වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් රතු හැට්ටකාරී ඇවිත්

ආයෙත් රතු හැට්ටකාරී ඇවිත්

ලූෂන් බුල්ත්සිංහල අපේ කලා ක්ෂේත්‍රයේ හමුවන බහුචරිතධාරී ප්‍රවීණයෙකි. වරෙක නිවේදකයකු, වරෙක වේදිකා රංගන ශිල්පියකු, තවත් වරෙක නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද මෙන්ම නළුවකු ලෙසටද ඔහු ප්‍රකටය.

ලංකාවේ වේදිකා නාට්‍ය පිළිබඳ කතා කරන ඕනෑම මොහොතක ප්‍රමුඛව හමුවන ලූෂන් මෑත කාලයේ නිද්‍රාවෙන් මිදෙමින් පිබිදුණේ තරාවෝ ඉගිලෙති නව නිෂ්පාදනය සමඟය. රට වටා තාරාවෝ ඉගිලෙති ගෙන යමින් සිටින ලූෂන් රතු හැට්ටකාරී නව නිෂ්පාදනය එළි දැක්වීමට මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටියි.

තිස් දෙවසරකට පසුව මාර්තු 11, 12, 13 තෙදින ලයනල් වෙන්ට්ඩ් කරළියට ගොඩවන රතු හැට්ටකාරී ගැන ලූෂන් සමඟ කළ කතාබහකි මේ.

* රතු හැට්ටකාරී නාට්‍යයේ ආරම්භක අවධිය ගැන කතාබහ කරමින් අපේ කතාව අරඹමු.

1974 රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් තමයි රතු හැට්ටකාරි නිර්මාණය වුණේ. ඒ කාලේ මුලින්ම නාට්‍ය උළෙල සඳහා පිටපත් කැෙඳව්වා. මම රතුªහැට්ටකාරි පිටපත තමයි ඉදිරිපත් කළේ. එය පිටපතක් ලෙස තේරිලා ඉන් පසුව නාට්‍ය පෙන්නුවා. ඉන් තේරී පත්වෙලා අවසන් වටයේදී රතු හැට්ටකාරී සංගීතය, ඇඳුම් පැලඳුම් සමඟ ප්‍රදර්ශනය කළා. රතු හැට්ටකාරී වෙනුවෙන් ඒ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය වගේම හොඳම සංගීතයට හිමි සම්මානයත් ලැබුණා. ඒ දවස්වල රඟපෑවේ මනෝ, දිද්දෙණිය, අනුලා වගේ ප්‍රවීණයන්.

ඇත්තටම රතු හැට්ටකාරී එදාට වඩා අදට ගැළපෙනවා.

* ඒ නිසාද නැවත රතු හැට්ටකාරී යළිත් නිෂ්පාදනය කරන්නට හිතුවේ.

ඔව්. තාරාවෝ ඉගිළෙති නව නිෂ්පාදනය අතිශය ජනප්‍රසාදයට පත් වුණා. තාරාවෝ රට වටා ගියා. එහිදී මට දැනුණ දෙයක් තමයි තවමත් මිනිස්සු අපේ නිර්මාණවලට ආදරෙයි කියන කාරණාව. නමුත් නිර්මාණයක් කරන්න තියා නිර්මාණයක් ගැන හිතන්නටවත් නොහැකි හොඳ නිර්මාණ අත්‍යවශ්‍ය යුගයක් මේ. ඉස්සර නං ගෙදර තිබුණු රත්තරන් බඩුවක් හරි උකස් කරලා නාට්‍ය කරන්න පුළුවන්. ඒත් අද තත්ත්වය වෙනස්. මේ වගේ කාලෙකදි තමයි සෙරනිටි එන්ටර්ටේන්මන්ට් ආයතනය නැවත රතුª හැට්ටකාරී නිර්මාණය කරන්නට අතහිත දෙන්නට තීරණය කරන්නේ. මට තරාවෝ නිර්මාණය කරන්නට අතහිත දුන් ඔවුන් නැවත මගේ රතු හැට්ටකාරී ජනගත කරන්නට අනුග්‍රහය ලබාදීම සතුටක්.

* පසුගිය කාලයේ ඔබ උන්නේ කලකිරීමෙන්ද?

නැහැ . . . මට තිබුණේ කලකිරීමක් නෙවෙයි කෝපයක්. ඉස්සර මාව රාජ්‍ය සේවයෙන් නෙරපලා හුදෙකලා කළා. හරියට ලාදුරු රෝගියෙක් තනි කරනවා වගේ මාව ප්‍රතික්ෂේප කළා. හිටි හැටියේම මාව රූපවාහිනියෙන් ඉවත් කළා කිසිම හේතුවක් නැතුව. ඒ අසාධාරණ ඉවත්කිරීම ගැන නඩුවක්වත් ඇහුවේ නැහැ.

මේ කාලයේ මගේ නිර්මාණ එළි දක්වන්න බැරුව හිටියේ කෝපයෙන්. මම කවදාවත් කලකිරිලා නැහැ. මට කලකිරෙන්න හේතුවක් නෑ.

* මෙවර ඔබ තෝරාගෙන ඉන්නේ අලුත්ම කණ්ඩායමක්?

ඔව්. ඔවුන් නවකයන් වුණත් දක්ෂයන්. ඒ නිසා මේ කටයුත්තට මේ පිරිස කදිමටම ගැළපෙනවා. අද වනවිට වේදිකා නාට්‍යයක රඟපෑමෙන් පමණක් ජීවත්විය නොහැකි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අද ඉන්න නළු නිළියන් බොහොම කාර්ය බහුලයි. මම නිර්මාණයට තෝරා ගත්තේ ඊට කදිමට ගැළපෙන, සාධාරණයක් කරන්න පුළුවන් අය පමණයි.

* මෙම නව නාට්‍යය පැරැණි නිර්මාණයෙන් වෙනස් ද?

නැහැ. කිසිම වෙනසක් නැහැ. කොටස් එකතුවීමක් මිසක අඩු කිරීමක් ද වී නැහැ. එදා තිබුණු නාට්‍යම තමයි අද නව නිෂ්පාදනය කළේ. සංගීතයේ නව වෙනස්කම් කිහිපයක් සිදු කළා.

ඒ කියන්නේ මෙවර ගීත පටිගත කරල ද නාට්‍යයට සම්බන්ධ කරන්නේ?

ගීත නොවෙයි සංගීතය පටිගත කරලයි තිබෙන්නේ. ඒ සංගීතයට අනුව නළු නිළියන් ගීතය ඒ මොහොතේ සජීවීව ගයනවා. මේ තීරණයට එන්නට හේතු රැසක් තිබෙනවා.

අද ප්‍රේක්ෂකාගාරයට හොඳ සංගීතයක් අවශ්‍යයි. නමුත් ඒ සංගීතය ලබා දෙන්නට විශාල පිරිසකගේ සහාය අත්‍යවශ්‍යයි. නමුත් අපි තැනින් තැනට යද්දී මේ පිරිස්, සංගීත භාණ්ඩ ප්‍රවාහනයට විශාල මුදලක් වැය වෙනවා. එය දරන්නට අමාරුයි. මේ නිසා නාට්‍යයේ ගීත පටිගත කරන්නට හිතුවා.

* කොළඹින් පසුව රතු හැට්ටකාරී කොහේ යයිද?

තවම ඒක ස්ථිර වශයෙන් කියන්නට බැහැ. දර්ශන වාර කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ජංගම වේදිකාවක්. ඒ නිසා දර්ශන වාරයෙන් වාරයට අපි ගමින් ගමට යා යුතුයි. ලයනල් වෙන්ට්ඩ් එකේ තියෙන පහසුකම් ගමේ වේදිකාවේ නැහැ. ඒ අනුව බලද්දී අපි විඳීන්නේ පුදුම දුකක්. ශිල්පීන්, බඩු බාහිරාදිය දාගෙන ගමින් ගමට යනවා කියන්නේ හරිම අපහසු කටයුත්තක්. ඒත් අපි රතුහැට්ටකාරී ගමින් ගමට රැගෙන යනවා.

දැන් ඔබ වෘත්තීයමය නාට්‍යකරුවෙක්ද?

මම ඒකට එක එල්ලේ උත්තරයක් දෙන්නේ නැහැ. මොකද අද වනවිට කලාව වෘත්තියක් ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. මේක වෘත්තියක් නිසා විනායාචාර්ය ධර්ම පද්ධතියක් තිබිය යුතුයි. නීති මාලාවක් තිබිය යුතුයි. ඒත් අද ඒ දේවල් තිබෙනවද කියලා මං දන්නේ නැහැ. අපට රක්ෂණයක් නෑ. මේ වගේ වෘත්තියක් යටතේ මා හිතන්නේ ලංකාවේ නම් වෘත්තීයමය කලාකරුවෝ නැහැ.

අපේ අයට ඒ වෘත්තීයමය තත්ත්වය හදාගන්නට උවමනාවකුත් නැහැ. ඉස්සර අපි ගුවන් විදුලියේ සේවය කරන කොට අපිව අයිති වුණේ සාප්පු සේවකයන්ගේ පණතට. අඩුම තරමින් අවසානයේ අපිට කොපි රයිටින්වත් නැහැ. ඉතිං කොහොමද වෘත්තීයමය ශිල්පීන් වෙන්නේ.

* මෑත කාලයේ ඔබ අතින් ගීත නිර්මාණය වුණේම නැහැ?

ඔව්. ඉස්සර අපි ගීත ලියුවේ හිතවත්කමට. ඒ ගීත ඇතුළේ වානිජ පරමාර්ථ තිබුණේ නැහැ. ඒත් ඒ හිතවත්කමට ලියන ගීත අද වනවිට මුදලාලිලාගේ සෙල්ලම් බඩු වෙලා. කොපි රයිට් එකක්වත් නැති රටක නිර්මාණ කරලා මොකටද?

* අද අපේ රටේ වේදිකා නාට්‍යවලට තියෙන්නේ මොන වගේ තැනක්ද?

තිස් වසරක කුරිරු යුද්ධයෙන් මිදිලා දැන් අපි බයෙන් සැකෙන් තොරව නිදහසේ හුස්ම ගන්නවා. දැන් මිනිස්සු නිදහසේ නිර්මාණ නරඹන්න හොයන වෙලාව. ඔවුන්ට දැන් හොඳ නිර්මාණ ලබාදිය යුතුයි. මේ වනවිට වේදිකා නාට්‍යවලට හොඳ තැනක් තිබෙනවා.

නමුත් වෙන රටවල වගේ ධනවත් ප්‍රජාව කලාවට උපකාර නොකරන තරම්. වෙන රටවල ධනවත් ප්‍රජාව රටේ කලාව ප්‍රවර්ධනය කිරීමට උදව් කරනවා. මොකද හොඳ මානසිකත්වයකින් ඉන්න පිරිස වගේම හොඳ සංවේදී පිරිස් තමයි රටක ආර්ථිකය ඉහළ නංවන්නේ.

* රතු හැට්ටකාරී රසවත් මතකත් ඇති?

අමතක නොවන සිද්ධි බොහොමයි. එක දවසක් අපි ගියා බණ්ඩාරවෙල. දර්ශන වාර දෙකක් තිබුණා. හවස දර්ශනය නියමිත වේලාවටම ඇරැඹිය යුතු බව සංවිධායකයන් දැන්නුවා. ඒ නිසා මං හැමෝටම කිව්වා හරියටම වෙලාවට දර්ශනය අරඹමු කියලා.

දැන් ඉතිං හැම දේම සූදානම්. මං වටපිට බැලුවාම ඔස්ටින් ඇතුළු ගායක කණ්ඩායම නැහැ. මාව රත්වෙලා ගියා. දැන් වෙලාව ටිකෙන් ටික ගෙවෙනවා. පළමුවැනි හූ හඬ ආවා. දෙවැනි හූ හඬත් ආවා. මේ වෙද්දි මං චරිතයකට ඇඳලයි හිටියේ. මං ඒ ගැන නොසලකා ඔස්ටින්ලව හොයන්න පාර දිගේ දිව්වා. ඇත්තටම මට ඔස්ටින්ලව හමුවුණා. ඔවුන්ට මං හොඳටම බැන්නා. පස්සේ ඇවිත් නාට්‍ය පටන්ගත්තා. රතු හැට්ටකාරි මතක හරිම සොඳුරුයි.

* මින් පස්සේ ලූෂන් බුලත්සිංහල අපට හමුවන්නේ කොහොමද?

මා විසින් ලියන ලද පීනාවි රන් මාලු කියල තිර රචනයක් තිබෙනවා. එය රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කර ගත්ත නිර්මාණයක්. එය නිෂ්පාදනය කරන්නට හිතාගෙන ඉන්නවා. ඒ වගේම චිත්‍රපටයක් නිර්මාණය කරන්නටත් අදහසක් තිබෙනවා.

අවසානයටයි අපි ඇවිත් ඉන්නේ.

මේ අවස්ථාව මට උදා කරලා දුන්න සෙරනිටි එන්ටර්ටේන්මන්ට් හි එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු වගේම බණ්ඩාර ඇහැලියගොඩ කියන අය සිහිපත් කළ යුතුමයි. ඔවුන්ගේ අත හිතෙන් තමයි අලුත් රතු හැට්ටකාරි යළි උපන්නේ. ඒ වගේම අනුර බණ්ඩාර රාජගුරු හිතවතාත් නොසිටින්නට මේ නාට්‍යය නැවත නිෂ්පාදනය නොවන බව නම් ඒකාන්තයි. ඔහු මෙම කටයුත්තේ පිිටුපස දැවැන්ත රුක්ෂයක් වගේ මට මහා සෙවණක් ලබා දුන්නා. ඒ වගේම මගේ නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනාවත් දයාබර ප්‍රේක්ෂකයන්වත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.