පසු මදුරාසියේ අධයාර් හි පිහිටි ‘කලා ක්ෂේත්‍රා’ ලලිතා කලායතනයට මා යොමු කිරීම වැඩිය හොඳ බව කියලා තිබුණා. එවකට කොළඹ මියුසියස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබමින් සිටි එකළොස් හැවිරිදි වියේ පසු වූ මට 1954 ජූලි මාසයේ 12 වැනිදා ශාස්ත්‍රී භරත නාට්‍ය රංග ශිල්පය හැදෑරීම සඳහා දක්ෂිණ භාරතයේ රුක්මණී දේවී අරුන්ඩේල් ‘කලා ක්ෂේත්‍රා’ ලලිත කලායතනයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. මගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වුණා.

ඒ ගමනට පෙර තවත් සුවිශේෂි සිදුවීමක් සිදු වුණා නේද?

ඔව්. ඒක මගේ කලා ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ඉන්දීය ගමනට පෙර ලංකා සිනමාස් සමාගම මඟින් ඉන්දියාවේ රූගත කිරීමට නියමිත වූ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ රංගනය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්න අවස්ථාව මට ලැබුණා. කලාක්ෂේත්‍රා ආයතනයේ අධ්‍යාපනය ලබන අවස්ථාවේදී මට දැනගන්න ලැබුණා ඒ සම්මුඛ පරීක්ෂණයෙන් මම සමත් වෙලා කියලා. 1955 වසරේදී තිරගත වූ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ ‘ජීවන මේ ගමන සංසාරේ’ ගීතයේ ෆ්ලොරිඩා ජයලත්ගේ කුඩා අවදියට අදාළ රංගනයට දායකත්වය ලබා දෙන්න මට වාසනාව ලැබුණා. අභාවප්‍රාප්ත කරුණාරත්න අබේසේකර මහතාගේ සොයුරා වූ දයා අබේසේකර සමඟ මා එම නර්තනයට එක් වුණා. ‘සැඩ සුළං’ චිත්‍රපටය ආරම්භ කෙරෙන්නේ අපි දෙන්නාගේ රංගනයෙන්.

පුරා පස් වසරකට පසු ඔබ මෙරටට පැමිණෙන්නේ විශේෂත්වයක්ද සමඟයි?

1959 දී මම ලංකාවට එන්නේ ශාස්ත්‍රීය භරත නාට්‍ය ඩිප්ලෝමාධාරිණියක ලෙසයි. ‘කලාක්ෂේත්‍රා’ ආයතනයෙන් ශාස්ත්‍රීය භරත නාට්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ පළමු සිංහල කාන්තාව වීමේ භාග්‍යය මට හිමි වුණා. ඒක ඇත්තටම මට ලොකුª සතුටක්. මගේ පියාගේ පාර්ශවයෙන් මගේ සීයා කෙනෙකු වූ එවකට අගමැති විජයානන්ද දහනායක මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 1959 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකා ආබාධිත වූවන්ගේ සංගමයට ආධාර පිණිස කොළඹ රාජකීය විද්‍යාල ශාලාවේදී මගේ කළඑළි දැක්ම Dances of India  නමින් සිදු කෙරුණා.

ඒ කාලයේදී මම බලාපොරොත්තු නොවූ අයුරින් ධීවරයෝ, අල්ලපු ගෙදර, යටගිය දවස, සුබසරණ සැප සිතේ, කෝසිකන් සහෝදරයෝ, දෙමෝදර පාලම යන චිත්‍රපට සඳහා නර්තන අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථා ද මට ලැබුණා. ජීවරාණි, ක්ලැරිස් ද සිල්වා, ලීනා ද සිල්වා, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, සබීතා පෙරේරා වැනි ජනප්‍රිය නිළියන් වෙනුවෙන් නර්තන අධ්‍යක්ෂණයේ යෙදීමට ලැබීම මගේ කලා ජීවිතයේ ලද සොඳුරු අවස්ථා. මේ අතරතුර මට නර්තන ගුරුවරියක ලෙස පත්වීමක් ලැබුණා. ඒ අනුව 1962 වසරේ මරදාන ගෝතමී බාලිකා, ගම්පල සහිරා, වනාතමුල්ල සීවලී මහා විද්‍යාලය, දෙමටගොඩ අනුරුද්ද හා මරදාන මාලිගාකන්ද විදුහල්වල නර්තන ආචාර්යවරියක ලෙස සේවයේ නියැළුණා.

මේ කාලයේ ඔබේ ජීවිතයේ සොඳුරු කඩඉමක් පසු කරනවා නේද?

ඔව්. මම 1969 ඔක්තෝබර් 23 වැනිදා යුග දිවියට එළැඹුණා. ඔහු ලේනදුව ලොකුගේ ආරියදාස. ඒ වෙන කොට මම නියමිත කාලයට පෙර ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා. අපේ කැදැල්ලට රංගනා නවෝදනී දියණියත්, චන්ද්‍රීන් ජයවන්ත් පුතුත් එකතු වුණා. ඒ දෙන්නම දැන් විවාහකයි. දියණියත් ‘කලාක්ෂේත්‍රා’ සෞන්දර්ය ආයතනයෙන් භරත නාට්‍ය හදාරා දැන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය භරත නාට්‍ය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. පුතා දැන් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. දැන් මම මිත්තණියක්.

අපි ආයෙමත් අතීතයට යමු. රජයේ සේවයෙන් විශ්‍රාම ගත්පසු කලා ජීවිතය?

ඊට පසුව කැලණිය සරසවියේ සෞන්දර්ය අංශයේ ශාස්ත්‍රීය භරත නාට්‍ය බාහිර කථිකාචාර්යවරියක ලෙස අවුරුදු පහළොවක් කටයුතුª කළා. ඒ වගේම මහරගම හා හේවුඩ් තරුණ මධ්‍යස්ථානවලත් නර්තන පංති මඟින් දැනුම දරුවන්ට ලබා දුන්නා. 1989 වසරේ පිහිටුවන ලද මරදාන සරසවිපාය රංග ශිල්ප කේන්ද්‍රයේ පුරා වසර 21 ක්ම නර්තන පංති පැවැත්වූවා. 1982 වසරේදී මම ‘ශ්‍රී පද්ම රංග’ නෘත්‍ය නිකේතනය නමින් මගේම නර්තන ආයතනයක් ආරම්භ කළා. මේ වන විට එහි නර්තන අධ්‍යාපනය ලද සිසුවියන් 88 දෙනෙකුගේ ‘අරංගේත්‍රම්’ කළඑළි මංගල්‍යයන් පවත්වන්නට හැකි වුණා. දෙවියන්ගේ පිහිටෙන් අදටත් නර්තනයේ යෙදෙමින් දරුවන්ට මේ දැනුම ලබා දෙන්නට මට හැකියාව තියෙනවා. ඇත්තටම මට ඒ ගැන තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.

මේ වන විට ඔබ සම්මානයටත් පාත්‍ර වෙනවා නේද?

නර්තනය මඟින් දැයට වූ සේවය සලකමින් 1992 හා 2005 වසරවලදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. 2006 වසරේදී රැජිනි සෙල්වනායගම් ගුරුතුªමියගේ චාරම කලා නිකේතනයේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් නර්තන කීර්ති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඒ වගේම 2009 ලෝක කාන්තා දිනය වන මාර්තු 8 වැනිදා ‘නර්තන මාතා’ සම්මානයෙන් පිදුම් ලැබීම මට සුවිශේෂයි. මගේ උපන් දිනය යෙදෙන්නේ මාර්තු 08 වැනිදා. කාන්තාවක ලෙසත් එය මට සුවිශේෂී අවස්ථාවක්.

වසර ගණනාවක් පුරා පළපුරුදු නර්තන ගුරුවරියක ලෙස සිසු සිසුවියන් විශාල පිරිසකට නර්තන දැනුම ලබා දුන් ඔබෙන් මේ ප්‍රශ්නය නොඅසා සිටින්න බැහැ. මා දැනගන්නට කැමැතියි අද තියෙන ‘රියැලිටි ෂෝ’ පිළිබඳ ඔබේ අදහස මොකක්ද කියලත්?

‘රියැලිටි ෂෝ’ ඇත්තටම නරක නැහැ. ඒක හරියට කැලේ පිපෙන මල් කොළඹට ගෙනත් නැවත පුබුදුවාලීමක්. පුදුමාකාර විදියට දක්ෂතා තියෙන දරුවෝ අපේ රටේ ඉන්නවා. ගොඩක් අයට ඒ දක්ෂතා පෙන්වන්න අවස්ථා ලැබෙන්නේ නැහැ. නමුත් දැන් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. දරුවන්ගේ අම්මලා තාත්තලා ගොඩක් ලොකුª උනන්දුවක් දක්වනවා මේ සම්බන්ධයෙන්. මෙතැනදි විශේෂයෙන් කියන්න ඕනෑ මේ අවස්ථාවෙන් පසු දරුවා අතරමං නොකර ඔවුන්ට තවත් ඉදිරියට යන්නයි අවස්ථාව ලබාදිය යුත්තේ.

රියැලිටි වේදිකාවේ අපි දකින මේ කුඩා දරුවන්ගේ දස්කම් තවත් ඔප මට්ටම් කිරීමයි කළ යුත්තේ. සමහර දරුවන්ගේ දස්කම් දකින විට මට හිතෙනවා අප හැර ගිය කලාකරුවන් නැවත පැමිණිලාදෝ කියලත්. මටත් සමහර අවස්ථාවල ඒ සඳහා සහභාගි වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මම දරුවන්ට කියන්නේ මේ හැකියාවන් තවත් ඔපමට්ටම් කරගෙන නිහතමානිකම කියන ආභරණය පැලැඳගන්න කියලයි

පද්මිනී දහනායක ආරියදාස,

101, පියදාස සිරිසේන මාවත

කොළඹ.

0112672641